Sunday, May 29, 2011

ළමයි කීයද?



මේ සිද්ධිය වුනේ අපි ඉස්කෝලේ යන කාලේ....මතක හැටියට උ/පෙළ කරන කාලෙදී.

ඒ දවස් වල ඉතින් ඉස්කෝලේ වගේම ටියුශනුත් යනවනේ....සමහර වෙලාවට ටියුශන් කරන ගුරුතුමා පාසලේ ගුරුතුමාගේ බැ‍‍චෙක්..
උදාහරණ තොග පිටින් තියෙන හින්දා මම කියන්න යන්නේ නෑ ‍ඕං.
කොහොම හරි ඉස්කෝලෙදි මේ ගුරුවරු එකිනෙකා ගැන අහනවානේ...ක්ලාස් කොහොමද?උගන්නනවා හොඳඳ?ඔය වගේ ප්‍රශ්න.මේකත් එහෙම සිද්ධියකදී වෙච්ච දෙයක්.....
අපේ පංති‍යේ ඇඟට නොදැනෙන විදියට නෝන්ඩි දෙන්න පුළුවන් පොරක් හිටියා කණයා කියලා.මේ වෙද්දී වි.වි ඉගන ගන්නේ.මෙයා තමා මේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා...ගුරුතුමා තාම ඉගැන්වීම් කටයුතු කරන හින්දා මං එතුමාව A.ගුරුතුමා කියලා හඳුන්වන්නම්.

ඔන්න දවසක් දැන ගුරුතුමා පංතියට ආවා...පුරුදු විදියටම උගන්නලා ප්‍රශ්නයක් දීලා ටිකක් සතුටු සාමීචියේ යෙදිලා හිටියා.සතුටු සාමීචි අතරේ අපි වැඩ කරයි කියලයැ.අපිත් දිගටම සාමීචියේ යෙදුනා.
මෙහෙම යද්දී මාතෘකාව ටිකෙන් ටික ටියුශන් පැත්තට යොමුවුනා.දැන් අපේ ප්‍රදේශයේ ටියුශන් ගුරුවරු ගැන කතා කර කර ගිහින් අන්තිමේට එක විශේෂ ගුරුතුමෙක් ගැන කතාවට ආවා.අපි මෙතුමාව "දිසා" කියලා හඳුන්වමු.

අපේ A.ගුරුතුමා පංතියෙන් අහනවා"ළමයි...දිසාගේ ක්ලාස් යන්නේ කව්ද?"

මුලු පංතියෙන්ම දිසාගේ ක්ලාස් ගියේ කණයා විතරයි.ඌ ඉතින් අත ඉස්සුවා.

A.ගුරුතුමා "මේ දවස්වල මොනවද උගන්නන්නේ?"

කණයා"අයණික සමතුලිතතාවය"

A.ගුරුතුමා "හොඳට උගන්නනවද?"

කණයා"නරකම නෑ සර්..."

A.ගුරුතුමා "කොහෙද පංති තියන්නේ?"

කණයා"........ හෝල් එකේ..."

..........ඔහොම ප්‍රශ්න මාලාවකට පස්සේ ගුරුතුමා වැදගත්ම ප්‍රශ්නේ ඇහුවා....

"දිසාට ළමයි කීයක් විතර ඉන්නවද?"


පිළිතුර දෙන්නේ ඉතින් කණයා‍නේ.....මූ ගත් කටටම කියපි.....

"ඒක නම් මං දන්නේ නෑ සර්...."

එතනින් පස්සේ පංතියේ උගන්නන් පුළුවන් තත්වයක් තිබ්බේ නෑ...ඒ තරමට හිනාව........

===================================================
ප.ලි- අද ඉදන් මකුළුවා නියම නමින් පෙනී සිටිනවා....මකුළුවා හෙවත් මම අශාන්..කෙටියෙන් කිව්වොත් ශාන්

Saturday, May 21, 2011

කෙටිම කෙටි සටහනක්.....

ඉලංදාරියාව අපි හැමෝම දැනගත්තේ ජාලය හරහා....ඔහුගේ කාරුණික ආයචනයට විවිධ අරමුණු වල සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි විසිරී සිටිය පිරිසක් එක පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණා....එනම් සවන් සෙවූ ඉලංදාරියාට සවන් ලබා දෙන්න...පුංචියට පටන්ගත් අරමුණ අතුවිහිදෙන රුකක් වන තුරු පෝෂණය කලමුත් අද....

