Wednesday, October 27, 2010

හූ කීමේ ආනිශංස.....

මේ දවස්වල ලංකාවේ ප්‍රශ්නයක් නැති විශ්ව විද්‍යාලයක් හොයාගන්න නැති තරම්.වැරදුනා....මොරටුව,යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල නම් දැනට ප්‍රශ්න නෑ.මොරටුව ඈයොන්ට ගොන් ප්‍රශ්න ඇති කරගන්නවට වඩා කරන්න වැඩ තියෙනවා.යාපනය හා නැගෙනහිර ඉන්න බහුතරය අපේ ද්‍රවිඩ සහෝදරයෝ..ඒ උදවියත් මේ වගේ ගොන් පාර්ට් වැඩ දාන්න යන්නේ නෑ.....
එතකොට අනිත් වි.වි වල ඉන්න උන්දැලට මොකද වෙලා තියෙන්නේ.ඒ ගැන මම මගේ මුල්ලට වෙලා තට්ට තනියමේ ‍ඉන්න කොට හිතිච්ච දේවල් සහ මකුළු දැලේ රවුම් ගහනකොට දැක්ක දේවල් ගැන තමා මේ ලියන්නේ.........
‍ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 16ක් තියෙනවා.ඊට අමතරව විවිධාකාරයේ උපාධි පිරිනමන ආයතන 15ක් තියෙනවා.ඕනෙම නම් මෙතනින් බලා ගන්නකෝ ඒ මොනවද කියලා.(විකිපීඩියා පිටුවට)ඉතින් ශ්‍රී ‍‍ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව අ.පො.ස සා.පෙ/උ.පෙ එහෙම සමත්වෙලා ඇති හැකි විදිහට ඔය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල් වෙලා,එහෙම නැත්තනම් රට රාජ්ජයකට මංගච්චලා උපාධියක් මන්දු කොර ගන්නවා.කමක් නෑ.උගතමනා ශිල්පයමයි මතු රැකෙනා නේ.දැන් අපි අපේ මාතෘකාවට හැරෙමු.
මෙන්න මේකයි කතන්දරේ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තිබ්බ අඩුපාඩුවක් තමා "නීති පීඨය"(ඇත්තටම කියනවනම් "නීති අධ්‍යයනාංශය") පවත්වාගෙන යාමට අදාල ගොඩනැගිල්ලක්.මේකට ගෙනාව විසඳුම තමා තිබ්බ ගොඩනැගිල්ලක් අළුත්වැ‍ඩියා කරලා ඒ සඳහා පාවිච්චියට ගැනීම.ඉගෙන ගන්න ඕන එකාට කොතනත් එකයි.බිල්ඩිම කොහොමහරි සුපිරි(කිව්වට ටිකක් අඩු) තත්වයකට නිමා කරා.අළුත් පීඨයක් පටන් ගන්නනේ යන්නේ.ඉතින් උපකුලපතිතුමා,පීඨාධිපතිතුමා ඇතුළු පිරිසට ඕනෙ වුණා මේක ටිකක් ලොකුවට විවෘත කරන්න.ඒ කියන්නේ උත්සවාකාරයෙන් විවෘත කරන්න.ආරාධනා කරා අළුත් උසස් අධ්‍යාපන ඇමතිතුමාට.කවුද කියලා දන්නවනේ.කමක් නෑ.දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම්.එතුමා තමා අතිගරු S.B.දිසානායක මැතිතුමා.‍

