Saturday, December 25, 2010

විනාඩි 10කින් මොනවද කරන්න බැරි?


මම මේ සටහන ලියන්න පටන් ගත්තේ ලියන්නේ මොනවද කියලා කිසිම අදහසක් නැතුව?හැමෝටම සුභ නත්තලක් කියන්නම් මුලින්ම.මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ තවත් එක සමාසිකයක් ඉවර වුනා.විභාගය සඳහා අධ්‍යයන නිවාඩු ලැබිලා පාඩම් කරන ගමන් මහන්සිය යන්නත් එක්ක පරිගණකය ඉස්සරහා වාඩි වුනාට පස්සේ තමා මේක ලියන්න ඕනේ කියලා හිතුවේ.

"මොනවද ලියන්නේ?"
"මම කොහොමද දන්නේ...."
"ඉතින් එහෙනම් ලියන්න කිව්වේ..."
"එහෙම කිව්වට ලියන්න ඕනේ ඔහේනේ....."
"මට ලියන්න අදහස් දෙන්න ඕනේ උඹ......."
"ඒවා මම දන්නේ නෑ.....විනාඩි 10කින් ලියලා ඉවර කරපිය....නැත්තම් අදත් කිසි වැඩක් කරන්න වෙන්නේ නෑ...."
"විනාඩි 10කට මම මොනවද ලියන්නේ?"
"විනාඩි 10කින් මොනවද ලියන් බැරි...."
"මොකුත් ලියන්න බෑ...සංකල්පයක් ගොඩනගන්නම විනාඩි 2ක් වත් යනවා....ඒකට හැඩයක් දෙන්න තව විනාඩි 5ක වත් ඕනේ....ඒකරලා දළ සටහනක් හදන්න තවත් විනාඩි 5ක් වත් යනවා....ඒක ලියන්න කොහොමත් විනාඩි 20ක් වත් ඕනේ....ලස්සන කරන්න තව විනාඩි 5ක් යනවා....ප්‍රසිද්ධ කරන්න විනාඩි 3ක් වෙන් කලොත් ඔක්කෝටම විනාඩි 30ක් ගිහිල්ලා....විනාඩි 10 වගේ තුන් ගුණයක්...තමුසෙගේ මොළේ හොඳ නෑ....."
"මට පේන්නේ තමුසෙගේ මොළේ හොඳ නෑ.....හිතලා බලනවා විනාඩි 10කට මොනවද කරන්න බැරි කියලා?"
"එහෙනම් හිතනවකෝ...තමුසෙටමනේ ඒක කරන්න පුළුවන්..."
"එහෙනම් අහගන්නවා......
  1. අම්මා ඇහැරෙන්න විනාඩි10ක් පරක්කු වුනොත් උදේට ගෙදර හැමෝටම පරක්කු වෙනවා....තාත්තාට රතු ඉර වදිනවා....ඔහේට ඉස්කෝලේ ‍ගේට්ටුවේ කූරු ගනන් කර කර ඉඳලා තමා ඇතුලට යන්න වෙන්නේ....මදි ‍අඩුවට ලොකු සර්ගේ කෝටුවේ ලස්සනත් බලාගෙන....
  2. විභාගෙට ලියන කොට විනාඩි 10ක් කියන්නේ රත්තරන් වගේ.... විනාඩි 10ක් පිස්සු කෙලියොත් ජීවිතේම පිස්සු කෙලින්න පුළුවන්...මතකනේ ගිය පාර ලියපු හැටි,විනාඩි 10ක් නැතිවෙච්ච එකේ පළවිපාක...ප්‍රශ්න කීයක් මග ඇරුනද?
  3. වැඩට යන්න,ඉස්කෝලෙ යන්න උදේ බස් එක විනාඩි10ක් පරක්කු වුනොත්.........
  4. සැත්කමක් කරද්දී,හදිසි අවස්ථාවකදී විනාඩි 10ක් කියන්නේ රෝගියාගේ වගේම වෛද්‍යවරයාගේත් ජීවිතේ........
  5. ගුවන් නියමුවෙකුට,ක්‍රීඩකයෙකුට විනාඩි 10ක් කියන්නේ තමන්ගේ වැටුප....මොකද උගේ වැරැද්දෙන් පරක්කුවුනොත් ඒකට දඩ ගෙවන්න වෙනවනේ....
  6. සොල්දාදුවෙකුට විනාඩි 10ක් කියන්නේ කල්පයක් වගේ.......
  7. විනාඩි 10ක් ඇතුලත යුද්ධයක් ආරම්භ කරන්න වගේම නවත්තන්නත් පුළුවන්......ඔබාමා මේ දැන් නියෝග කලොත් උතුරු කොරියාවට පහර දෙන්න කියලා විනාඩි 10ක් නෙමේ ඊටත් අ‍ඩු කාලයකින් හතරවන ලෝක යුද්ධෙ ඇතිවෙයි...
  8. ෆි‍ෆා තරඟයක අන්තිම විනාඩි 10 දැකලා ඇතිනේ......
  9. රසායනික සංයෝගයක් හදද්දී නියමිත කාලයට වඩා විනාඩි 10ක් එහාට මෙ‍හාට වුනොත්.....
  10. ඡායාරූප ශිල්පියෙකුට විනාඩි 10ක් කියන්නේ සෑහෙන වටින කාල ප්‍රමාණයක්....
තව ................."

