දවසේ කියමන.......

Wednesday, March 28, 2012

ලයිට් බිල....උසාවිය....හා ලංකාවේ රස කතා.....

පහුගිය දවස් කීපයේ අතිශයින් කාර්යබහුල වෙලා හිටියා කිව්වොත් මගේ හිතේ වැරදි නෑ....

අපේ ආචාර්ය මහාචාර්ය ලොකු උන්නාන්සෙලා‍ට පිංසිද්ධ වෙන්න අපිට දැන් නිවාඩු නෑ නේ...හරි සෝයි කිව්වලු....හි හි හි....උන්නාන්සෙලාගේ වැටුප් ප්‍රශ්නෙට හම්බුන ප්‍රතිපල හින්දා ඕං දැන් ආයිමත් අපිට නිවාඩුවක් අරන් දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා...එව්වා ඒ කාලෙට....

අද කතන්දරේ උදේ පත්තරේ දැක්ක ප්‍රවෘත්ති දෙකක් මූලික කරගෙන......කට්ටිය ඔන්න සාවදානව සවන් යොමුකරන්න ඕනේ....

ඉස්සර නම් මම හැමදාම ව‍ගේ පත්තරේ බැලුවා...මොකද ලොකු අප්පච්චි සතියේ පත්තර මිලදී ගත්ත හින්ද...හැබැයි දැන් නම් සති අන්ත පත්තර විතරයි....හැබැයි බස් එකේ යද්දී අපරාදේ කියන්න බෑ කව්රුහරි මනුස්සයෙක් එක පත්තරයක්වත් කියවනවා....ඉතින් මමත් පොඩ්ඩක් ඇහැ දාලා බලනවා මොනවද තියෙන්නේ කියලා......
ඒත් මදි නම් ඉතින් ‍හැන්දෑවට ගෙදරට වාර්තා කරලා අන්තර්ජාල පුවත්පත් ටික කියවනවා.....සල්ලි දීලා පත්තර ගන්නේ මොකටද බොලේ අන්තර්ජාලේ ගෙදර තියෙද්දී....හි හි හි......

කතා කියවන්න කලින් අපේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වෙන්න යන රටක් බවට සිහි කරගන්නව නම් ඉතාමත් හොඳයි.....නැත්තම්‍ මේ‍කේ රසේ නැති වෙන්න පුළුවන්.....

පළවෙනි කතන්දරේ ලියවෙන්නේ අපේ විදුලි බල හා බල ශක්ති(‍පොඩ්ඩක් බර කරලා කියවන්න) අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්තයා කියපු කතාවක් ගැන......
උන්නාන්සේ ඉතින් ඔය ඉංජිනේරු විභාග පාස් කොරලා හාමුදුරුවන්ට වන්දනා මාන කරලා පිං දහම් රැස් කරගෙන ඇමැත්ත පුටුවේ වාඩි වෙච්චි කෙනෙක්නේ....යමක් කමක් තේරෙන මනුස්සයෙක්(තේරෙන්නේ මොනවද කියන එක තමා පුරස්නේ....)

අවුලක් නෑ....

නැත්තේ නෑ නේ....ලයිට් බිලට අදාල වෙන්‍‍නේ මේ මනුස්සයානේ....

කට්ටිය ඔක්කෝම දන්නවා ඇතිනේ ලයිට් බිල.....ඔව් බං අර මාසෙකට සැරයක් ගෙවන්නේ අපි පාවිච්චි කරන කරන්ට් එකට.....අන්න ඒක තමා....
රට ආසියාවේ ආශ්චර්ය කරන්න යන හින්දා මේ දවස්වල ලයිට් බිල පොඩ්ඩක් වැඩි කරලා....ඉතින් අපේ අප්පච්චිත් අපිට වාරණ නියෝග පැනෙව්වා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කොරපියව් කියලා,මේ මාසේ ලයිට් බිල ආවට පස්සේ....දැන් ඉතින් කොරපියව්කෝ....මුලින්ම මමයි මල්ලිය හැදුවා ලැයිස්තුවක්....මොනවද ගෙදර පාවිච්චි වෙන විදුලි උපකරණ කියලා....
                          1.පරිගණකය (පැය 4ක්)
                          2.රයිස් කුකර් එක(දවසට එක වතාවක් විනාඩි 45ක් වගේ)
                          3.ශීතකරණය(පැය 24ම)
                          4.රූපවාහිනිය හා ගුවන්විදුලිය(පැය 12ක්)
                          5.ඉස්තිරික්කය(සතියට දවස් දෙකක් පැයක් බැගින්)
                          7.විදුලි බල්බ(දිනපතා CFL 4ක් පැය 5ක් සූත්‍රිකා පහන් පැය3ක්)

ඔන්න ඉතින් ලැයිස්තුව....මම හිතන්නේ සාමාන්‍ය ගෙදරක පාවිච්චි වෙන උපකරණ ටික තමා මෙව්වා.....මේ අපි ගම්බද හින්දා නැත්තම් මේකට රෙදි සෝදන යන්ත්‍රය,බ්ලෙන්ඩරේ,විදුලි කේතලයක් ඇතුලත් වෙනවා.වාසනාවට වගේ අපේ ගෙවල් පැත්තේ දර තියෙනවා ඇති වෙන්න....ගෙදර ගාවින් යනවා ශෝක් ඇල පාරක්....බොන්න බැරි වුනාට හෝදන්න වතුර අවුලක් නෑ......
වටේ කතා ඇති නේ.....ඉතින් අපි ඔය ලියාගත්තු කාල වේලාවන්ට ගණනය කලා මාසික විදුලි ඒකක ගණන....ඊට පස්සේ සංසන්දනය කලා(එදිරිසිංහ ක්‍රමයට නෙමේ...) විදුලි බිල් දෙක.....කිසි ගින්නක් නැතුව ඒකක ගණන සමානයි...ගාස්තුව වෙනස්.....ඊට පස්සේ ඉතින් අපි පියතුමාට අපේ වාර්තාව ඉදිරිපත් කරලා ඇහුවා මීට වඩා විදුලි බිල අඩු කරන්නේ කොහොමද කියලා.....හැබැයි පියතුමාට කලින් අපිට විසඳුම දුන්නේ කව්ද.................................?

වෙන කවුරුත් නෙමෙයි....මෙන්න මෙයා......
අපේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්මයා....










විසඳුම් එකක් නෙමේ....කීපයක්ම දුන්නා.....මොනවා වුනත් හරි ගුණයහපත් මනුස්සයා.....

මුලින්ම ඇමතිතුමා අපිට පහදලා දුන්නා විදුලිය අර පිරිමැස්මෙන් යුතුවා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය...... පළවෙනි කාරණේ විදියට එතුමා පෙන්නලා දුන්නේ මේ දවස් වල ලංකාවේ පවතින වියළි කාළගුණය...මේ හේතුවෙන් ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසින නිසා ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සිදු කරන්න බැරිව තිබෙන හින්දා විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම ජාතික අවශ්‍යතාවයක්(දැන් හැම එකම එහෙමනේ) බවට එතුමා ප්‍රකාශ කර සිටියා....කොහොමද අපි විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ......

මෙන්න මේ  විදියට.....

දිනපතා රාත්‍රී 6-10ත් අතර කාල සීමාව තුළ නිවසේ විදුලි බල්බ දෙකක් පමණක් දල්වා භාවිත කිරී‍ම....

හැකිතාක් විදුලි උපකරණ භාවිතය සීමා කිරීම...

අඳුරේ සිටීමට පුරුදු පුහුණු වීම.....

මෙව්වා මේ ඇමතිතුමා කිව්ව උපදෙස් හරිද මගේ එව්වා නෙමේ......

හොඳයි ඇමතිතුමා ඒ විදියට උපදෙස් දෙනකොට මට කල්පනාවට ආවේ පහුගිය දවස්වල මහනුවර තිබ්බ කාර් රේස් ගැන....අපේ මල්වත්තේ පන්සලේ නායක හාමුදුරුවෝ නම් ඒක සෑහෙන වර්ණනා කරලා තිබ්බා. දන්නේ නැත්තනම් 2012-03-18 ඉරිදා ලංකාදීප පත්තරේ පොඩ්ඩක් පෙරළලා බැලුව නම් අහුවෙයි...ඒකට පත්තු කරේ මේ අපේ ගෙවල් වල වගේ වොට් 10යේ 15වේ CFL බලුප්වත් වොට් 60,75 බලුප්වත් නෙමේ...කෙලින්ම වොට් 1500 විතර ෆ්ලෑශර්....එකක් නෙමේ 10ක් 15ක් විතර....දවස් දෙකක් පැය 12ක් ගානේ වගේ.....අවුලක් නෑ....කාටවත් වැඩක් නැති ආසියාවේ ආශ්චර්යට වැදගත් කාර් රේස් වලට එළිය දෙන්න ඕ‍නනේ....නේද?
ඊට පස්සේ ඔය දැයට කිරුළ වගේ ප්‍රදර්ශන වල ආලෝකකරණය....

