Wednesday, July 13, 2011

අපේ ගමට පානීය ජලය ලබා දීම......

ලංකාවේ දැනට පානීය ජලය එහෙමත් නැත්තම් ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්.මෙහෙම දිව උලුක් වෙන වචන නැතුව සිංහලෙන් කිව්වොත් වෝටර් ‍‍බෝඩ් එකෙන්.

දැන් හැමෝටම තේරුණානේ.

අපේ ගම තමයි ගංති‍රියාගම.කැකිරාව නගරයේ ඉඳන් එනව නම් B 213 මාර්ගයේ(ඔය උලවු ඉලක්කම‍ හොයාගන්න බැරි නම් ටවුමේ පොරක්ගෙන් අහන්න තලාව පාර මොකක්ද කියලා....හික්ස්) කැකිරාවේ ඉඳන් කි.මී 12ක් විතර තලාව පැත්තට එනකොට වැවක් එක්ක ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙනවා.

විදුලිය,දුරකථන පහසුකම් විතරක් නෙවේ ගමේ ගොඩක් අය නොදන්නවා උනාට ටෙලිකොම් සමාගමේ ADSL සම්බන්ධතාවය පවා අපේ ගමට තියෙනවා.මගේ අවාසනාවට අපේ ගෙවල් ගාවින් දුරකථන රැහැන් ඇදලා නෑ... :( .කුඹුරු ගොවිතැන තමා ප්‍රධාන ජීවනෝපාය.හැබැයි ඊට අමතරව වෙනත් රජයේ රැකියා කරන අයත් ගමේ වාසය කරනවා.

මේ පහසුකම් මොනවා තිබ්බත් ගමට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමා ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය සපයා ගැ‍නීම.

දැන් කට්ටිය මගෙන් අහයි......"ඇයි ගොනෝ ගමේ ලිං එකක්වත් නැද්ද?" කියලා.

‍පොඩ්ඩක් ඉන්නකෝ කතාව කියනකම්.

ගමේ වගා ළිං ඇති පදම් තියෙනවා.විශාලත්වයෙන් අක්කරයක් විතර හෝ ඊට වැඩි ඕනම ඉඩමක වගා ළිඳක් කපලා තියෙනවා.ඊට අමතරව එදිනෙදා පාවිච්චියට වතුර ගන්න පොඩි ළිඳකුත් අනිවාර්යෙන්ම සෑම නිවසකම වගේ තියෙනවා.

දැන් කියවන අයට එන ඊළඟ ප්‍රශ්නේ තමා...."ඉතින් බං එහෙනම් මොන මගුලකටද ජල සම්පාදනෙන් දෙන ජලයක් හොයන්නේ?".....