"හෝව්! දැන් විනාඩි 10ක් ඉවරයි....ඔහේ නිකම් කියෙව්වා විතරයි....මට ලියන්න මොකුත් කීවේ නෑනේ......."
"ඇයි?දැන් තමුසේ මෙච්චර වෙලා කොටපු ටික කියවලා බලනවා....."

**මෙය මමත් මාගේ සිතත් අතර ඇතිවූ දෙබසකි.......
***රසාස්වාදනයට කොතරම් සුදුස් දැයි මම නොදන්න නමුත් මාගේ සිතට අනුවනම් කියවන්නෙක්හට "මකුළුවා යනු පිස්සෙක්" යැයි සිතීම වැලැක්විය නොහැක.....

Sunday, November 7, 2010

ගියපු ගොන් කමද? නැත්තම් නොගිහින් සිටීමේ ගොන්කමද?



මේක මට සිද්ධ වෙච්ච තවත් අකරතැබ්බයක්.හැබැයි එක අතකට හිත කළකිරෙන සුළු සිද්ධියක් විදිහටත් මකුළු හිතනවා.
මේක ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධයකුත් තියෙනවා.
මම ලැබෙන හැමවෙලාවකම පොත් කියවනවට අමතරව කරන තව දෙයක් තමා චිත්‍රපට බලන එක.හොඳ ලස්සන චිත්‍රපටි එකක්වත් මකුළු අතාරින්නේ නෑ.කොහොම හරි හොයාගෙන බලනවා.හැබැයි හොයාගෙන බලන්න වෙන්නේ දේශීය නිර්මාණ නෙමේනේ.විදේශීය චිත්‍රපටි.දේශීය චිත්‍රපටයක් බලන්න නම් ඉතින් සිනමා ශාලාවකට ගොඩවෙන්න වෙනවානේ.හැබැයි සිනමා ශාලාව ඇතුලට ගියාට පස්සේ වෙන වෙන චිත්‍රපටත් පේනවා(පූර්ව ප්‍රචාරක පට නෙමේ....).ඒව ගැන වෙන වෙලාවක කතා කරමු.
මකුළුට උසස් අධ්‍යාපන කටයුතුවල කාර්ය බහුලත්වය හින්දා මෑත කාලයේ සිංහල චිත්‍රපට බැලීම තරමක් අතපසු වුණා.බලන්නම ඕන කියලා හිටපු අතුල ලියනගේ ගේ "බඹර වල්ලල" චිත්‍රපටය අවාසනාවන්ත ලෙස බලන්න බැරිවුණා.ඊළඟට බලන්න ඕනකමක් තිබ්බ චිත්‍රපටය තමා බෙනට් රත්නායක මහත්තයාගේ "ඉර හඳ යට" චිත්‍රපටය.මකුළු බාහිර වැඩ කටයුතුත් එක්ක මේ චිත්‍රපටය බලන්න යෑමත් කල් දම දමා හිටියට නොවැම්බර් 1 වෙනිදා පත්තරේ දැක්කම ටිකක් රත්වුණා.පත්ත‍රේ තිබ්බ හැටියට "ඉර හඳ යට" චිත්‍රපටය මුල් වටයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා වෙනකම් විතරයි.එහෙනම් ඉතින් පුළුවන් තරම් ඉක්මනට චිත්‍රපටය බලන්න යන්න ඕනේ.ගෙදරට ඉල්ලීම යොමුකළ සැනින් අක්කා කින්ඩිය දැම්මා "අනේ!තමුසෙයි තමුසෙගෙ ඉර හඳ යටයි.තාම බලාගන්න බැරි වුනාද?" කියලා.මම අක්කට විරිත්තලා "මම ඉරිදට යනවා" කියලා තීරණේ සභාගත කරා.ඒකමතිකව තීරණේ සම්මත වුනා.
ඉරිදා උදේ ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා මකුළුවා දඩිබිඩි ගාලා ලෑස්තිවෙලා සුභමොහොතින් මහ වැස්සේ ගෙයින් එළියට බැහැලා සිනමා ශාලාව කරා ගමන් ඇරඹුවා.
රුපියල් 20කටත් කෙලවගෙන බස් එකක නැගලා ගිහින් සිනමා ශාලාව ළඟින් බැහැගත්තා.මේ සිනමා ශාලාව කන්ද උඩරට පැත්තේ තරමක් ප්‍රසිද්ධ තැනක්.පිහිටලා තියෙන්නේ මහවැලි ගං ඉවුරේ(දැන්නම් දන්න ඈයො දන්නවා තැන මොකක්ද කියලා..)කොහොම‍ හරි පාරෙ ඉඳලා බලන කොට කටවුට් ගහන බෝඩ් ලෑල්ල අපූරුවට පේනවා.
මමත් ඉතින් ඇතුලට යන්න කලින් තහවුරු කරගත්තා මොකක්ද පෙන්වන පිචර් එක කියලා.බෝඩ් ලෑල්ලට අනුව නම් "ඉර හඳ යට" තමයි.ඔන්න ඉතින් මමත් ගේට්ටුවෙන් ඇතුලට ගියා.ඇතුලට ගියාට ෆිල්ම් එක බලන්න බලු බල්ලෙක්වත් නෑ වගේ.යාබද සිනමා ශාලාවට නම් සෑහෙන පෝලිමක් තියෙනවා(බහුතරයක් හිටියේ ඇතුළුට ගිහින් රඟපාන කට්ටිය....).මකුළුවට ටිකක් අස්පට් ගියා.මට තේරුණා මොකක් හරි කේස් එකක් මට ෆයිල් වෙලා වගේ කියලා.

