Sunday, November 7, 2010

ගියපු ගොන් කමද? නැත්තම් නොගිහින් සිටීමේ ගොන්කමද?



මේක මට සිද්ධ වෙච්ච තවත් අකරතැබ්බයක්.හැබැයි එක අතකට හිත කළකිරෙන සුළු සිද්ධියක් විදිහටත් මකුළු හිතනවා.
මේක ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධයකුත් තියෙනවා.
මම ලැබෙන හැමවෙලාවකම පොත් කියවනවට අමතරව කරන තව දෙයක් තමා චිත්‍රපට බලන එක.හොඳ ලස්සන චිත්‍රපටි එකක්වත් මකුළු අතාරින්නේ නෑ.කොහොම හරි හොයාගෙන බලනවා.හැබැයි හොයාගෙන බලන්න වෙන්නේ දේශීය නිර්මාණ නෙමේනේ.විදේශීය චිත්‍රපටි.දේශීය චිත්‍රපටයක් බලන්න නම් ඉතින් සිනමා ශාලාවකට ගොඩවෙන්න වෙනවානේ.හැබැයි සිනමා ශාලාව ඇතුලට ගියාට පස්සේ වෙන වෙන චිත්‍රපටත් පේනවා(පූර්ව ප්‍රචාරක පට නෙමේ....).ඒව ගැන වෙන වෙලාවක කතා කරමු.
මකුළුට උසස් අධ්‍යාපන කටයුතුවල කාර්ය බහුලත්වය හින්දා මෑත කාලයේ සිංහල චිත්‍රපට බැලීම තරමක් අතපසු වුණා.බලන්නම ඕන කියලා හිටපු අතුල ලියනගේ ගේ "බඹර වල්ලල" චිත්‍රපටය අවාසනාවන්ත ලෙස බලන්න බැරිවුණා.ඊළඟට බලන්න ඕනකමක් තිබ්බ චිත්‍රපටය තමා බෙනට් රත්නායක මහත්තයාගේ "ඉර හඳ යට" චිත්‍රපටය.මකුළු බාහිර වැඩ කටයුතුත් එක්ක මේ චිත්‍රපටය බලන්න යෑමත් කල් දම දමා හිටියට නොවැම්බර් 1 වෙනිදා පත්තරේ දැක්කම ටිකක් රත්වුණා.පත්ත‍රේ තිබ්බ හැටියට "ඉර හඳ යට" චිත්‍රපටය මුල් වටයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා වෙනකම් විතරයි.එහෙනම් ඉතින් පුළුවන් තරම් ඉක්මනට චිත්‍රපටය බලන්න යන්න ඕනේ.ගෙදරට ඉල්ලීම යොමුකළ සැනින් අක්කා කින්ඩිය දැම්මා "අනේ!තමුසෙයි තමුසෙගෙ ඉර හඳ යටයි.තාම බලාගන්න බැරි වුනාද?" කියලා.මම අක්කට විරිත්තලා "මම ඉරිදට යනවා" කියලා තීරණේ සභාගත කරා.ඒකමතිකව තීරණේ සම්මත වුනා.
ඉරිදා උදේ ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා මකුළුවා දඩිබිඩි ගාලා ලෑස්තිවෙලා සුභමොහොතින් මහ වැස්සේ ගෙයින් එළියට බැහැලා සිනමා ශාලාව කරා ගමන් ඇරඹුවා.
රුපියල් 20කටත් කෙලවගෙන බස් එකක නැගලා ගිහින් සිනමා ශාලාව ළඟින් බැහැගත්තා.මේ සිනමා ශාලාව කන්ද උඩරට පැත්තේ තරමක් ප්‍රසිද්ධ තැනක්.පිහිටලා තියෙන්නේ මහවැලි ගං ඉවුරේ(දැන්නම් දන්න ඈයො දන්නවා තැන මොකක්ද කියලා..)කොහොම‍ හරි පාරෙ ඉඳලා බලන කොට කටවුට් ගහන බෝඩ් ලෑල්ල අපූරුවට පේනවා.
මමත් ඉතින් ඇතුලට යන්න කලින් තහවුරු කරගත්තා මොකක්ද පෙන්වන පිචර් එක කියලා.බෝඩ් ලෑල්ලට අනුව නම් "ඉර හඳ යට" තමයි.ඔන්න ඉතින් මමත් ගේට්ටුවෙන් ඇතුලට ගියා.ඇතුලට ගියාට ෆිල්ම් එක බලන්න බලු බල්ලෙක්වත් නෑ වගේ.යාබද සිනමා ශාලාවට නම් සෑහෙන පෝලිමක් තියෙනවා(බහුතරයක් හිටියේ ඇතුළුට ගිහින් රඟපාන කට්ටිය....).මකුළුවට ටිකක් අස්පට් ගියා.මට තේරුණා මොකක් හරි කේස් එකක් මට ෆයිල් වෙලා වගේ කියලා.

මළ තොප්පියයි!නයි කයිද රෝස් පාන් කිවුවලු.