මං හිතන්නේ රටක් දියුණු වෙන්න යද්දී එව්වා කළුවරේ පෙන්නන් බැරුව ඇති..

ඒක ඕන පුත්තලම් බූරුවෙකුට තේරෙනවනේ ඕයි....කළුවරේ කොහොමද අයිසේ ප්‍රදර්ශන තියන්නේ....

ඒත් ඉතින් මහ රෑ දෙගොඩහරිය වෙනකම් ඔව්වා පෙන්නන් ඕනද?අපිට අර පිරිමැස්මෙන් ඕක කරන්න බැරිද?බැරුව ඇති නේ....ආසියාවේ ආශ්චර්යනේ......

එව්වා කමක් නෑ...ඊට පස්සේ මට ආපු ප්‍රශ්නේ තමා ඔය මහ රෑ තොරන් වගේ තියෙන රජයේ ආයතන සැමරුම් ස්මාරක විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න අවශ්‍ය නැද්ද කියන එක....නැතුව ඇති නේ....එව්වා බැබලි බැබලි තියෙන්න ඕනෙ ඇති.....නැත්තම් ආශ්චර්යට යන්න වෙන්නෙ කළුවරේ‍ නේ......

හැබැයි පුතෝ ගෙවල් වල විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරේ නැත්තම් ඉස්සරහට ලයිට් කපන්න වෙයිලු.........
ඕං.....අපි දන්නෑ..........

හරි ලයිට් බිල ගැන කතාව ඉවරයි


ඊට පස්සේ අද පත්තරේ දැක්ක තවත් කතාවක් දැක්කම මට හිනා ගියා....

මමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වඩාත් හොඳය නවක වද විරෝධී ශිෂ්‍යයෙක් විදියට හැඳින්නුවොත්....ඒක මේකට අදාල නෑ...හැබැයි මම ඒක පාවිච්චි කරනවා....
කාරණේ මේකයි....අද වෙද්දී අපේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය නවත්තලා දාන්න සෑහෙන ඕන කමක් තියෙනවා... වැරදි හැම එකා ළඟම තියෙනවා....ඒ වගේ තමා ලංකාවේ වි.වි පද්ධතියේ ‍තියෙන ප්‍රධාන වැරැද්දක් තමා නවක වදය.... හැබැයි ශිෂ්‍ය සංගමයක් කියන්නේ වි.වි තුළ ශිෂ්‍යයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යුහය....සරලව කිව්වොත් පාර්ලිමේන්තුව වගේ තමා.... ඉතින් පාළකයන්ගේ අවධානය යොමු වෙන්නේ නැති කොට අවධානය යොමු කරගන්න වි.වි ශිෂ්‍යයෝ පාරට බහිනවා.... ඇතැම් අවස්ථාවල සාමකාමී බවකින් තොරව ගිහින් දේපළ විනාස කරලා එනවා....එව්වට නම් මමත් විරුද්ධයි....හැබැයි මගේ වි.වි ජීවිතේදී තාම නම් ඒ වගේ සිද්ධියකට අපේ වැයික්කියේ අය සම්බන්ධවුනේ එකපාරයි...අනිත් අවස්ථාවල සාමකාමීව ගිහින් උද්ඝෝෂණයක් කරලා එන එක තමා කරන්නේ....අපේ වැයික්කිය කිව්වේ පේරාදෙණිය කියලා කියන්න ඕනෑ වෙයි මයෙ හිතේ...
පේරාදෙණියේ අය උද්ඝෝෂණයක් කරන්න යන්නේ ගලහ හන්දියේ ඉඳලා මහනුවර නගරයේ ඔරලෝසු කණුව ළඟට පාගමනින් ගිහින් එතන වට වෙලා උද්ඝෝෂණය කරනවා....

ඉල්ලීම් මොනවද?

ගොඩක් වෙලාවට පීඨ වල පවතින අඩු පාඩු (උදාහරණ විදියට සම සෞඛ්‍ය පීඨයේ ගැටලු,කළමණාකරණ පීඨයේ ගැටලු.)

අත්තනෝමතික පංති තහනම් වලට විරුද්ධව.

පහුගිය දවස්වල නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නය(ඒක ගැන පස්සේ කතා කරන්නම්කෝ.)

ඒ මොනදේකට උද්ඝෝෂණය කරත් ඔරලෝසු කණුව ළඟදී උද්ඝෝෂණයක් කරොත් අප‍රාදේ කියන්න භෑ මූළු ටවුමම හිර වෙනවා...මොකද ඔතන තමා මහ නුවර නගරයේ තියෙන ප්‍රධානම මංසන්ධිය.

මේ ළඟදී තිබ්බ උද්ඝෝෂණයක (මතක හැටියට කළමණාකරණ පීඨය ස්ථාපිත කරන්න කියලා ඉල්ලලා) ප්‍රතිපලයක් විදියට වැරදිකරුවෝ කරපු ශිෂ්‍යයෝ 6 දෙනෙක්ට පහුගිය දවසක ශරීර ඇප මත නිදහස් කරා කියලා පත්තරේ තියෙනවා දැක්කා....

කතාව ඒක නෙමේ....මේ මිනිස්සුන්ව අත්අඩංගුවට ගත්තේ ඇයි කියන කාරණේ.......

හේතුව තමා මහනුවර නගරයේ ගමනාගමනයට අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම.... හරි කතාව සාධාරණයි....වැරදි නොකියා ඉමුකෝ

එතකොට මහ දවල් මිනිස්සුන්ට යන්න බැරි විදියට පාරේ වැලි කොට්ට ගහලා හවස 6න් පස්සේ පාරවල් වහලා කාර් රේස් පදිද්දී මිනිස්සුන්ට මාර්ග අවහිරතා වලට මූණ දෙන්න වෙන්නේ නැද්ද?

අර ජිනීවා කොමිසමට හරි වෙන මොන රෙද්දකට හරි බත් පැකට් එකට කරන උද්ඝෝෂණ වලදී ඔය පාරවල් හිර වෙන්නේ නැද්ද?

එතකොට එව්වා සංවිධානය කරන මිනිස්සු නිවැරදි කාරයොද?

මේ කතාව මේ විදියටම 2012-03-27 ලංකාදීප පත්තරේ තිබ්බා.(තර්ක කරලා තිබ්බේ නීතීඥ සුදත් කරවිට මහත්මයා.)

වි.වි ශිෂ්‍යයෙක් විදියට උද්ඝෝෂණ කරන එක සාධාරණිකරණය කරනවා නෙමේ....හැබැයි පාලකයෝ අහන්නේ නැත්තම් වෙන කියන්න විදියක් ශිෂ්‍යයන්ට නෑ.... එහෙම කරන උද්ඝෝෂණ සංවිධානය වැරදී....පාරවල් හිරවෙන්නේ එව්වට විතරයි.....

මේකද රටේ නීතිය?

ඔන්න ඔහොමලු අද වෙද්දී ලංකාව ආසියාවේ ආශ්චර්යට පියමං කරන්නේ....

බය වෙන්න එපා තව කිලෝමීටර භාගයයි..........

========================================================================
පසු වදන -
           පසු ගිය දිනක විදුලි බල මණ්ඩලයේ විධායක ඉංජිනේරුවරයෙකු විසින් ප්‍රකාශ කර තිබුනේ මේ වන විට   ශ්‍රී ලංකාවාසීන් උපරිම අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන බවයි...

Monday, January 16, 2012

ආදරයේ අංශු මාත්‍රයක්.....

මම ජීවිතයෙන් පරාද වෙච්ච මනුස්සයෙක්.....


මට ජීවත්වෙන්න අරමුණක් නැතුව හිටියේ....
කාත් කවුරුත් නැතුව.....ආදරෙන් පැරදිලා....ජීවිතේ මෙතනින් නවත්තන් ඕනේ කියලා හිතාගෙන හිටිය මගේ ජීවිතේට ඔයා ළඟා වුනේ අහම්බයකින්.....