"ඉලංදාරියා අප හැර ගොසිනි."

සාක්ශාත් කරගත් පොදු අරමුණේ උපරිම ඵල ලැබීමට ඉලංදාරිය දැන් අප අතර නැත.....

"පියේහි විප්ප යෝගෝ දුක්ඛෝ"එය බුද්ධ දේශනාවයි.

ඉතින් ඉලංදාරියෝ ඔබට අමා මහ නිවන් සුව!යළි කිසිදිනක මෙවන් දුක්කරදර මේ සසර පුරා ඔබට අත්විඳින්නට සිදුනොවේවා!

"ශෝකාන්තය එනතුරා.....
එහි රැඳෙන්නට සිත් නැති නියා.....
අනන්තය ළඟ අප දමා.....
අවසානයට පෙර ඔහු ගියා....."

Monday, May 2, 2011

දිනපොත(Diary) සහ මූණුපොත(Facebook)

================================================
මේක තමා විභාගෙට කලින් ලියන්න ලැබෙන අවසාන බ්ලොග් සටහන(තාම ෂුවර් නැතෝ)....අද ඉදන් මාසෙකට විතර මම අවකාශයෙන් අන්තරස්දාන වෙන්නයි හිතාගෙන ඉන්නේ.මාත් එක්ක තරහ වෙන්න එපා ඕං.බිලොග් අවකාශයට මුදාහරින හැම ලියුමක්ම වගේ මංතුමා කියවනවා.අදහස් පළනොකළට හැම එකම කියවලා තියෙන්නේ.ඉදිරි මාසෙත් ඒ විදිහටම ලැබෙන අවස්ථාවෙන් මං තුමා ලිපි ටික කියවන්නම් කෝ.අදහස් නොදැක්කුවට අමනාප වෙන්න එපා හොඳේ
================================================

අපි හැමෝටම එක එක කාලෙට එක එක අදහස් පහල වෙනවනේ.උදාහරණ විදියට කිව්වොත් ඔය එක එක ආකාරයේ විනෝදාංශ(මුද්දර එකතු කරන්න,පින්තූර එකතු කරන්න), විවිධාකාරයේ ක්‍රීඩා වල නිරත වෙන්න,අළුත් අළුත් දේවල්(ඉලෙක්ට්‍රොනික් වැ‍‍ඩ,වාහන එකලස් කරන්න)වල නිරත වෙන්න හිතෙනවානේ.ඒ අතරින් සමහර දේවල් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා.සමහර ඒවා කාලයක් ගියාම(ඒ දේ පිළිබඳව පිස්සු වැටිලා හිටිය කාලේ නැවතුනාම) අතෑරලා දානවා.හැම මනුස්සයාම ඔය වගේ තමා.

හැම මනුස්සයාම කිව්වම ඉතින් මකුළුවත් ඕකට අයත් නේ.
මට ඉතින් එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලලා සමහර දේවල් විවිධාකාර හේතූන් මත නවත්තලා දාලා(සමහර වෙලාවට පසුතැවෙන්නත් වෙනවා.) සීමිත දේවල් කීපයක් දිගටම පවත්වාගෙන යනවා.මගේ දිනපොත් ලිවීමත්(සිංහලෙන් කියනවා Diary කියලා) අන්න ඒ අඛණ්ඩව පවත්වාගෙන යන දේවල් වලින් එකක්.

