Tuesday, July 12, 2016

ඇඳුම් ඇන්ද වීම සහ අතුරු කතා....

අවුරුදු තුනක් කට පියාගෙන ඉඳලා ජීවිතේ හැල හැප්පීම් මැද ඉස්සරහට ගිහින් ආපහු ලියන්න ඕනේ කියලා හිතෙන එකත් බොහොම අහම්බයක්.

මේ දවස්වල කැළණියේ ගෑනු ළමයෙක්ට ගවුම් අන්දවන්න ළමයි කණ්ඩායමක් පොලිස් කූඩුවේ කියන එක ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්නේ...

2009 අවුරුද්දේ පේරාදෙණිය කම්මලට ගිය අළුත මම මූණ දීපු සිද්ධියක් තමා මේක. Material Science දේශනය. පවත්වන්නේ ආචාර්ය. K.R.B. හේරත්.

හේරත් සර්ගේ පුරුද්ද තමා මුලින්ම තමන් ඊළඟට උගන්වන්නේ මොකක්ද කියලා කියන එක.
ඊට පස්සේ දිගට එල්ලපු කළු ලෑලි දෙකට බෙදලා කුරුමිණි සයිස් (කළු ලෑල්ලට සාපේක්ෂව) අකුරෙන් ඒ කිව්වේ මොකක්ද කියලා ලියාගෙන යන එක. දේශනය වෙලාවේ අවධානයෙන් අහන් ඉන්නවට අමතරව ඇස් දෙක හරි ගානට නාභි ගත කරන් හිටියේ නැත්තම් ලිය ලියා හිටපු තැන බෝඩ් එකේ හොයන්න වෙනම මෙහෙයුමක් දාන්න වෙනවා.

මේ කියන දවසේ හවස පහට විතර මම අදාල දේශනයට සහභාගී වෙද්දී ඇඳගෙන ගියේ ඩෙනිම් කලිසමක් සහ t-shirt එකක්. සාමාන්‍යෙයන් මම අදටත් විශ්ව විද්‍යාලයට යන්න රබර් සෙරෙප්පු දාන්නේ නෑ. දානව නම් ඩෙනිමට ගැලපෙන සපත්තු දෙකක් නැත්තම් බාටා නොවන සෙරෙප්පු දෙකක් (සිංහලෙන් සැන්ඩ්ල්ස් කියන්නේ) තමා දාන්නේ. මේ කියන දවසෙත් ඔය සුපුරුදු ඇඳුමෙන් සැරසිලා මම ගියා දේශන ශාලාවට. මගේ අල්ලපු පුටුවේ වාඩි වුනේ අපේ බැච් එකේ රෙපා. (පුද්ගලයගේ නම ගම මම දාන්න යන්නේ නෑ. මේ කියන කෙනා සහ මගේ මත ගැටුම් තිබුනත් මට අදටත් මේ මනුස්සයා හොඳ යාළුවෙක්)

දේශනය යනවා. මගේ ඇස් දෙක බෝඩ් එක දිහා බලාගෙන අනිමිස ලෝචනය කරද්දී අත් දෙක දඩ බඩ ගාලා නෝට් එක ලියාගෙන යනවා. ඔය අතරේ මට පැත්තකින් ඇහෙනවා මෙහෙම.

“ඇයි මචං උඹල ඔය විදියට ඇඳගෙන එන්නේ. කැම්පස් එකට එන විදියක් තියෙනවා නේද? ඔහොම ඇඳුම් ඇන්දම මේකට ගැලපෙන්නේ නෑ නේද?“

මම හැරිලා බලද්දී අපේ රෙපා මට ඩෙනිම ඇඳීමේ ආදීනව ගැන දේශනා කරනවා. මටත් දැන් කටපියාගෙන ඉන්න අමාරුයි.

මම - “මොකක්ද මේ ඇඳුමේ ඇති වැරැද්ද?“

රෙපා - “නෑ උඹ ඇඳලා ඉන්න ඇඳුම වැරදි නැතුව ඇති. හැබැයි හිතපන්කෝ තව ටික දවසකින් නිකම් බාටා කෑලි වගේ සෙරෙප්පු එහෙම දාගෙන රස්තියාදුකාරයෝ වගේ මේකට එන්න ආවොත් ඉංජිනේරු ශිෂ්‍යෙයා් විදියට අපේ තත්වයට මොකද වෙන්නේ? ෆැකල්ටියේ විනයක් තියෙන්න එපැයි“