මම අදටත් දන්නේ නැ ඔයා මගේ ජීවිතේට ඇතුල් වුනේ කොහෙන්ද?කොහොමද කියලා.....හැබැයි


ඒ ‍මොහොතෙදි...ඔයා මගේ ජීවිතේට ආපු මොහොතෙදි මම හිතුවේ ඔයා සුරංගනාවියක් කියලා....


මගේ ජීවිතේ ආපහු ගොඩනගන්න මගේ ලෝකෙට පියාඹලා ආපු පුංචි ලස්සන සුරංගනාවියක් කියලා......


ඒ ව‍ගේම......


ඔයා අවේ හිස් අතින් නෙමේ....මගේ ජීවිතේට මට අහිමි වුන ඒ උතුම් හැඟීම "ආදරය" අරගෙන....


මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න අවශ්‍ය ශක්තිය අරගෙන.....


ඔයා එක ක්ෂණයකින් මගේ ජීවිතයට මම පිළිගත්තා......


ඇසි පිය හෙලන නිමේශයකින් මගේ හිතේ ඔයා රඳවා ගත්තා.....


ඒත්.......................................


ඔයා ආවේ දිව්‍ය ලෝකේ ඉඳන් නෙමේ.......


ඔයත් මං වගේමයි........


මේ ගෙන්දගම් පොළොවේ ඉපදිලා අසරණ වෙච්ච තවත එක මනුස්සයෙක්.....


ඔයාට තිබ්බ සුන්දර ලෝකයත් මොකක්දෝ හේතුවකට ‍විබේදනය වෙලා.....


ඒක ගොඩනගා ගන්න උත්සහ කරමින් තමයි ඔයා ආවේ.....


සමහරවිට ඔයාත් මං වගේම හින්දා වෙන්න ඇති මගේ හිතේ ළැඟුම් ගත්තේ......


මම ඹයාව සිප ගත්තෙත් ඒ ආදරණිය හැ‍ඟිමෙන්‍ම වෙන්න ඇති 


හැබැයි.....

අපි එකිනෙකාට ආදරය කරාද?


තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශුමාත්‍රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා


ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
ආශාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්.
ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුන්නෑ
හරි හදිස්සියෙන්
ඔබ රැඳුනා
ඇසිල්ලකින්......


මායාවයි ඔබ
අසුර සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා......
ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ.....


ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
පද රචනය - අශෝක හඳගම
සංගීතය - ජයන්ත ධර්මවර්ධන




පසු වදන -
                 මේ සිංදුව මම කැමතිම ගීත වලින් එකක්......මකුළුවා ගීත පිස්සෙක් කිව්වොත් නිවැරදි.....මේ ගීතය "How I Wonder What You Are" සිංහල චිත්‍රපටයේ තේමා ගීතය.......
සටහන මගේ ජීවිතේට කිසිසේත්ම සම්බන්ධ නෑ...ඔහේ හිතට ගලාගෙන ආපු අදහස් ලියලා දැම්මා.....හැබැයි මගේ මේ ලිවීමේ රටාව ගැන මට අදහසක් දෙකක් දෙනව නම් මම ගොඩක් කැමති.....ධන වලට වඩා සෘණ අදහස් එකතු කරොත් ඒක මට ලොකු හයියක්......ඔන්න එහෙනම් මකුළුවත් ගීත බෙදාහරින්න පටන් ගත්තා.....

Sunday, January 1, 2012

2012

බ්ලොග් එක ලියන්නම් කියලා හිටියට වැඩ රාජකාරිත් එක්ක ඒක අතෑරලා දාන්නම වගේ වුනා.(ද මන්ද?)
කොහොම හරි විභාගයක් කට උඩ තියෙන වෙලාවක තමා මේ පාර අවුරුද්ද ලබන්නේ...මොක වුනත් අවුරුද්දට සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පොඩිවට හරි වචන කීපයක් කොටන්න ඕනේ කියලා මට හිතුනා....

එහෙනම් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

මොන මගුලක්ද ඕයි.මේ ඇතිද බ්ලොග් පෝස්ට් එකකට....තව මොනවා හරි ලියන්න ඕනේ..... ඉතින් අවුරුද්දක් පටන් ගන්න කොට හොඳම දේ තමා කලින් අවුරුද්දේ උගත් පාඩම් මොනවද කියලා බලන එක...

හොඳයි 2011 හොඳට පටන් ගත්තා කියලා හිතනවා.හොඳට කිව්වට හොඳටම නෙමේ.එක අඩු පාඩුවක් එකක්.මගේ ජීවිතේට විශාල හෙවනැල්ලක් වෙච්ච ලොකු අප්පච්චි නැතුව තමා 2011 වර්ශය පටන් ගත්තේ....හැමවෙලාවෙම කරදරයක් වුනාම,උදව්වක් ඕන වුනාම,මොකක් හරි දැන ගන්න ඕන උනාම ළඟින් හිටිය හොඳම පුද්ගලයා තමා ලොකු අප්පච්චි....ලොකු අප්පච්චිගේ නික්ම යාම කවදාවත් පුරවන්න පුළුවන් වෙන එකක් නෑ....ලොකු අප්පච්චිට අමා මහ නිවන් සුව ලැබේවා කියලා අවුරුද්ද පටන් ගන්න මොහොතෙදී මම ප්‍රාර්ථනා කරනවා....

ඊළඟට අපේ ෆැකල්ටියේ තිබ්බ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය.ICIIS කියලා තමා හැඳින්නුවේ.මම සහභාගී වෙච්ච පළමුවෙනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය....ඇත්තටම හොඳ අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.මොකද  දෙවන වසරේ ඉගන ගන්න ශිෂ්‍යයෙක් හැටියට සහභාගී වෙන්න ලැබීම ඇත්තටම අනාගතේට හොඳයි.

ඊළඟ වැදගත් දේ තමා මළ කෙළියයි ජූලි 4ට පස්සේ මමත් බස් රේඩියෝවට සම්බන්ධ වුනා.මාව ඇදලා දාගත්තේ සිහින සහෝදරයා....කොහොමහරි බස් නවත්තන්න කලින් යන්තම් බස් පදින්න ඉගන ගත්තා...දැන පස් අදිනවා....හි හි

ඔහොම කාලය යද්දී දෙසැම්බර් මාසේ ජිවිතේ වැදගත් වෙනසක් වෙන්න මුල් ගල තියලා තමා වසර අවසාන උනේ....ඒ වෙනස පස්සේ කතා කරමු...

ඔන්න ඔය විදියට 2011 ඉවර වුනා....

දැන් 2012 ලබල ඉවරයි...මායාවරුන්ට අනුව "බොලොං යොක්ටේ" ලෝකයට කොයි වගේ බලපෑමක් එල්ල කරයිද දන්නෑ....මම නම් කියන්නේ ලෝකය විනාශ වෙන එකක් නම් නෑ කියලා.....හැමවෙලාවෙම ආගම දහමකට අනුකූලව ජීවත් වෙනව නම් ලෝකය විනාශ වුනත් බය වෙන්න දෙයක් නෑ....මොකද අපි හරි මාර්ගෙක ගමන් කරලා තියෙන හින්දා....ජීවිතේ සතුට තියෙන්නේ අන්න එතන.....

අවසන් කරන්න කලින් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් කියන්නම්...."මුලින්ම කකුල් දෙක හොඳින් නිවැරදි තැන් වලි තියාගන්න....ඊට පස්සේ හොඳින් නැගී සිටින්න...." ...අවුරුද්දට අළුත් ආරම්භයක් ගන්න මේක නරක කියමනක් නෙමේ....

ගිහින් එංඤංකෝ....