දැන් මේකනේ කේස් එක.ගොඩක් අය අහලා තියෙනවනේ රජරට පැත්තේ වතුර කිවුලයි කියලා.(විද්‍යාත්මක විදියට කිව්වොත් ජලයේ කඨිනත්වය ඉහලයි.)හැබැයි ඒ කිවුල වතුර පෙරහන් පාවිච්චි කරලා පෙරලා අරන් කිවුල සෑහෙන දුරකට අඩු කරගෙන බොන්න ගන්න පුළුවන්.හෝදන වැඩ වලටත් එච්චරම අවුලක් නෑ.අපේ ගමේ බහුතරයක් ළිං වල වතුර කිවුලයි.මෑතක් වෙන තුරු(ඒ කියන්නේ 2008 මහ කන්නය ඉවර වෙනකම් වගේ) ඒ ළිං වල වතුර පාවිච්චියට අපිට කිසිම අපහසුතාවයක් වුනේ නෑ.
හැබැයි 2008 වර්ෂා කාලය ඉවර වෙනවත් එකක්ම තත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.මොන හේතුවක් හින්දද දන්නෑ ළිං කීපයක(අපේ වත්තේ ළිඳත් ඇතුළුව) වතුර කටේ තියන්න බැරි අමුතු රහක් එන්න පටන් ගත්තා.නිකම් මළකඩ දියකරලා ගත්ත වතුර වගේ.කඨිනත්වය එහෙමත් නැත්තම් කිවුල ප්‍රතිශතය 70%ක් 80ත් විතර.සබන් එහෙම හෝදන්න බෑ.කැටිවෙනවා.මේ ළිං අතරින් සමහර ඒවා අවුරුදු 50ක් 60ක් විතර පරණ ළිං.කොහොමහරි ඒ වැස්සෙන් පටන් ගත්ත වතුර අප්‍රසන්න වීම මේ වෙද්දී(2011) සෑහෙන ලිං ප්‍රමාණයක් ආක්‍රමණය කරලා ඉවරයි.
ගමේ මිනිස්සු බොන්න වතුර ගේන්නේ කිලෝමීටරයක් විතර එහායින් තියෙන පොදු ළිඳකින්.ලීටර් 10ක විතර බූලියකට වතුර එකක් ගෙනාවම සාමාන්‍යයෙන් දවස් 2කට බොන්න ඇති.අකමැත්තෙන් වුනත් සේදුම් වැඩවලට ළිං වල වතුර පාවිච්චි කරන්න වෙනවා.
අපි මුලින් හිතුවේ ළිං වතුරේ විසක්වත් තියෙනවද කියලා.හැබැයි එහෙමත් නෑ.මොකද ළිං වල ඉන්න මාලු,ගෙම්බෝ වගේ සත්තු තාම ජීවත් වෙනවා.ඒ හින්දා විශක් ශරීර ගත වීමේ අවදානමක් නෑ.
ප්‍රධාන ඇල මාර්ගය තියෙන හින්දා අතිරේක සේදුම් වැඩ වලට පහසුවක්.ඒක අපි අත්විඳින්නේ අපි ඇලට ආසන්නම පදිංචිකරුවෝ හින්දා.හැබැයි ගම ඇතුලේ ඉන්න අය ඉතින් පයින් ගාටන්න ඕනේ ඒකටත්.

දැන් ඔයාලටත් අදහසක් එන්න ඇතිනේ ගමේ වතුර කියන දේ කොච්චර දුශ්කරද කියලා....‍

ඔය අතරේ කට්ටියට මතකද දන්නේ නෑ "රණජයපුර" කියලා රණවිරු ගම්මානයක් විවෘත කරා ඉපලෝගම ප්‍රදේශයේ.ඇත්තටම කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ ඉපලෝගම ඉඳන් කිලෝමීටර 2ක් විතර එහායින් හිරිපිටියාගමට සමීපව.මේක රජයේ ව්‍යාපෘතියක් හින්දා ඒකට නල ජලය,විදුලිය,දුරකථන,අධ්‍යාපන,සෞඛ්‍ය වගේ පහසුකම් ඔක්කෝම ලබා දෙන්න ඕනෙනේ.කොහොමහරි ඔය දේවල් ලබා ගනිද්දී නල ජලය සම්බන්ධයෙන් පොඩි අවුලක් ඇති වුනා.ජල සම්පාදන මණ්ඩලයෙන් කියලා තිබ්බා ඒ අයට රණජයපුරට විතරක් වතුර බෙදා හැරීම පාඩුවක් කියලා.කොහේ නැතත් රණජබ පර්ට වතුර එපැයි.ඒ හින්දා මේ අය ළඟපාත තියෙන ගම් ටික වෙච්ච ඉපලෝගම,හිරිපිටියාගම,කුංචිකුළම හා අපේ ගම වෙච්චි ගංතිරියාගම ‍මේ නළ ජල ව්‍යාපෘතියට ඇද ගත්තා.

අපේ ගමටත් ඉතින් මගුල් ‍වගේ.ඇයි බොලේ බොන්න වතුර ටික එනවා කිව්වම.ගමේ මිනිස්සු සෑහෙන උද්යෝගෙකින් කමිටුවක් එහෙම පිහිටවාගෙන වැඩේට ඕන කරන අරමුදල් එක් රැස් කරලා දුන්නා.