මෙන්න බොලේ සිනමා ශාලාවෙ උඩින් ගහලා තියෙන කටවුට් එකට අමතරව ඇතුල්වෙන දොරෙත් තව ඇබිත්තන් කටවුට් එකක් ගහලා තියෙනවා.මකුළු දෙතුන් පාරක් ඇස් පිහදලාත් බැලුවා මේක ඇත්තම එකක් ද කියලා.
මොකක් ද දන්නවද ගහලා තිබ්බේ.

"අළුත් වැඩියා කටයුතු සඳහා සිනමා ශාලාව වසා ඇත.නැවත විවෘත කිරීම - නොවැම්බර් මස 10වන දින..."

මට අම්බානක ෆ්ලවර් ජම්පින්....දෙපාරක් හිතුවේ නෑ,පිචර් හෝල් එකේ ලොකුතැන ඇතුළු පවුලේ සැමට හෙම්බිරිස්සාව හැදෙව්වා.
මොනවා කරන්නද?දවසම හිටියත් මේක දැන් ආපහු පෙන්නයි කියලයැ.ගිය ගොන්කමට ආපහු හැරිලා ආවා.ගෙදර ආපු ගමන් ඉතින් අක්කගේ නෝන්ඩිය කන්න වුණා.නෝන්ඩි කෑම නම් අවුලක් නෑ කියමුකෝ.දැන් මට තියෙන ප්‍රශ්නෙ තමා මම කරපු ගොන් වැ‍ඩේ මොකක්ද කියන එක.
1.චිත්‍රපටය බලන්න නොයා සිටීම....
2.අවසාන මොහොතේ හෝ චිත්‍රපටය බලන්න යාම....

නො.1 නම් ඉතින් වැඩි ඡන්දෙන් ගොන්කමක් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන.
නො.2???????????????

මම හිතන විදිහට ඒක නම් ගොන්කමක් නෙමේ.මොකද සිනමාශාලා අයිතිකාරයගේ වගකීම තමා ප්‍රසිද්ධ කරලාතියෙන අන්තිම දවස දක්වා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම.(පෙන්නන් නෑ කියන දැන්වීමවත් පේන්න ගහලා තියපියකෝ...එහෙමවත් නෑනේ.)එතකොට මෙහෙම සිද්ධියක් වෙනවනම් මම වගේ අවසාන මොහොතේ හරි ෆිල්ම් එක බලන්න එන ප්‍රේක්ෂකයන්ට මොකද වෙන්නේ.මෙහෙම සිද්ධිවලින් සිංහල සිනමාවට වෙන්නේ බරපතල හානියක්ද?නැද්ද?කියන එක හිතලා බලන එක ඔයගොල්ලන්ට අයිති වැඩක්.මොකද?ඔය දෙකයි පනහේ සිංහල චිත්‍රපට(රෝස කැළේ,සුවඳ දැනුණා ජීවිතේ,....)වගේ වාණිජත්වය පමණක් පදනම් කරගත්ත චිත්‍රපටයක් පෙන්වනකොට කවදාකවත් ඔහොම සිද්ධියක් වුණා කියලා කොහෙදිවත් ආරංචිවෙලා නම් නෑ.
එක අතකට මේවගේ සිද්ධිවලට හේතුව ප්‍රේක්ෂකයාගේ පිරිහීම වෙන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වෙන්නේ "ඉර හඳ යට" වගේ චිත්‍රපටයක් ආපු අළුත උණු කැවුම් වගේ අලෙවි වුණාට පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා.මේකට හේතුව KFC කන්න පුරුද වෙච්චි අයව ආපහු හීනටි හාලේ බත් වලට හරවන්න අමාරුයි වගේ වැඩක්.තාමත් හොඳ කළා කෘති වලට ආස අය මුලින්ම ඇවිත් චිත්‍රපටය බලලා ගියාට අන්තිම කාලෙ වෙද්දි සිනමාශාලා වේලෙන්න ගන්නවා.ඉතින් අර මකුළුට වුනා වගේ සිද්ධි සිද්ධ වෙන එකත් පුදුමයක් නෙමේ.

හැ‍බැයි මේකෙන් මකුළු හොඳ පාඩමක් ඉගන ගත්තා.මීට පස්සේ අළුත් ෆිල්ම් එක්ක ආපු ගමන්ම ගිහින් බලන්න ඕනේ කියන එක.

ප.ලි - මම හිතුවා ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටි කීපයක පූර්ව ප්‍රචාරක පට කීපයක් මේකට එකතු කලොත් හොඳයි කියලා.ඒ සඳහා ඉතින් youtube සරණං තමා....

1.විධූ - අශෝක හඳගම

2.How I Wonder What You Are - උදය ධර්මවර්ධන

3.Nino Live - තිසර ඉඹුල්පන

4.සුපර් සික්ස් - උදාර පල්ලියගුරුගේ(තාම පූර්ව ප්‍රචාරක පට නිකුත් වෙලා නම් නෑ.හැබැයි විප්ලවකාරී සිනමා නිර්මාණයක්)



"ෆ්ලවර් ජම්පින්" යන වදන බ්ලොග් ග‍ඩොල් වාග් මාලාවෙන් උපුටා ගන්නා ලදි.