ප/ලි - කව්ද දන්නේ මායාවරුන්ට ගල් පුවරුවේ 2012න් පස්සේ ලියන්න ඉඩ මදි උනාද කියලා....හි හි හි

Sunday, September 25, 2011

මම සහ මගේ ඇස් දෙක

ආයුබෝවන් කට්ටියටම.......
මකුළුදැල වියන්න බැරි වුනා සෑහෙන කාලෙකින්....දන්නේ නැද්ද.....ඉතින් ඔය නානාප්‍රාකාර වැඩ රාජකාරි තොගයකින් මගේ දවස් පිරිලා....හුස්ම ගන්නවත් ඉඩක් නෑ.....
වහලා දාලා තිබ්බ විශ්ව විද්‍යාල පද්ධතිය ආපහු විවෘත කරලා(දිගටම එසේම පවතීවා.)ව
විවෘත කරපු ගමන් තිබ්බා හතර වෙනි සමාසිකයේ අවසාන විභාගය.
මගෙ අම්මේ...ඒ වගේ විභාගෙකට නම් මම කවදාවත් ලියලා නෑ...හි හි....පේපර් හරිම සුන්දරයි?මතක් කරන්න කැමති හින්දා ඒක පස්සේ කතා කරමු.
ඊට පස්සේ ඉතින් අපේ අළුත් අධ්‍යයන වර්ෂය ආරම්භ කරා.දැන් අපි තුන්වෙනි අවුරුද්දේ.
ඔය අතරේ මමත් අපේ රේඩියෝවට සැට් උනා.....මගේ හොඳම බස් මිත්‍රයා වෙච්ච සිහින මාර්ගයෙන්.බුකි‍යේ කාලය අඩු කරලා බස් පදින්ට ගියා.දැන් බුකියට යන්නේ පූල් ගහන්නයි...සිටි විලේ සෙල්ලම් කරන්නයි විතරයි වගේ.බස් පැදිල්ල බුකියට වඩා මරු මොකද ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා.අඳුර ගන්න හරි සුන්දර සෙට් එකක් ඉන්නවා.
රේඩියෝවේ වැඩ හින්දා සමහර වෙලාවට නිදා ගන්න කොට රෑ 12යි 1යි....(මගේ කාල කළමණාකරණය හරි හොඳයිනේ....හි හි...)
ඔන්න ඔය වගේ වැඩ හින්දා මකුළු දැල වියන්න වෙලාවක් නෑ.
සාමාන්‍යයෙන් වැඩි කාලයක් බ්ලොග් ලියපු නැති කෙනෙක් ආපහු ලියද්දී කියන දේ තමා "බ්ලොගේ මකුළු දැල් කඩලා දාලා වැඩ පටන් ගත්තා" කියන එක....ඒත් ඉතින් මකුළු දැලේ මකුළු දැල් කඩන්න පුළුවනෑයි....හි හි....ඕන බලමු‍කෝ ඒකෙත් හැටි නේ.....

===============================================================

අද කතාව ටිකක් වෙනස්...සාමාන්‍යයෙන් අපි විවිධාකාර අනතුරු වලට මූහුණපානවානේ.සමහර වෙලාවට හදිසි අනතුරු...සමහර ඒවා අපේ නොසැලකිල්ලෙන්.....සමහර ඒවා අනිත් අයගේ නොසැලකිල්ලෙන්......
කොහොම හරි මෙහෙම අනතුරු වෙද්දී අපේ සමහර ශරීර අංග වැඩි වශයෙන් අනතුරු වලට ලක්වීමේ සම්භාවිතාවය වැඩි.උදාහරණ විදියට සමහරු නිතරම අත් කකුල් තුවාල කරගන්නවා.තවත් අයගේ හිසට අනතුරු සිදුවීම වැඩි
.ඔය බජාර් අයියලගේ එහෙම නම් දත් සැට් එක ගැන කියන්න දෙයක් නැනේ.(හැබැයි අබේපාල මාමා හමුවට ගියත් දත් සැට් එක ඉවරයි....හි හි......)

ඔය වගේ මං තුමා ගොඩක් වෙලාවට අනතුරු වලට මුහුණ දෙන්නේ ඇස් දෙක කේන්ද්‍ර කර‍ගෙන.දැනට නූලෙන් බේරිච්චි අවස්ථා 4යි.පොඩ්ඩක් එහා මෙහා වුනා නම් මගේ ඇස් දෙකම අද වෙද්දී නෑ.

ඇස් දෙකට පළවෙනි අනතුර උනේ මම හය වසරේ ඉන්න කොට.
අපේ කාමරේ දොර වහන්න තියෙන්නේ අර කම්බි මුද්දට දාන කොක්ක.ඔය මුද්ද සෙට් කරලා තියෙන්නේ දොර උළුවස්සට.මම දවසක් තදියමට දුවගෙන එද්දී දොර රෙද්දේ පැටලිලි ගිහින් හැප්පිච්චි උළු වස්සේ.ඔළුව වටේට කැරකෙන්න ඕන හැම එකම කැරකෙනවා වගේ දැනෙද්දී දකුණු පැත්තේ ඇහැ ළඟින් මාර සනීපයක් දැනෙන්න ගත්තා.එහෙමම ගිහින් ඇඳේ හාන්සි උනා.ඔළුවට අයිස් කැට ටිකක් තියාගෙන.මගේ වාසනාවට චූටි අයියා දොස්තර වෙන්ට ඉගන ගන්නවා.(මතක හැටියට පොර හිටියේ අන්තිම අවුරුද්දේ)මිනිහා ඉතින් ආපු ගමන් ටෝච් එකක් අරගෙන ඇහේ පෙනීම පරික්ෂා කරලා අවුලක් නෑ කිව්වා.තව මිලිමීටර දෙකක් තුනක් එහාට උනා නම් ඇහැ ඉවරයි කියලා පොඩි දේශනේකුත් දීලා ගියා.

ඊට පස්සේ අනතුර වුනේ මම 12 වසරේ ඉන්න කොට.ඒ වම් ඇහැට.
මම රෙදි ටික හෝදන්න වොශින් මැශින් එක තියෙන කාමරේට ගියා.ඔය කාමරේ හරහට පොඩි රෙදි වැලක් වගේ එකක් බැඳලා තිබ්බා කම්බියකින්.කාමරේ දොරේ රෙපෙයාර් එකකට ඔය රෙදි වැල එක කොනකින් ගලවලා.ඒකොන පොඩි කොක්කක් වගේ නැමිලා.මම රෙදි ටික මැශින් එකට දාලා හැරුණා විතර අර කම්බි කොන කොයි ලෝකේ ඉඳලද මන්දා මගේ ඇහැ අස්සට වැටුනා.දඟලන්න ගියොත් ඇහැ හිල් වෙනවා.මට ඉතින් ඕවවා කල්පනා වෙනවයැ ඔය වෙලාවට.එක පාරට ඔළුව ගැස්සුනා.එතකොට අර වැටිච්ච කොක්ක තවත් ඇහැ අස්සේ පැටලුනා.දෙවෙනි පාරටත් ඔළුව ගැස්සෙද්දී ඒක එකපාරට ඇහෙන් ගැලවිලා ආවා.මොන මගුලකටවත් බය නැති මම එදා නම් බය උනා.පුරුදු විදියටම අයියට කියලා ඇහේ පෙනීම බලවා ගත්තා.‍එදා නම් නූලෙන් නෙමේ කෙස් ගහෙන් බේරිලා තිබ්බේ.පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඇහේ කාචයම හිල් කරගෙන යනවා අර කම්බිය.

තුන්වෙනි අනතුර වෙද්දී මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ.ඒ අනතුරට මූණ දුන්නෙත් මගේ වම් ඇහැ.අපේ ගෙදර දානයක් දෙන්න කටයුතු සූදානම් කරනවා.හවස් වෙද්දී පාර පැත්තට බල්බ් එකක් දාන්න ඕන හින්දා අප්පච්චි කියපි "අන්න වයර් තියෙනවා.බල්බ් දෙකක් තුනක් දාන්න ලෑස්ති කරන්න" කියලා.මමත් ඉතින් වයර් ටික අමුණලා ප්‍රධාන පාරේ ඉඳලා ගෙදර ළඟට එනකම් වයර් අදිනවා.ඔහොම ඇවිත් ගෙදර ළඟින්ම තියෙන කොහොඹ ගහ මැදින් වයර් එක ගන්න ගහට නැග්ගා.(මේ කාලෙදි කොහොඹ ගස්වල කොළ හැලෙන කාලේ.කෝටු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ගහේ.)ගහට නැගලා වයර් එකත් අරගෙන පැටලුම් ලෙහලා හරියට සෙට් කරලා බහින්න හැදුවා විතරයි.කොහේදෝ පැටලිලා තිබ්බ අත්තක් ඇවිත් කෙලින්ම වැදුනා ඇහැ හරහා.අම්මේ මාර සනීපයි.ඇහැ එකපාර පේන්නේ නැතුව ගියා.දැන් මම ගහ උඩ.කොහොම හරි තනි ඇහෙන් බැස්සා.බැහැපු ගමන් ගිහින් හොඳට ඇහැ හෝදාගත්තා.ඊට පස්සේ යන්නතම් පේන්න ගත්තා.පස්සේ දවසේ ඉස්පිරිතාලෙට ගෙනෙහින් බැලුවාම සුදු ඉංගිරියාවේ හොඳට හීරිච්ච ලකුණක් තියෙනවලු.ඇහේ කාචය නූලෙන් බේරිලා........