මේ අතරේ රණජයපුර ගැලුම් 250000ක ධාරිතාවයක් තියෙන මහ සද්ධන්ත ටැංකියකුත් හැදුවා.මේ ටැංකියට වතුර ගන්න කළාවැව කිට්ටුව පොම්පාගාරයක් හා පවිත්‍රාගාරයක් ඉදිකරා.පළවෙනි පියවර හැටියට ගමට අවශ්‍ය බට එහෙම එක එක ගමට ගෙනත් දීලා.ඒවා වළලන විදිහ ගැන එහෙමත් කියලා දුන්නා.ඊට පස්සේ මූලික අදයර විදියට රණජයපුරට නළ ජලය ලබා දුන්නා.

ගම් වල මිනිස්සු බට වළලා අදාල පද්ධති ඔක්කෝම සකස් කරලා අදාල පාර්ශව වලට දැනුම් දුන්නා.

දන්නවද මොකක්ද ලැබුණ උත්තරේ කියලා?

දැනට පොම්පාගාරවල තියෙන පොම්පවල ධාරිතාවය මදි.අළුත් පොම්ප සවි කරන්න ‍වෙනවා එතකම් පොඩ්ඩක් කල් ඉන්න වෙනවා.

ඉතින්අපි තාම ගම පුරා ජලය ගෙනියන්න ඕන බට වළලා ඈත තියෙන ළිඳෙන් බොන්න වතුර ගෙනත් බලාගෙන ඉන්නවා.ජල සම්පාදන මණ්ඩලේ වතුර එන කම්.....

අපිට ඇහෙන හැටියට ජල සම්පාද‍න මණඩ‍ලේ දැන් අවුරුදු 2කටත් වඩා අදාල වතුර පොම්ප එනකම් බලාගෙන ඉන්නවා.......

Sunday, July 3, 2011

වරද කාගෙද?

මේ දවස් වල නිවාඩු පාඩුවේ කාලය ගත කරන හින්දා මං තුමා ලැබෙන හැම වෙලේම ගෙදර බලා පිටත්ව යනවා.(අපේ ආචාර්යවරුන්ට පිංසිද්ධ වෙන්ට තාම අපිට නිවාඩු)

ගෙදර යනවා කියන එකත් ඉතින් රු 300 කට විතර තට්ටු වෙන වැඩක්.බස් එකට(මහනුවර සිට ඉපලෝගමට) යන්නයි එන්නයි 200යි(දැන් 230යි බස් ගාස්තු වැඩි කලානේ.).ඔය අතරෙ ගෙදර බහිරවයා වගේ මගේ එක කුස උපන් සහෝදරයා බලාගෙන ඉන්නේ මං මොනවද අරන් එන්නේ කියලා.ඉතින් හිස් අතින් ගෙදර යන්නයැ තව 100කට විතර කෙල වෙනවා.

ඔහොම ගිහිල්ලත් දවස් 3ක් විතර හිටියම මෙන්න ලොකු අම්මගෙන් පණිවිඩයක් එනවා "අනේ පුතේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා සෙනසුරාදා දිහාට එන්න පුළුවන්ද " කියලා.
ඉතින් බෑ කියන්නයෑ.(මේක මගේ තියෙන ලක්ෂණයක්,හරිද වැරදිද කියන්න මම දන්නෑ.ඒක තමා මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මං නෑ,බෑ කියන්නෙම නැති තරම්.මට ඇති පදම් කෙළ වෙලත් තියෙනවා.හැබැයි තාම මං උදව්වක් ඉල්ලන ඕන එකෙක්ට ඒ උදව්ව කරනවා.)ඔන්න මගේ බෑග් මල්ලත් කරේ එල්ලගෙන බස් එ‍කට නගිනවා නුවර එන්න.

සාමාන්‍යයෙන් මම නගින බස් නැවතුම්පල(කෝනපතිරා‍ව) හරියට එද්දී බස් එක සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ(අනුරාධපුරේ ඉඳන් එන බස් එකක්නේ.).පිරිලා කියන්නේ සීට් ගානට මිනිස්සු ඉන්නවා.ඉතින් වාඩිවෙන්න සීට් එකක් හම්බුවෙන්නේ කැකිරාව බස් නැවතුමේදී හෝ ඒ ළඟ පාතදී තමා.විනාඩි 15ක් 20ක් හිටගෙන යන්න වෙනවා.