මෙතුමා විවෘත කරන්න එන එකට කට්ටිය කැමති වුණාට සෙට් එකක් කැමති වුණේ නෑ.ඒ තමා ‍ජ.වි.පෙ ට ක‍‍‍ඩේ යන අන්තරේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) උන්දැලා සෙට් එක.‍‍නිදහස් අධ්‍යාපනය රැක ගන්න සටන් කරන ශිෂ්‍ය ප්‍රජාව.ඉතින් මේ අයට ඕන වුණා විප්ලවයක් කරන්න.මොකද දන්නවද කරේ.පේරාදෙණිය මහා ශිෂ්‍ය සංග‍මේට දැනුම් දුන්නා හූ කීමේ ම‍හා පුණ්‍ය කර්මයක් සංවිධානය කරන ලෙසට.කිරි අප්පොච්චියේ අන්තරේ කියපු දෙයක් නොකර කොහොමද?මහා ශිෂ්‍ය සංගමේ වැ‍ඩේ සංවිධානය කරා.හැබැයි බහුතර කැමැත්ත මත නම් ‍නෙමේ කියලා තමයි මකුළුවටනම් ආරංචි වුණේ.මකුළුවගේ යාළුවො ඉන්නවා නවක ශිෂ්‍ය අනුගතකරණයට ලක්වුන නිසා සහභාගී නොවී බැරිකමට පින් කරගන්න ගිය අය.ඒ වගේම පින් එපා කියලා මග ඇරපු කට්ටියත් ඉන්නවා.සාමාන්‍යයෙන් පින්කමක් කරන්න පූජා භාණ්ඩ ඕනෙ කරනවනේ.ඉතින් පාරිශුද්ධ මිනී පෙට්ටියක් එහෙම ගෙනල්ලා කට්ටිය නමෝ විත්තියෙන් පින්කම ආරම්භ කරා.උඩ පැන පැන හූ කිවුවා.පින්කම සාර්ථකයි.SB මහත්තය කිසිදෙයක් නොවුන ගානට යන්න ගියා.ඇත්තනේ හූ කීවට ඇඟේ වදින එකක්යැ.ආපහු එන්න ලෑස්ති වෙනකොට එන්න නොදී ගමන් මග අවහිර කරත් එතුමා මොකුත් කියන්නේ නැතුව ගියා...............................................................................................................
කතාවක් තියෙනවනේ කොට්ටෝරුවා මොන ගහට කෙටුවත් කෙහෙල් ගහට කෙටුවොත් ඉවරයි කියලා.කිවුව වගේම මේ පාර නම් අන්තරේ කෙටුවෙ වැරදි ගහට.උසස් අධ්‍යාපන අමාත්‍යවරු හිටියට S.B.දිසානායක මහත්තයා තරමක් වෙනස් චරිතයක්.එතුමා ජ'පුරේ උපාධිධාරියෙක් වගේම ශිෂ්‍ය සංගම්වල බැහැලා වැඩ කරපු ‍කෙනෙක්.ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අරගල කරපු කෙනෙක්.එදා එහෙමයි මෙදා කොහොමද කියලා තේරෙන මනුස්සයෙක්.
කිසිකතාවක් නැතුව හූ කිමේ පුණ්‍ය කර්මය දිට්ඨ ධම්ම වේදනීය විදිහට පඩිසන් දෙන්න පටන් ගත්තා.ඉස්සෙල්ලාම හූ කීමේ සංවිධායක සහෝදරවරු සෙට් එකට රජයේ ‍බෝඩිමේ නිවාඩු පැකේජ් එකක් අරන් දුන්නා.අනේ වැඩි වැඩියෙන් ලබා ගන්න කියලා පේරාදෙණියෙ ම.ශී.ස සහෝදරවරු තවත් පුණ්‍ය කර්මයක් කරා.ඔක්කෝම ගිහින් අපි දුක් විඳින මිනිස්සු කියලා පෙන්නන්න පාරේ බුදිය ගත්තා.ඒ පින්කමට නම් පොදුජනතාව සෑහෙන්න පින් දුන්නා.කොටින්ම කියනවනම් නිදාගත්ත ‍සහෝදරවරුන්ගේ හත්මුතු පරම්පරාවටම පින් දුන්නා මදි නොකියන්න.මකුළුවත් එවෙලෙ පාරෙ බස් එකක් ඇතුලෙ හිටපු හින්දා මිනිස්සුන්ගේ පුණ්‍යානුමෝදනාව අඩු නැතුව ශ්‍රවණය කරා.අනේ සාදු!
ඊට පස්සේ පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ ලොකු පුටුවල ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාට තේරුණා මේ පීඨයේ ඉන්න පෘථග්ජන මානවකයන්ගේ ළපටි සිත් තුළ නිවාඩු පැකේජ් එක ලබාගත්ත මානවකයො ගැන ඉරිසියාව කියන අකුසල චිත්තය පහලවෙන්න පුළුවන් කියලා.එහෙම වුනොත් බුදු දහමට අනුව දෙවියොත් අකුසලයක් කළා වෙනවනේ.ඉතින් ඒගොල්ලොත් පින් කැමැත්තෙන් ඉංජිනේරු පීඨ මානවකයන්ට නැවත දන්වනතුරු කියලා නිවාඩු පැකේජයක් ලබා දුන්නා.ඔන්න දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍ය කර්ම පලදෙන විදිහ.
මනුසතාට පින් රැස් කර ගන්න මාරම කැමැත්තක් නේ තියෙන්නේ.ඒ නිසාම පේරාදෙණිය ශිෂ්‍යයෝ ටික,වැඩිවැඩියෙන් ලැ‍බෙන්න කියලා රජරට ශිෂ්‍යයෝ රෑනත් එකතු කරගෙන ගියා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට.අනේ දෙගොල්ලගේම සහයෝගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා අවට සුද්ධ පවිත්‍ර කරලා දුන්නා(ගල් වැලි විසිකරලා,බාධක ඉවත් කරලා).ඉතින් තව 21 දෙනෙකුට රජයේ ‍හෝටලයට නිවාඩු පැකේජ් එකක් අරන් දුන්නා.4යි 21යි ඔක්කොම 25යි.බලන්න ‍කර්ම පලදෙන්නේ කොච්චර සුන්දරද විදියටද කියලා.හැබැයි මේ පින්කම් හින්දා අපේ කාකි පාට නිළ ඇඳුම් අඳින මාමලා සෙට් එකක් නම් පවු පුරවගත්තා.මොනව කරන්නද පවට පින දෙන්න බෑනේ.පින්කරන්නත් වාසනාව තියෙන්න ඕනෙ.
දැන් මේක කියවපු කට්ටියට අව‍බෝධ වෙන්න ඇති පුද්ගලයෙකුට හූ කියන එක දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍යකර්මයක් කියන එක.බලන්න කී දෙනෙක් පින් කර ගත්තද කියලා.හැබැයි එක අවුලක් තියෙනවා.ඒ තමා ‍අපේ පින් කඳ එහෙමත් නැත්තම් අන්තරේ කැඳවුම්කාරු ඒත් මදි නම් අනාගත දත් දොස්තර මහත්තයා එහෙමත් නැත්තම් උදුල ප්‍රේමරත්න ‍සහෝදරයාටනම් මේ පින්කම දිට්ඨ ධම්ම වේදනීය විදියට පලදුන්නේ නෑ.අවුලක් නෑ.මොකද ඒ උත්තමයට විතරක් නෙමේ ඒ උත්තමය ඇතුළු අන්තරේ සිටින සියලුම පුණ්‍යවන්තයන්ට හා ඔවුනගේ හත්මුතු පරම්පරාවටම මේ දවස් වල රටේම මිනිස්සු පුණ්‍යානුමෝදනා පවත්වනවා.සාදු!සාදු!සාදු!
නවත්තන්න කලින් මේක කියවන විශ්ව විද්‍යාල මානව මානවිකාවන්ට හා විශ්ව විද්‍යාල මානව මානවිකාවන් වෙන්න හිතාගෙන ඉන්න මානව මානවිකාවන්ට පොඩි උපදෙසක් දෙන්න කැමති."රාජ්‍ය පරිපාලනයට(මුල් පුටුවල වැඩ සිටින දෙවි දේවතාවුන් වහන්සේලා) සම්බන්ධ ඕනෑම පාර්ශවයකට හූ කීම මෙළොවදීම පළදෙන මහානු‍භාව සම්පන්න පුණ්‍යකර්මයකි.එසේහෙයින් ඔබ සැම හොඳින් හූ කීමට පුරුදුවන්න.එලෙසම නවක ශිෂ්‍ය අනුගතකරණයට ලක්වී ලබගන්නාවූ පුහුණුව මෙවන් මහානු‍භාව සම්පන්න පුණ්‍යකර්මය සාර්ථකව ඉටුකරගැනීමට විසල් සවියක් වනු ඇත."
අදාල පාර්ශව වලට වැඩි වැඩියෙන් පින් අනුමෝදන් වේවා!