හතරෙවෙනි සහ මේ දක්වා අවසාන අනතුර සිද්ධ වුනේ මගේ දකුණු ඇහැට.පහුගියා දවක මම කොළඹ ගිහින් එන ගමන් කෝච්චියෙදි මම ඔළුවේ දාගෙන හිටපු කැප් ‍එක ගලවන්න ගියා.කැප් එක ගලවලා ඔළුවෙන් ගන්නවත් එක්කම සුළැඟිල්ල ගිහින් ඇහේ.ඇඟිල්ලක ඇනුනනට නම් මොකුත් වෙන්නෑ.හැබැයි එදා ඇඟිල්ලේ නියපොත්ත ටිකක් දිගට තිබ්බා.පස්සේ ගෙදර ඇවිල්ලා බලද්දී.කලින් කේස් එකේ වගේමයි.කැළල හිටලා තියෙනවා.ඇහේ කණිනිකාව බේරිලා.

අනේ මන්දා ....එක අතකට මම වාසනාවන්තයි.තාම ඇස්දෙකට මොකුත් වුනේ නැති හින්දා.හැබැයි අනික් අතට ඇස් දෙක සෑහෙන්න පරිස්සම් කරගන්න වෙනවා.මෙහෙම දේවල් වෙද්දී දවසක පොට්ට වෙන්න උනත් අනතුරක් වෙන්න බැරි නෑනේ.... o.O

Wednesday, July 13, 2011

අපේ ගමට පානීය ජලය ලබා දීම......

ලංකාවේ දැනට පානීය ජලය එහෙමත් නැත්තම් ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්.මෙහෙම දිව උලුක් වෙන වචන නැතුව සිංහලෙන් කිව්වොත් වෝටර් ‍‍බෝඩ් එකෙන්.

දැන් හැමෝටම තේරුණානේ.

අපේ ගම තමයි ගංති‍රියාගම.කැකිරාව නගරයේ ඉඳන් එනව නම් B 213 මාර්ගයේ(ඔය උලවු ඉලක්කම‍ හොයාගන්න බැරි නම් ටවුමේ පොරක්ගෙන් අහන්න තලාව පාර මොකක්ද කියලා....හික්ස්) කැකිරාවේ ඉඳන් කි.මී 12ක් විතර තලාව පැත්තට එනකොට වැවක් එක්ක ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙනවා.

විදුලිය,දුරකථන පහසුකම් විතරක් නෙවේ ගමේ ගොඩක් අය නොදන්නවා උනාට ටෙලිකොම් සමාගමේ ADSL සම්බන්ධතාවය පවා අපේ ගමට තියෙනවා.මගේ අවාසනාවට අපේ ගෙවල් ගාවින් දුරකථන රැහැන් ඇදලා නෑ... :( .කුඹුරු ගොවිතැන තමා ප්‍රධාන ජීවනෝපාය.හැබැයි ඊට අමතරව වෙනත් රජයේ රැකියා කරන අයත් ගමේ වාසය කරනවා.

මේ පහසුකම් මොනවා තිබ්බත් ගමට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමා ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය සපයා ගැ‍නීම.

දැන් කට්ටිය මගෙන් අහයි......"ඇයි ගොනෝ ගමේ ලිං එකක්වත් නැද්ද?" කියලා.

‍පොඩ්ඩක් ඉන්නකෝ කතාව කියනකම්.

ගමේ වගා ළිං ඇති පදම් තියෙනවා.විශාලත්වයෙන් අක්කරයක් විතර හෝ ඊට වැඩි ඕනම ඉඩමක වගා ළිඳක් කපලා තියෙනවා.ඊට අමතරව එදිනෙදා පාවිච්චියට වතුර ගන්න පොඩි ළිඳකුත් අනිවාර්යෙන්ම සෑම නිවසකම වගේ තියෙනවා.

දැන් කියවන අයට එන ඊළඟ ප්‍රශ්නේ තමා...."ඉතින් බං එහෙනම් මොන මගුලකටද ජල සම්පාදනෙන් දෙන ජලයක් හොයන්නේ?".....

දැන් මේකනේ කේස් එක.ගොඩක් අය අහලා තියෙනවනේ රජරට පැත්තේ වතුර කිවුලයි කියලා.(විද්‍යාත්මක විදියට කිව්වොත් ජලයේ කඨිනත්වය ඉහලයි.)හැබැයි ඒ කිවුල වතුර පෙරහන් පාවිච්චි කරලා පෙරලා අරන් කිවුල සෑහෙන දුරකට අඩු කරගෙන බොන්න ගන්න පුළුවන්.හෝදන වැඩ වලටත් එච්චරම අවුලක් නෑ.අපේ ගමේ බහුතරයක් ළිං වල වතුර කිවුලයි.මෑතක් වෙන තුරු(ඒ කියන්නේ 2008 මහ කන්නය ඉවර වෙනකම් වගේ) ඒ ළිං වල වතුර පාවිච්චියට අපිට කිසිම අපහසුතාවයක් වුනේ නෑ.
හැබැයි 2008 වර්ෂා කාලය ඉවර වෙනවත් එකක්ම තත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.මොන හේතුවක් හින්දද දන්නෑ ළිං කීපයක(අපේ වත්තේ ළිඳත් ඇතුළුව) වතුර කටේ තියන්න බැරි අමුතු රහක් එන්න පටන් ගත්තා.නිකම් මළකඩ දියකරලා ගත්ත වතුර වගේ.කඨිනත්වය එහෙමත් නැත්තම් කිවුල ප්‍රතිශතය 70%ක් 80ත් විතර.සබන් එහෙම හෝදන්න බෑ.කැටිවෙනවා.මේ ළිං අතරින් සමහර ඒවා අවුරුදු 50ක් 60ක් විතර පරණ ළිං.කොහොමහරි ඒ වැස්සෙන් පටන් ගත්ත වතුර අප්‍රසන්න වීම මේ වෙද්දී(2011) සෑහෙන ලිං ප්‍රමාණයක් ආක්‍රමණය කරලා ඉවරයි.
ගමේ මිනිස්සු බොන්න වතුර ගේන්නේ කිලෝමීටරයක් විතර එහායින් තියෙන පොදු ළිඳකින්.ලීටර් 10ක විතර බූලියකට වතුර එකක් ගෙනාවම සාමාන්‍යයෙන් දවස් 2කට බොන්න ඇති.අකමැත්තෙන් වුනත් සේදුම් වැඩවලට ළිං වල වතුර පාවිච්චි කරන්න වෙනවා.
අපි මුලින් හිතුවේ ළිං වතුරේ විසක්වත් තියෙනවද කියලා.හැබැයි එහෙමත් නෑ.මොකද ළිං වල ඉන්න මාලු,ගෙම්බෝ වගේ සත්තු තාම ජීවත් වෙනවා.ඒ හින්දා විශක් ශරීර ගත වීමේ අවදානමක් නෑ.
ප්‍රධාන ඇල මාර්ගය තියෙන හින්දා අතිරේක සේදුම් වැඩ වලට පහසුවක්.ඒක අපි අත්විඳින්නේ අපි ඇලට ආසන්නම පදිංචිකරුවෝ හින්දා.හැබැයි ගම ඇතුලේ ඉන්න අය ඉතින් පයින් ගාටන්න ඕනේ ඒකටත්.

දැන් ඔයාලටත් අදහසක් එන්න ඇතිනේ ගමේ වතුර කියන දේ කොච්චර දුශ්කරද කියලා....‍

ඔය අතරේ කට්ටියට මතකද දන්නේ නෑ "රණජයපුර" කියලා රණවිරු ගම්මානයක් විවෘත කරා ඉපලෝගම ප්‍රදේශයේ.ඇත්තටම කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ ඉපලෝගම ඉඳන් කිලෝමීටර 2ක් විතර එහායින් හිරිපිටියාගමට සමීපව.මේක රජයේ ව්‍යාපෘතියක් හින්දා ඒකට නල ජලය,විදුලිය,දුරකථන,අධ්‍යාපන,සෞඛ්‍ය වගේ පහසුකම් ඔක්කෝම ලබා දෙන්න ඕනෙනේ.කොහොමහරි ඔය දේවල් ලබා ගනිද්දී නල ජලය සම්බන්ධයෙන් පොඩි අවුලක් ඇති වුනා.ජල සම්පාදන මණ්ඩලයෙන් කියලා තිබ්බා ඒ අයට රණජයපුරට විතරක් වතුර බෙදා හැරීම පාඩුවක් කියලා.කොහේ නැතත් රණජබ පර්ට වතුර එපැයි.ඒ හින්දා මේ අය ළඟපාත තියෙන ගම් ටික වෙච්ච ඉපලෝගම,හිරිපිටියාගම,කුංචිකුළම හා අපේ ගම වෙච්චි ගංතිරියාගම ‍මේ නළ ජල ව්‍යාපෘතියට ඇද ගත්තා.