දැන් ඉතින් ත්‍රස්තවාදී තර්ජන එහෙම නැති හින්දා බස් වල රාක්ක වල ගමන් මළු තැබීමට තහනමක් නෑනේ.ඒ හින්දා ආසනයක් ලැබෙන කම් මමත් මගේ බෑග් එක ඔය රාක්කෙට දානවා.ඒ කරලා වාඩි වෙච්ච ගමන් බෑග් එක අතට ගන්නවා.‍සාමාන්‍යයෙන් බෑග් එක එහෙම රාක්කෙකට දානකොට රාක්කේ ගරාදි අස්සෙන් බෑග් එකේ එල්ලගෙන යන පටිය දෙපාරක් විතර මම අඹරලා දානවා හදිස්සියකදී රාක්කෙන් නොවැටෙන විදියට.මොකද වැටුනොත් පල්ලෙහා ඉඳගෙන ඉන්න එකාගේ ඔළුව ඉවරයිනේ.

කොහොමහරි ඊයෙත් මම ඔය කියන විදියට එන්න ගෙදර එන්න පිටත්වුනා.සුපුරුදු විදියටම මට ඉඳගන්න ආසනයක් තිබ්බේ නැති හින්දා බෑග් එක බස් එකේ රාක්කෙට දාලා මම හිටගෙන යනවා දැන්.

සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ පැති වල බස් රථ යන්නේ හරිම හිමින්.සාමාන්‍ය වේගය පැ.කි.මී 60ක් 70ක් විතර.හරිම සෞම්‍ය විදියට තමා වංගු ගන්නේ.වැඩිම උනොත් රෝද බස් එකේ තට්ටුවේ ගෑවෙනවා.ඉඳගෙන ඉන්න අය සීට් වලින් විසි වෙලා යනවා.කවදාවත් ඉස්සරහින් යන වාහන ඉස්සර කරන්න යන්නෑ.මොකද ඒ වාහන නවත්තලා බස් එකට යන්න ඉඩ දෙන හින්දා.හරිම විනීත රියදුරු මහත්වරු තමා මේ දුර ගමන් සේවා වල ඉන්නේ.ඉතින් ඔහොම යන බස් රථයක රාක්ක වල බඩු භාණ්ඩ තියද්දී සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ.‍කොයි වෙලේ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.

සාමාන්‍යයෙන් මගේ බෑග් එකේ අන්තර්ගතය වෙන්නේ මගේ writing pad එකයි(හෝ නෝට් එකක්),කැල්ක්‍යුලේටරයයි,කියවන කතා පොතයි,කුඩෙයි වතුර බෝතලයයි.කැමරාවයි.බර අනුව ගත්තොත් වැඩිම වුනොත් ග්‍රෑම් 600ක් 700ක් විතර වෙයි.ඊයේ මං බස් එකේ එද්දී තිබ්බෙත් ඔය ටික විතරයි.

පුරුදු විදයට බෑග් එක රාක්කේ තියල තියෙනවා.

බස් එකත් විනීත විදියට යනවා.

එකපාරටම ඒ විනිත විදයට ගිය බස් එක වංගුවක් ගත්තා....මගේ බෑග් එක රූටලා ඇවිත් පහල හිටිය ඇන්ටිගේ ඔළුව උඩ....

ඒ ඇන්ටි එක පාරටම ඔළුව අල්ල ගත්තා.....

මං හිතුවා හරි ඔළුව පැලුණවත්ද දන්නෑ කියලා.මමත් බෑග් එක අරගෙන "අනේ සොරි ඇන්ටි හිතලා කරපු දෙයක් ‍නෙමේ" කියලා සමාව භජනය කලා.බෑග් එක අරන් උඩින් තිබ්බා.

ඇන්ටි (ඔළුව අතගාන එක නවත්තලා)"කාගෙද මේ බෑග් එක?"

මම"මගේ ඇන්ටි වෙච්ච දේට සොරි මං හිතලා කරපු දෙයක් නෙවේනේ."