පුංචි එකා කාලේ(ඔය එකේ දෙකේ ඉන්න කාලේ) අප්පච්චිට දිනපොතක් හමිබුවෙච්චි ගමන් මං කරන්නේ ඒක පෙරලලා බලන එක.දැන් වගේ නෙවේ,ඒ දවස් වල හැම දිනපොතේම වගේ මාසයක් ඉවර වෙන පිටුවට පස්සේ තියෙන පළවෙනි පිටුවේ ලංකාවේ තියෙන සුන්දර දර්ශනයක් මුද්‍රණය කරලා තියෙනවා(දැන් එහෙම දිනපොත් තියෙන්නේ අතරින් පතර).මං කරන්නේ හැමෝටම කලින් ඒ පින්තූර ටික බලන එක,මොකද ඊට පස්සේ මගේ පියතුමා ඒ දිනපොත් රාජයාව අල්මාරිය ඇතුලේ සිංහාසනාරූඪ කරන නිසා.එතනින් එහාට ඒ දින පොත නැරඹීමේ අයිතිය තියෙන්නේ මගේ මව්තුමියට පමණයි.වෙන මොකුත් හින්දා නෙමේ,මං පුටුවකට නැගලා හිටගත්තත්,අල්මාරියේ උඩම තට්ටුවට උස නැති හින්දා.හැබැයි ඉතින් අප්පච්චි දිනපොත එළියට ගත්ත වෙලාවට මට පෙරළලා බලන්න දෙනවා.("පව්නේ පොඩි එකා කියලා."හැබැයි අප්පච්චි පාවිච්චි කරලා අයින් කරපු එක දිනපොතක් තාමත් මං ළඟ තියෙනවා මං කැමතිම පින්තූර ටිකකුත් එක්ක).මං පහ වසරට විතර එනකම් මේ විදියට තමා තත්වේ.කවදාවත් මට දිනපොතක් හම්බුවුනේ නෑ.
2000 වසරේ වන්නිකරයේ ඉදන් පහේ ශිෂ්‍යත්වේ පාස් කොරලා උඩරටට එද්දී මගේ යාළුවන්ගෙන් එක එක විදියේ මතක සටහන් හම්බුවෙද්දී මගේ හොඳම යාළුවා වෙච්ච රුවන් මට අමුතු තෑග්ගක් දුන්නා.ඒක තමා මගේ පළවෙනි දිනපොත.(Fujifilm සමාගමෙන් අළුත් අවුරුද්දට මුද්‍රණය කරපු සාක්කු දිනපොතක්.රුවන්ගේ තාත්තා තමා ඒ වකවානුවේ අපේ පලාතේ හිටපු හොඳම ඡායාරූප ශිල්පියා.)මුල්ම කාලේ ගෙදරින් ඈත්වෙලා ඉස්කෝලේ යද්දී සිද්ධවෙච්ච රසවත් සිද්ධි තොගයක් ඒකේ පිටුවල තියෙනවා.(කියවද්දී මටම හිනා යනවා.අපි ඒතරම් පිස්සු වැඩ කරාද කියලා.)එතන ඉඳලා දිගමට මට ‍හැම අවුරුද්දෙම මට දිනපොතක් හම්බුනා.මමත් ඉතින් මගේ ජීවිතේ සිද්ධවෙච්ච හැම සිද්ධියක්ම වගේ ඒ දිනපොත් වල ලිව්වා.අද වෙද්දිත් මං ඒ දිනපොත් සුරක්ෂිතව තියලා තියෙනවා.ඉඩක් ලැබෙන වෙලාවට කියවලා බලලා මනෝ ලෝකේ දිනපොතේ යාළුවොත් එක්ක කරක් ගහනවා.සුන්දර මතක නැවත නැවත ආවර්ජනය කරනවා.ඒ හැඟීම් ගැන තේරුම් ගන්න පුළුවන් දිනපොතක් ලියලා කියවපු මනුස්යෙකුට විතරයි.
කොහොමෙන් කොහොමහරි දිනපොත ලිව්වට රාජකාරි දිනපොතක් නඩත්තු කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ සරසවියට පැනගත්තට පස්සේ.ඒ හින්දා දැන් මං ගාව දිනපොත් දෙකක් තියෙනවා.එකක් මං අදටත් පෑනෙන් ලියනවා මගේ පෞද්ගලික දිනපොත හැටියට.අනික මගේ පරිගණකයේ ලිපිගොනුවක් විදියට නඩත්තු කරනවා.