අපේ ගමටත් ඉතින් මගුල් ‍වගේ.ඇයි බොලේ බොන්න වතුර ටික එනවා කිව්වම.ගමේ මිනිස්සු සෑහෙන උද්යෝගෙකින් කමිටුවක් එහෙම පිහිටවාගෙන වැඩේට ඕන කරන අරමුදල් එක් රැස් කරලා දුන්නා.

මේ අතරේ රණජයපුර ගැලුම් 250000ක ධාරිතාවයක් තියෙන මහ සද්ධන්ත ටැංකියකුත් හැදුවා.මේ ටැංකියට වතුර ගන්න කළාවැව කිට්ටුව පොම්පාගාරයක් හා පවිත්‍රාගාරයක් ඉදිකරා.පළවෙනි පියවර හැටියට ගමට අවශ්‍ය බට එහෙම එක එක ගමට ගෙනත් දීලා.ඒවා වළලන විදිහ ගැන එහෙමත් කියලා දුන්නා.ඊට පස්සේ මූලික අදයර විදියට රණජයපුරට නළ ජලය ලබා දුන්නා.

ගම් වල මිනිස්සු බට වළලා අදාල පද්ධති ඔක්කෝම සකස් කරලා අදාල පාර්ශව වලට දැනුම් දුන්නා.

දන්නවද මොකක්ද ලැබුණ උත්තරේ කියලා?

දැනට පොම්පාගාරවල තියෙන පොම්පවල ධාරිතාවය මදි.අළුත් පොම්ප සවි කරන්න ‍වෙනවා එතකම් පොඩ්ඩක් කල් ඉන්න වෙනවා.

ඉතින්අපි තාම ගම පුරා ජලය ගෙනියන්න ඕන බට වළලා ඈත තියෙන ළිඳෙන් බොන්න වතුර ගෙනත් බලාගෙන ඉන්නවා.ජල සම්පාදන මණ්ඩලේ වතුර එන කම්.....

අපිට ඇහෙන හැටියට ජල සම්පාද‍න මණඩ‍ලේ දැන් අවුරුදු 2කටත් වඩා අදාල වතුර පොම්ප එනකම් බලාගෙන ඉන්නවා.......

Sunday, July 3, 2011

වරද කාගෙද?

මේ දවස් වල නිවාඩු පාඩුවේ කාලය ගත කරන හින්දා මං තුමා ලැබෙන හැම වෙලේම ගෙදර බලා පිටත්ව යනවා.(අපේ ආචාර්යවරුන්ට පිංසිද්ධ වෙන්ට තාම අපිට නිවාඩු)

ගෙදර යනවා කියන එකත් ඉතින් රු 300 කට විතර තට්ටු වෙන වැඩක්.බස් එකට(මහනුවර සිට ඉපලෝගමට) යන්නයි එන්නයි 200යි(දැන් 230යි බස් ගාස්තු වැඩි කලානේ.).ඔය අතරෙ ගෙදර බහිරවයා වගේ මගේ එක කුස උපන් සහෝදරයා බලාගෙන ඉන්නේ මං මොනවද අරන් එන්නේ කියලා.ඉතින් හිස් අතින් ගෙදර යන්නයැ තව 100කට විතර කෙල වෙනවා.

ඔහොම ගිහිල්ලත් දවස් 3ක් විතර හිටියම මෙන්න ලොකු අම්මගෙන් පණිවිඩයක් එනවා "අනේ පුතේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා සෙනසුරාදා දිහාට එන්න පුළුවන්ද " කියලා.
ඉතින් බෑ කියන්නයෑ.(මේක මගේ තියෙන ලක්ෂණයක්,හරිද වැරදිද කියන්න මම දන්නෑ.ඒක තමා මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මං නෑ,බෑ කියන්නෙම නැති තරම්.මට ඇති පදම් කෙළ වෙලත් තියෙනවා.හැබැයි තාම මං උදව්වක් ඉල්ලන ඕන එකෙක්ට ඒ උදව්ව කරනවා.)ඔන්න මගේ බෑග් මල්ලත් කරේ එල්ලගෙන බස් එ‍කට නගිනවා නුවර එන්න.

සාමාන්‍යයෙන් මම නගින බස් නැවතුම්පල(කෝනපතිරා‍ව) හරියට එද්දී බස් එක සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ(අනුරාධපුරේ ඉඳන් එන බස් එකක්නේ.).පිරිලා කියන්නේ සීට් ගානට මිනිස්සු ඉන්නවා.ඉතින් වාඩිවෙන්න සීට් එකක් හම්බුවෙන්නේ කැකිරාව බස් නැවතුමේදී හෝ ඒ ළඟ පාතදී තමා.විනාඩි 15ක් 20ක් හිටගෙන යන්න වෙනවා.

දැන් ඉතින් ත්‍රස්තවාදී තර්ජන එහෙම නැති හින්දා බස් වල රාක්ක වල ගමන් මළු තැබීමට තහනමක් නෑනේ.ඒ හින්දා ආසනයක් ලැබෙන කම් මමත් මගේ බෑග් එක ඔය රාක්කෙට දානවා.ඒ කරලා වාඩි වෙච්ච ගමන් බෑග් එක අතට ගන්නවා.‍සාමාන්‍යයෙන් බෑග් එක එහෙම රාක්කෙකට දානකොට රාක්කේ ගරාදි අස්සෙන් බෑග් එකේ එල්ලගෙන යන පටිය දෙපාරක් විතර මම අඹරලා දානවා හදිස්සියකදී රාක්කෙන් නොවැටෙන විදියට.මොකද වැටුනොත් පල්ලෙහා ඉඳගෙන ඉන්න එකාගේ ඔළුව ඉවරයිනේ.

කොහොමහරි ඊයෙත් මම ඔය කියන විදියට එන්න ගෙදර එන්න පිටත්වුනා.සුපුරුදු විදියටම මට ඉඳගන්න ආසනයක් තිබ්බේ නැති හින්දා බෑග් එක බස් එකේ රාක්කෙට දාලා මම හිටගෙන යනවා දැන්.

සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ පැති වල බස් රථ යන්නේ හරිම හිමින්.සාමාන්‍ය වේගය පැ.කි.මී 60ක් 70ක් විතර.හරිම සෞම්‍ය විදියට තමා වංගු ගන්නේ.වැඩිම උනොත් රෝද බස් එකේ තට්ටුවේ ගෑවෙනවා.ඉඳගෙන ඉන්න අය සීට් වලින් විසි වෙලා යනවා.කවදාවත් ඉස්සරහින් යන වාහන ඉස්සර කරන්න යන්නෑ.මොකද ඒ වාහන නවත්තලා බස් එකට යන්න ඉඩ දෙන හින්දා.හරිම විනීත රියදුරු මහත්වරු තමා මේ දුර ගමන් සේවා වල ඉන්නේ.ඉතින් ඔහොම යන බස් රථයක රාක්ක වල බඩු භාණ්ඩ තියද්දී සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ.‍කොයි වෙලේ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.

සාමාන්‍යයෙන් මගේ බෑග් එකේ අන්තර්ගතය වෙන්නේ මගේ writing pad එකයි(හෝ නෝට් එකක්),කැල්ක්‍යුලේටරයයි,කියවන කතා පොතයි,කුඩෙයි වතුර බෝතලයයි.කැමරාවයි.බර අනුව ගත්තොත් වැඩිම වුනොත් ග්‍රෑම් 600ක් 700ක් විතර වෙයි.ඊයේ මං බස් එකේ එද්දී තිබ්බෙත් ඔය ටික විතරයි.

පුරුදු විදයට බෑග් එක රාක්කේ තියල තියෙනවා.

බස් එකත් විනීත විදියට යනවා.