ඇන්ටි "ඒ වුනාට තමුන් දැන ගන්න ඕනේ රාක්කෙකින් තියද්දී වැටෙන් නැතිවෙන්න තියන්න."

මම "මම බෑග් එක වැටෙන විදියට තිබ්බේ නෑ ඇන්ටි...ඒක වැටෙන එක නවත්තන්න බෑග් එකේ පටි දෙකත් ඒ රෙල් අස්සෙන් අඹරලා දාලා තිබ්බේ.මේ වංගුව ගත්ත විදියට බෑග් එක ලිස්සලා ආවේ."

ඇන්ටි කතාව නවත්තන්නේ නෑ.දිගටම මට බනිනවා මං හිතලා බෑග් එකෙන් දමලා ඇරියා වගේ.මම ඉතින් උපරිම ඉවසීමෙන් හිටියා.වැරද්ද මගේ නොවුනත් සමහර තැන් වල බලු වෙන්න වෙනවනේ.

ඊට පස්සේ ඇන්ටි දාගෙන හිටිය කණ්නාඩිය ගලවලා ගත්තා.

කෙළියලුනේ තාප්පෙටම.මෙන්න බොලේ කණ්නාඩියේ එක ලෙන්ස් එකක් නෑ.දැක්ක විදියට හිතුවේ ඒක ගැලවිලා වැටිලා වගේ කියලා.පස්සේ බැලින්නම් කණ්නාඩියේ රාමුව කැඩිලා.ලෙන්ස් එක වැටිලා.(හැබැයි ඔළුවට වැටිච්ච බෑග් එකක් හින්දා ඇස් කණ්නාඩි රාමුවක නහය හරියට සම්බන්ධ වෙන කෑල්ල කැඩිලා යන එකත් ටිකක් අමුතුයි.)කොහොම හරි බැනුම ඩබල් ට්‍රිබල් ක්වඩ්‍රෘපල් වෙලා දැන්.

සාමාන්‍යයෙන් ඔහොම සිද්ධියක් වුනාම වටේ අයත් චූන් වෙනවනේ.ළඟ හිටිය හැට පැනපු ඇන්ටි කෙනෙකුත් දැන් බැනුමට හවුල්.

මම ඉතින් මගේ පැත්‍‍තෙන් වෙලාවේ හැටියට කරන්න පුළුවන් උපරිම දේ වෙච්චි සමාව ඉල්ලීම කරනවා.

ඒ අතරේ ඇන්ටි කියනවා"පුතා මම ලෙඩෙක් ඒ හින්දා තමා මේ කන්නාඩි දාන්නේ.මට මේක නැතුව පේන්නේ නෑ කියලා"(ඉතින් බොලේ ඕන මී හරකෙකුට තේරෙනවනේ කණ්නාඩි දාන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හින්දා කියලා).මොනවා උනත් මනුස්සකමක් තියෙන හින්දා මම ඒ වෙලේම හිතුවා පුළුවන් විදියට උදව්වක් කරන්නම් කියලා.

ඔය අතරේ මම ඒ කැඩිච්ච කණ්නාඩි රාමුව දැක්කා.දැක්ක ගමන්ම ‍තේරුණා මේක කලින් කැඩිලා තිබ්බ එකක් කියලා.හැබැයි ඉතින් ඒක ඒ වෙලේ කියන්න පුළුවනැයි.කෑගැහිල්ල තව දික් වෙන එක විතරයිනේ වෙන්නේ.

මට පොඩි කළකිරීමකුත් ඇතිවුනා.මොකද කරදරයක් වුනාම හැම මනුස්සයාම අවස්ථාවාදීව හැසිරෙන හින්දා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.මගේ අතින් තව 2000කට විතර කෙලවෙන්න යන්නේ.

අන්තිමේදී මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා මේ වගේ සිද්ධියකදී ඇත්තටම වැරදි කව්ද?

====================================================

ප/ලි - කවුරු හරි දන්නව නම් මට Gold Plated කාන්තා ඇස් කණ්නාඩි රාමුවක ගණන් හිලවු පොඩ්ඩක් කියනවද?