ඔහොම දිනපොත් ලිය ලියා ඉන්නකොට තමා මේ මූණූපොත(සිංහලෙන් කියන්නේ Facebook ) අපේ සාමාජෙට එන්නේ.අධිවේගී අන්තර්ජාල භාවිතය අපේ රටේ සමාජ ගතවෙන කාලෙදිම තමා ස(z)ක(ර්)බ(ර්)ග්(Mark Zuckeberg) උන්නැහේ මූණුපොත අන්තර්ජාලයට මුදාහරින්නේ...අනේ මගේ වාසනාවටද අවාසනාවටද දන්නෙ නෑ.2006 අවුරුද්දේ මගේ අක්කන්ඩිලාගෙන් එක්කෙනෙක් උසස් අධ්‍යාපනේ ලබන්න රැජිනිගේ දේසෙට ගියපු දොහේ මට මූණුපොතට සම්බන්ධ වෙන්න ආරාධනාවක් (අපිට හුරු බාසාවෙන් කියනවා නම් FB Invitation එකක්)එව්වා.මමත් ඉතින් වැඩිදුර හිතන්නේ නැතිව ඒක පිළි අරගෙන(accept කරලා) මූණූපොතට සම්බන්ධවුනා.එදා ඉදන් ඉතින් අද දක්වා මූණුපොතේ කරක් ගහනවා.Photoes Upload කරනවා,Links Post කරනවා(යූ-නලයෙන්,නැත්තම් බ්ලොග් පිටුවක්, සිංදුවක් ඔය වගේ දන්නැද්ද ඉතින්.....),Status Update කරනවා,Friendsලව Add කරනවා,Groups වලට Join වෙනවා.Pages වලට,Post වලට Like දානවා....ඔය වගේ වැඩ කෝටියක් කරන්න පුළුවන්නේ මූණු‍පොතේ කාලෙ කන්න.....
හුටා!වැදගත්ම දේ මතක බැරි වුණානේ....ඇයි බොලේ Chat කරන එක...(වර්තමාන සිංග්ලිෂ් හෝඩියේ මහගෙදර ඒක නොවැ.)මුල්ම යුගයේ අබින් කෑවා වගේ ඇබ්බැහි වෙලා හිටියට දැන්නම් මටම මූණුපොත එපා වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ.වෙලාවකට අයින්වෙලා යන්න හිතුවත් මූණුපොතෙන් විතරක් පවත්වාගෙන යන සම්බන්ධතා කීපයක් හින්දා මූණුපොතේ දිගටම ඉන්නම් කියලා තීරණය කරලා තමා දැන් කල් ගෙවන්නේ.මොක වුනත් මාර්ක් අයියගේ වැඩේ සාර්ථකයි.ඇත්තමට මූණුපොත කියන්නේ ජාලයේ තියෙන සමාජයක්ම තමා.අපි කට්ටිය සෙට් වුනා වගේම තමා.වෙනසක් නෑ.

දැන් කට්ටිය බලනවා ඇති මකුළුවට විභාගේ හින්දා මංඤන් වෙලා වගේ පිස්සු කියවනවද කියලා.ඇයි යකඩෝ මේව බලන අපි මේ දිනපොත් මූණුපොත් ගැන නොදන්නවයැ නේද?

අෆෙ අෆ්ෆෝ තරහා අවසර.දැන් තමා කතන්දරේ පටන් ගන්‍‍නේ.ඊට කලින් මං කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමති.මූණුපොත පාවිච්චි කරන කවුරුහරි කෙනෙක් මේ මොහොතට පෙර මූණුපොතේ තමන්ගේ බිත්තිය(Facebook Wall එක) දිගේ අවුරුද්දක් දෙකක් ආපස්සට ගමන් කරලා තියෙනවද?(අර Wall එකේ පතුලේ Older posts කියලා Link එකක් තියෙන්නේ.අන්න ඒක ඔබලා ආපස්සට ගමන් කරන්න පුළුවන්.) එහෙම කරලා නැත්තම් මේක කියවලා ඉවරවෙලා නිකමට වගේ කරලා බලන්න.