එකපාරටම ඒ විනිත විදයට ගිය බස් එක වංගුවක් ගත්තා....මගේ බෑග් එක රූටලා ඇවිත් පහල හිටිය ඇන්ටිගේ ඔළුව උඩ....

ඒ ඇන්ටි එක පාරටම ඔළුව අල්ල ගත්තා.....

මං හිතුවා හරි ඔළුව පැලුණවත්ද දන්නෑ කියලා.මමත් බෑග් එක අරගෙන "අනේ සොරි ඇන්ටි හිතලා කරපු දෙයක් ‍නෙමේ" කියලා සමාව භජනය කලා.බෑග් එක අරන් උඩින් තිබ්බා.

ඇන්ටි (ඔළුව අතගාන එක නවත්තලා)"කාගෙද මේ බෑග් එක?"

මම"මගේ ඇන්ටි වෙච්ච දේට සොරි මං හිතලා කරපු දෙයක් නෙවේනේ."

ඇන්ටි "ඒ වුනාට තමුන් දැන ගන්න ඕනේ රාක්කෙකින් තියද්දී වැටෙන් නැතිවෙන්න තියන්න."

මම "මම බෑග් එක වැටෙන විදියට තිබ්බේ නෑ ඇන්ටි...ඒක වැටෙන එක නවත්තන්න බෑග් එකේ පටි දෙකත් ඒ රෙල් අස්සෙන් අඹරලා දාලා තිබ්බේ.මේ වංගුව ගත්ත විදියට බෑග් එක ලිස්සලා ආවේ."

ඇන්ටි කතාව නවත්තන්නේ නෑ.දිගටම මට බනිනවා මං හිතලා බෑග් එකෙන් දමලා ඇරියා වගේ.මම ඉතින් උපරිම ඉවසීමෙන් හිටියා.වැරද්ද මගේ නොවුනත් සමහර තැන් වල බලු වෙන්න වෙනවනේ.

ඊට පස්සේ ඇන්ටි දාගෙන හිටිය කණ්නාඩිය ගලවලා ගත්තා.

කෙළියලුනේ තාප්පෙටම.මෙන්න බොලේ කණ්නාඩියේ එක ලෙන්ස් එකක් නෑ.දැක්ක විදියට හිතුවේ ඒක ගැලවිලා වැටිලා වගේ කියලා.පස්සේ බැලින්නම් කණ්නාඩියේ රාමුව කැඩිලා.ලෙන්ස් එක වැටිලා.(හැබැයි ඔළුවට වැටිච්ච බෑග් එකක් හින්දා ඇස් කණ්නාඩි රාමුවක නහය හරියට සම්බන්ධ වෙන කෑල්ල කැඩිලා යන එකත් ටිකක් අමුතුයි.)කොහොම හරි බැනුම ඩබල් ට්‍රිබල් ක්වඩ්‍රෘපල් වෙලා දැන්.

සාමාන්‍යයෙන් ඔහොම සිද්ධියක් වුනාම වටේ අයත් චූන් වෙනවනේ.ළඟ හිටිය හැට පැනපු ඇන්ටි කෙනෙකුත් දැන් බැනුමට හවුල්.

මම ඉතින් මගේ පැත්‍‍තෙන් වෙලාවේ හැටියට කරන්න පුළුවන් උපරිම දේ වෙච්චි සමාව ඉල්ලීම කරනවා.

ඒ අතරේ ඇන්ටි කියනවා"පුතා මම ලෙඩෙක් ඒ හින්දා තමා මේ කන්නාඩි දාන්නේ.මට මේක නැතුව පේන්නේ නෑ කියලා"(ඉතින් බොලේ ඕන මී හරකෙකුට තේරෙනවනේ කණ්නාඩි දාන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හින්දා කියලා).මොනවා උනත් මනුස්සකමක් තියෙන හින්දා මම ඒ වෙලේම හිතුවා පුළුවන් විදියට උදව්වක් කරන්නම් කියලා.

ඔය අතරේ මම ඒ කැඩිච්ච කණ්නාඩි රාමුව දැක්කා.දැක්ක ගමන්ම ‍තේරුණා මේක කලින් කැඩිලා තිබ්බ එකක් කියලා.හැබැයි ඉතින් ඒක ඒ වෙලේ කියන්න පුළුවනැයි.කෑගැහිල්ල තව දික් වෙන එක විතරයිනේ වෙන්නේ.

මට පොඩි කළකිරීමකුත් ඇතිවුනා.මොකද කරදරයක් වුනාම හැම මනුස්සයාම අවස්ථාවාදීව හැසිරෙන හින්දා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.මගේ අතින් තව 2000කට විතර කෙලවෙන්න යන්නේ.

අන්තිමේදී මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා මේ වගේ සිද්ධියකදී ඇත්තටම වැරදි කව්ද?

====================================================

ප/ලි - කවුරු හරි දන්නව නම් මට Gold Plated කාන්තා ඇස් කණ්නාඩි රාමුවක ගණන් හිලවු පොඩ්ඩක් කියනවද?

Saturday, June 25, 2011

පාසල හා විශ්ව විද්‍යාලය


පාසල ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සිටින තැනකි.
වි.වි ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සිටින තැනකි.

පාසැලේ විවිධ ශ්‍රේණි ඇති අතර එක් එක් ශ්‍රේණිය පංති වලට වෙන් කර ඇත.
වි.වි ඉගන ගන්නා විශයට අදාලව විවිධ පීඨ ඇති අතර ඒවා දෙපාර්තමේන්තු වශයෙන් වෙන් කර ඇත.

රටේම පාසල් වල ඒ ඒ ශ්‍රේණියට අදාලව ඉගැන්විය යුතු පොදු විශය නිර්දේශයක් ඇත.
එකම විශයධාරාවන් ඉගන ගත්තද විශය නිර්දේශය උගන්වන ආචාර්යවරයාමත රඳා පවතී.

පාසලකදී ගුරුවරු ශිෂ්‍යයන්ට උගන්වති.
වි.වි ආචාර්යවරු ශිෂ්‍යයන්ට දේශන පවත්වති.
(ඉගන ගැනීම ශිෂ්‍යයා සතු වගකීමකි.)

පාසල් "වාර" ක්‍රමයක් ඇති අතර පාසල් වාරයක් අවම වශයෙන් මාස 3කි.වසරකට පාසල් වාර 3කි.
විශ්ව විද්‍යාලයක අධ්‍යයනවාර අදාල විශ්ව විද්‍යාල අනුව වෙනස්වේ(ඇතැම් ඒවායේ සමාසික අධ්‍යයනන වාරත්(මාස 6ක අධ්‍යයන වාර) ඇතැම් ඒවායේ වාර්ශික අධ්‍යයන වාරත්(පාසල් වාර ක්‍රමය ලෙසින්) ක්‍රියාත්මකවේ.)අවම වශයෙන් සමාසික වාර දෙකක් එක් අධ්‍යයන වර්ශයකි.

වසරකට පාසල් නිවාඩු වාර තුනකි.ඒවා සති දෙකක වාරයක් සහ මාසයක් බැගින් වූ වාර දෙකකින් සමන්විත වේ.
විශ්ව විද්‍යාලය අනුව නිවාඩු වාර ගණන තීරණය වේ.

පොදුවේ පාසැල් නිවාඩුව සමස්ථ ලංකාවටම(මුස්ලිම් සිසුන්ට හැර) එකට ලබාදෙයි.
ලංකාවේම විශ්ව විද්‍යාල සිසුන්හට එකට නිවාඩු ලැබෙන්නේ සිංහල හින්දු අළුත් අවුරුද්දට හා නත්තලට පමණි.

දෛනික පාසැල් අධ්‍යයන කාලය පැය 6කි.
දෛනික විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය සීමාවක් නැත.ඇතැම් දින වල පැය 9ක්ද නැතිනම් පැය 4ක්ද ලෙස විචලනය විය හැක.

පාසැලක උපරිම විවේක කාල දෙකකි.
විශ්ව විද්‍යාලයක විවේක කාල තුනකි.