4 comments:

  1. අනේ වාසනාවන් , එහෙම පිංවත් දරුවො ගැන අහන්න ලැබීමත් සතුටක්. වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
  2. තවත් දේවතාවුන් වහන්සේලා පිරිසක් පින් තකා කුසලක්‍රියා සිදුකර තිබේ....
    http://www.adaderana.lk/sinhala/news.php?nid=11800

    ReplyDelete
  3. හොඳ ලිපියක් මකුළුවෝ! ඔය අන්තරේට කඩේ යන එවුන් ඉන්නෙ කීපදෙනෙක් උනාට උන්ට ඕනෙ එකක් කරගන්න කියලා ඇස් කන් පියාගෙන ඉන්න බහුතර ශිෂ්‍ය ප්‍රජාව ගැන තමයි අපේ නම් දුක. නවක වදයෙන් කඩපු උන්ගෙ කොන්ද ආපහු හැදෙන්න කැම්පස් එක ඇතුලෙ ඉන්න අවුරුදු 4ත් මදි වගේ පේන්නෙ. එහෙම නැතුව මේ සිදුවීම් ගැන තමතමන්ගෙ ස්වාධීන මතයක් ඉදිරිපත් කරන්න, ධනාත්මක විවේචනයක් කරන්න කැම්පස් එක ඇතුලෙ හැම එකාටම ඉඩක් තිබ්බ නම් තත්ත්වය මේ තරම් දුර දිග නොයන්න ඉඩ තිබුණා...

    ReplyDelete
  4. අපේ කාලේ නම් නිවාඩු එක්ක ගෙදර යන්න සල්ලිත් දෙනවා!

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....