දැන් මං ආපහු කතාවට එන්නම්.දවසක් දා අපේ අර පතක නොඇඳුනු සිතක සිත්තම් කරන ප්‍රාර්ථනා නගාට රූප රාමු පෙලක්(Video) හොයලා දෙන්නම් කියලා පො‍රොන්දුවෙලා ඒක හොයන්න මම මගේ බිත්තිය දිගේ පහලට ගියා.මුලින් හිතුවේ මාසයක් දෙකක් ඇතුලත කාලයක් තුල බිත්තියේ පළ කරපුවා අතරේ අදාල රූප රාමු පෙළ තියෙයි කියලා.හැබැයි ඒක තිබ්බේ අවුරුද්දකටත් එහා මං පළ කරපු රූප රාමු අතරේ(ඒ රූප රාමු පෙළත් මේ ලිපිය අගට දාල තියනවා.කැමතිනම් ඉතින් බලන්න).ඉතින් ඔහොම රූප රාමු ටික හොයාගත්තට පස්සේ නිකමට වගේ මං ඒ ළඟ පාත තිබ්බ මම එක එක අවස්ථා වල මං ගැන කොටපුවා (Status Updates),මං අනික් අයගේ බිත්තිවල කොටපු අදහස් වගේ දේවල් කියවන්න ගත්තා.මූණු‍පොතට සම්බන්ධ වුනාට පස්සේ මං මගේ ජීවිතේ වැදගත් අවස්ථා වලදී දිනපොත ලියනවට අමතරව මූණුපොතේ බිත්තියෙත් මං ඒ දේවල් කොටන්න ගත්තා.සමහර ‍දේවල් වලට සෑහෙන්න හිනා යනවා,මෙහෙම දේවලුත් වුනා ද කියලා හිතෙනවා.ඒවගේම මං ඒ දේවල් කොටන්න හේතු වෙච්ච සිද්ධි මැවිලා පේනවා.කොහොමහරි මං අවුරුදු 2ක් විතර පල්ලෙහාට ගියා.කරපු කියපු දේවල් ගැන බල බලා හිත හිතා හිනා වෙවී කියෙව්වා.
කොහොම හරි ඔය කියවීමේ ව්‍යාපෘතිය ඉවර වෙද්දී පාන්දර 5යි.අයියා නැගිටලා කාමරේට ආවම තමා වෙලාව ගැන කල්පනා වුනේ.පහුවදා හොඳවෙලාවට නිවාඩු දවසක් හින්දා මං ඒ වෙලේම ගිහින් බුදිය ගත්තා.

ඇහැරුණාට පස්සේ තමා මට මීටර් වුනේ,"අපි දිනපොතක් පෙරළලා බලලත් කරන්නේ මේකම නෙවේද?"

දිනපොතක තියෙන්නේ තමතමන්ගේ පෞද්ගලික සටහන්(සමහරක් ඒවා අතිශයින්ම පෞද්ගලිකයි) ....ඒවගේම තමා මූණුපොතේ තමන්ගේ බිත්තියේ තියෙන්නෙත් තමන්ගේ සටහන්.සරලව කිව්වොත් දිනපොතේ ලිව්ව දේවල් වෙන විදියකට බිත්තියේ කොටලා තියෙනවා.තමන් ලබපු නින්දා,ප්‍රශංසා,ජයග්‍රහණ,පරාජ,කාපු ලණු,දීපු ලණු,එක එකා‍ගේ විහිලු,ඕපා දූප, බයිට් වෙච්චි ඒවා...මේ හැමදෙයක්ම ආපහු මතක් කරන එකමයි නේද අපි දිනපොතක් පෙරළලා බලලා කරන්නේ.

ඒවගේම තමා මූණු පො‍තෙත්....තමන්ගේ බිත්තිය දිගේ පොඩ්ඩක්(කියන්නේ මාස 5ක් 6ක් විතර) පල්ලෙහට ගිහින් බලන්න.වෙන වල් පල් වලට කාලේ නාස්ති කරන වෙලාවෙ එහෙම දෙයක් කරලා බලන්නකෝ.ඒ කරලා මං කියන විදිහේ හැඟීම එන්නේ නැත්තම් කරුණා කරලා කියන්න හොඳේ.

දැන් ඇති නේ දෙඩෙව්වා.

එහෙනම් ඕං මං මාරු වෙනවා.

හැමකෙනාටම තුණුරුවන්ගේ සරණයි!

================================================

මේක තමා මං අර හොයල දුන්නැයි කියපු වීඩියෝව...ලිපියට නම් අදාලත්වයක් නෑ...කාරි නෑ.කැමති කෙනෙක් ඉන්නවනම් බලන්නකෝ.