පාසැලක කාල සටහනක් අනුව වැඩ කරයි.(කාලඡේදයක් විනාඩි 40ක් වන අතර දිනකට කාල‍ඡේද 8ක් ඇති අතර 8ම පිරී පවතී.)
විශ්ව විද්‍යාලයද කාල සටහනකට අනුව කටයුතු කරන නමුත් පොදු කාලසටහනක් නොමැති අතර අදාල අධ්‍යයන අංශය හා දෙපාර්තමේන්තුව වශයෙන් කාල සටහන් වෙනස්වේ.(කාලඡේද වෙනුවට දේශනවාර ඇති අතර එය විනාඩි 55කි)

පාසැලක දිනකට එක් වතාවක් පමණක් නාමලේඛන ලකුණු කරයි.
විශ්ව විද්‍යාලයක දෛනිකව සෑම දේශනවාරයකදීම පැමිණීම සටහන් කළ යුතුය(අත්සන් ගැසීමට කොළයක් එවන හෙයින් තමා නොපැමිණ අත්සන පමණක් එවීම වුවද ප්‍රමාණවත් වේ.
සැ.යු-1.අත්සන් මාට්ටු වීමේ වගකීම අයිතිකරු සතුවේ.
2.අදාල ආචාර්යවරයා අනුව මේ ක්‍රියාවලිය වෙනස් විය හැක.).

පාසැල් පුස්තකාලය - "කැමතිනම් කියවපිය නැත්නම් නිකම් හිටපිය"කාලය ඉක්මවා පොත් නැවත බාර දීමේදී දඩ මුදල් අයකිරීමක් සිදුනොවේ.(සිද්ධවෙච්ච තැනක් තියෙනව නම් පොඩ්ඩක් කියන්න.)
විශ්ව විද්‍යාලය - අකමැත්තෙන් වුවත් පරිශිලනය කිරීමට සිදුවේ.අදාල නීති රෙගුලාසි ඒ ආකාරයට ක්‍රියාත්මකවේ(උදා-රු.5/= වුවත් දඩ මුදල අය කෙරේ.)

පාසැල 80%ක පැමිණීමක් අනිවාර්යයැයි පැවසුවද කිසිදිනක එය ගණනය කරන බවක් අසා නොමැති අතර එනිසා සිසුන් පාසල් වලින් නෙරපූ බවක් හෝ විභාගවල පෙනී සිටීමට ඉඩ නොදුන් බවක් සඳහන් නොවේ.
විශ්ව විද්‍යාලයවල සෑම විශයකටම 80% සහභාගීත්වය අනිවාර්යවේ.නොඑසේනම් එම විශයට අදාල විභාග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව නොලැබේ(අදාල විශය භාර ආචාර්යවරයා අනුව තත්වය වෙනස් විය හැක.)

පාසැලකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් නැත.(අ.පො.ස සා/පෙ හා උ/පෙ හැර)
විශ්ව විද්‍යාලයකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් ඇත.

පාසැලකදී එක් එක් වාර විභාග හෝ ශ්‍රේණි විභාග අසමත් වීම ඊළඟ වසරට හෝ ඒ වසරේ විශයන්ට බලපෑමක් නොකරයි.
විශ්ව විද්‍යාලයේදී එක් වසරක විශයන් අසමත් වීම ඊළඟ වසරේ ඇතැම් විශයන් හැදෑරීමේ අවස්ථාව අහිමි කරයි.එවිට නැවත අසමත් වූ විශයන් සමත්විය යුතුය(මෙය විභාග ඇණ ගැනීම සහ රිපීට් වීම ලෙස හඳුන්වයි.)

පාසැලකදී පවත්වනු ලබන විභාග අතරින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පාසල් ශිෂ්‍යයකුගේ ශිෂ්‍ය ජීවිතයේ වැදගත් විභාග වේ.
විශ්ව විද්‍යාලයකදී පවත්වනු ලබන සෑම විභාගයක්ම එක ලෙස වැදගත්වේ.

පාසැල් විභාග වල ලකුණු කිසි විටක පාසැලින් ඉවත්ව යන විට සැලකිල්ලට ලක් නොවේ.
විශ්ව විද්‍යාල විභාග සියල්ලගේම ලකුණු ඉවත්ව යන විට අතිශය වැදගත්වේ.

පාසැලෙන් ඉවත්ව යන විට කිසිදු විශේෂ සාමාර්ථයක් ලබානොදේ.ලබා දෙන්නේ අ.පො.ස සා/පෙ හා උ/පෙ ප්‍රතිඵල සටහන් පමණි.
විශ්ව විද්‍යාලයෙන් පිටව යන විට පංති සාමාර්ථයක් හා උපාධි සහතිකයක් ලබාදේ.

පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙන නමුත් මුදල් ගෙවා ටියුශන් යාමේ කලාවක් ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය 100%ක් නොමිලේ ලබා දෙන අතර නොතේරුණ විශය කරුණු තේරුම් ගැනීමට ‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් "කුප්පි" දමා ගත හැකිය.

පාසැලක ඉහල ශ්‍රේණි වල ඉගෙනුම ලබන අයියලා අක්කලා පාසැලෙන් ඉවත් වන තුරුම අයියලා හා අක්කලා වේ.
විශ්ව විද්‍යාලවල ඉහල වසර වල ඉගෙනුම ලබන අයියලා අක්කලා මුල් මාස කීපයකට ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් වන අතර පසුව නැවත අයියලා අක්කලා වේ.

පාසැලකදී ගුරුවරුන් විසින් අවශ්‍ය දැනුම් දීම් සිදුකරනු ලැබේ.
විශ්ව විද්‍යාලයකදී දැන්වීම් පුවරු මගින් අදාල දැනුම් දීම් සිදු කෙරේ.

පාසලකදී ඕනෑ තරම් විශය බාහිර ක්‍රියාකාරකම් වල නියැලීමට අවකාශ තිබුණද අධ්‍යාපයනය‍ට පමණක් මූලික අවධානය යොමු කර විශය බාහිර ක්‍රියාකාරකම් අත් හැර දමයි.
විශ්ව විද්‍යාලයකදී , පාසලේදී විශය බාහිර ක්‍රියාකාරකම් සිදු නොකල අය පවා එවන් දේ සිදුකිරීමට පෙළඹේ.

පාසැල් කාලය තුලදී සිසුවෙක් "පාසල් ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වනු ලබන අතර පාසැල් හැර යාමෙන් පසු විශේෂ නමකින් හඳුන්වනු නො‍ලැබේ.
විශ්ව විද්‍යාලය කාලය තුලදී සිසුවෙක් "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වන අතර විශ්ව විද්‍යාලයෙන් ඉවත්වූ පසු "උපාධිධරයෙක්" ලෙස හඳුන්වයි.

පාසැලකදී පහසුකම් ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්ගෙන් කිසිවක් ආපසු ලබා නොගනී.
විශ්ව විද්‍යාල‍යේදී අධ්‍යයන ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්වෙත නිකුත් කර ඇති හැඳුනුම්පත්,පුස්තකාල අවසර පත්, වැනිදේ අනිවාර්යෙන්ම ලබා දිය යුතු අතර නැතහොත් උපාධි සහතිකය වාරණය කෙරේ.

පාසල් සිසුන්, වැඩ වර්ජන,උද්ඝෝෂණ සිදුනොකලත් ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිදු කරති.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,අචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල යන මුළු පිරිසම අඩු වැඩි වශයෙන් උද්ඝෝෂණ වල නියැලෙති.
(මේ නිසා අතිරේක නිවාඩු වාර හිමිවේ.ඒවාට අනුව අනෙක් නිවාඩු කප්පාදු කෙරේ.)

පාසැල් අධ්‍යයන කාලය උපරිම වසර 13ක් වන අතර එය විවිධ හේතූන් මත විචලනය වීම ඉතාම අඩුය.(උපරිම මාසයක් පමණවේ.)
විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය අදාල උපාධිය අනුව 3ක් 4ක් 5ක් විය හැකි නමුත් එය විචලනය වීමේ කාල සීමාවක් කිව නොහැක(සතියක සිට වසරක් පමණ වුවද විය හැක.)

පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු සුදුසුකම් අනුව විශ්ව විද්‍යාලයකට ඇතුල් විය හැකිය.
විශ්ව විද්‍යාල අධාපනය ලැබීමෙන් පසු යායුතු ස්ථිර තැනක් නොමැත.(මහ පාරේ සිට සීත කාමරයක් සැප පහසු රැකියාවක් දක්වා පුළුල් පරාසයක් ඇත.)

=====================================================
*හුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි........
**දැනට විශ්ව විද්‍යාලයට ගිහින් ඉන්න අය තව අදහස් දෙන්න.කියවන හැමෝමත් මොනවා හරි පහලින් වියලා යන්න
***යන්න ඉන්න අය මේක දැකලා බයවෙන්න එපා....විශ්ව විද්‍යාලයක් ඇතුලේ ඇත්තමට කිව්වොත් හරිම විනෝදයි..... :)