මම - “මචං අඳින ඇඳුමේ නෙමේ වැදගත් කම තියෙන්නේ. තමන් කරන දේ සහ ගැලපෙන දේ කරන එකේ. මේ කවුරුත් ඔය කියන විදියේ රස්තියාදුකාර විදියට ඇවිල්ලා නෑනේ. ක්ලීන් සූට් ගහලා දහජරා වැඩ කරනවා නම් එන්න ඒකයි වැරදි“

රෙපා - “හරි හරි උඹ බලපංකෝ මං කියපු දේවල් වල ඇත්තක් නැද්ද කියලා?උඹට තව ටිකක් කල් යද්දී තේරෙයි.“

මම - “හරි එදාට අපි බලමු මොකක් වෙයිද කියලා. දැනට අවුලක් නැතුව යනවනේ. උඹට මේක ගැන කතා කරන්න ඕනෙ නම් පස්සේ වෙලාවක මාව මුණ ගැහියන් මට මේ ලෙක්චර් එක ලියාගන්න ඕන දැන්.“

මේ කතාව සිද්ධ වුනාට පස්සේ රෙපා මට කවදාවත් ඇඳුමේ ආදීනව කියලා දෙන්න ආවේ නෑ.

සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු දෙකකට පස්සේ සමස්ථ බැච් එකම ඩෙනිම සහ t shirt එකට මාරු වුනා. මේලෝ ආත්මෙක ඩෙනිමයි t shirt අඳින් නැතිවෙයි කියලා හිතපු උන් පවා පස්සේ කාලෙක බාටා කෑලි දාගෙන කැම්පස් ආවා. හැබැයි මේ ආපු හැමෝම තමන් එන්නේ ඉංජිනේරු පීඨයට කියන ආකල්පය ඔළුවේ තියාගෙන හිටියා. ඒ හින්දා රෙපා කිව්වා වගේ තැනට නොගැලපෙන විදියට කවුරුත් ආවේ නෑ (බාටා දාපු එක ඇරෙන්න). කෙල්ලෝ ගැන කිව්වොත් අපේ බැච් එකේ හැමෝම වගේ විශ්ව විද්‍යාලයට ආවේ ගවුමක් නැත්තම් සාය හැට්ටේ(සිංහලෙන් Skirt & Blouse කියන්නේ) ඇඳගෙන.

ඊටත් අවුරුදු දෙකකට පස්සේ මම ආපහු විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙද්දී පළමු වසරේ ඉදන් අවසන් අවුරුද්ද නිමයි t-shirt එකයි ගහන්න පටන් අරන් තිබ්බා. ගෑනු ළමයි පවා සාය හැට්ටේ පැත්තකට දාලා ඩෙනිමට මාරු වෙලා තිබ්බා. එතනදී නම් මට හිතුනේ ඒ දවස්වල රෙපා කිව්ව විනය ගැන ආපහු හිතන්න වෙයි වගේ කියලා. හැබැයි කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන හින්දා අපේ මල්ලිලා නංගිලා හිතන්නේ අපිට වඩා වෙනස් විදියට වෙන්න ඕනේ කියලා උපේක්ෂාවෙන් ඒක දිහා බලාගෙන හිටියා.

විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය අනුගතකරනයේදී පළමු අවුරුද්දේ එකම ඇඳුමක් අන්දවලා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමානාත්මතාවය ඇති කිරීම කියලා තමා මම ඇහුවේ. (අල වෙලා හිටපු හින්දා දන්නේ කනින් කොනින් අහන්න ලැබුන ඒවා විතරයි.) හැබැයි ඒ දවස්වල එහෙම ඉඳලා රු 5000න් විතර ජීවත් වෙච්ච අපේ සමහර සහෝදරවරු අද වෙද්දී රු.100,000ක් ලැබිලත් මදි කියන තත්වයට ඇවිල්ලා තියෙනවා. රු. 500 1000 ඇඳුම් ඇඳපු සමහරු මේ වෙද්දී අඳින්නේ Odel එකේ ඇඳුම් විතරයි කියන තත්වෙට ඇවිල්ලා තියෙනවා.

මේවා දැකපු සහ අත්දැකීමෙන්ම දැකලා තියෙන මට අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන්මට ගැලපෙන විලාසිතා කරන්න හැමෝටම අයිතියක් තියෙනවා. නවක වදය දීලා පුරුදු කරන්න ඕනේ අඳින ඇඳුම නෙමේ හැමෝටම ආදරය කරන්න සහ ගෞරව කරන්න.
ඒ වගේම මගෙන් කවුරු හරි ඇහුවොත් කෙල්ලකුට ගැලපෙන ඇඳුම මොකක්ද කියලා මම කියන්නේ ගවුමක් නැත්තම් සාය සහ හැට්ටය කියලා.