මළ තොප්පියයි!නයි කයිද රෝස් පාන් කිවුවලු.

මෙන්න බොලේ සිනමා ශාලාවෙ උඩින් ගහලා තියෙන කටවුට් එකට අමතරව ඇතුල්වෙන දොරෙත් තව ඇබිත්තන් කටවුට් එකක් ගහලා තියෙනවා.මකුළු දෙතුන් පාරක් ඇස් පිහදලාත් බැලුවා මේක ඇත්තම එකක් ද කියලා.
මොකක් ද දන්නවද ගහලා තිබ්බේ.

"අළුත් වැඩියා කටයුතු සඳහා සිනමා ශාලාව වසා ඇත.නැවත විවෘත කිරීම - නොවැම්බර් මස 10වන දින..."

මට අම්බානක ෆ්ලවර් ජම්පින්....දෙපාරක් හිතුවේ නෑ,පිචර් හෝල් එකේ ලොකුතැන ඇතුළු පවුලේ සැමට හෙම්බිරිස්සාව හැදෙව්වා.
මොනවා කරන්නද?දවසම හිටියත් මේක දැන් ආපහු පෙන්නයි කියලයැ.ගිය ගොන්කමට ආපහු හැරිලා ආවා.ගෙදර ආපු ගමන් ඉතින් අක්කගේ නෝන්ඩිය කන්න වුණා.නෝන්ඩි කෑම නම් අවුලක් නෑ කියමුකෝ.දැන් මට තියෙන ප්‍රශ්නෙ තමා මම කරපු ගොන් වැ‍ඩේ මොකක්ද කියන එක.
1.චිත්‍රපටය බලන්න නොයා සිටීම....
2.අවසාන මොහොතේ හෝ චිත්‍රපටය බලන්න යාම....

නො.1 නම් ඉතින් වැඩි ඡන්දෙන් ගොන්කමක් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන.
නො.2???????????????

මම හිතන විදිහට ඒක නම් ගොන්කමක් නෙමේ.මොකද සිනමාශාලා අයිතිකාරයගේ වගකීම තමා ප්‍රසිද්ධ කරලාතියෙන අන්තිම දවස දක්වා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම.(පෙන්නන් නෑ කියන දැන්වීමවත් පේන්න ගහලා තියපියකෝ...එහෙමවත් නෑනේ.)එතකොට මෙහෙම සිද්ධියක් වෙනවනම් මම වගේ අවසාන මොහොතේ හරි ෆිල්ම් එක බලන්න එන ප්‍රේක්ෂකයන්ට මොකද වෙන්නේ.මෙහෙම සිද්ධිවලින් සිංහල සිනමාවට වෙන්නේ බරපතල හානියක්ද?නැද්ද?කියන එක හිතලා බලන එක ඔයගොල්ලන්ට අයිති වැඩක්.මොකද?ඔය දෙකයි පනහේ සිංහල චිත්‍රපට(රෝස කැළේ,සුවඳ දැනුණා ජීවිතේ,....)වගේ වාණිජත්වය පමණක් පදනම් කරගත්ත චිත්‍රපටයක් පෙන්වනකොට කවදාකවත් ඔහොම සිද්ධියක් වුණා කියලා කොහෙදිවත් ආරංචිවෙලා නම් නෑ.
එක අතකට මේවගේ සිද්ධිවලට හේතුව ප්‍රේක්ෂකයාගේ පිරිහීම වෙන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වෙන්නේ "ඉර හඳ යට" වගේ චිත්‍රපටයක් ආපු අළුත උණු කැවුම් වගේ අලෙවි වුණාට පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා.මේකට හේතුව KFC කන්න පුරුද වෙච්චි අයව ආපහු හීනටි හාලේ බත් වලට හරවන්න අමාරුයි වගේ වැඩක්.තාමත් හොඳ කළා කෘති වලට ආස අය මුලින්ම ඇවිත් චිත්‍රපටය බලලා ගියාට අන්තිම කාලෙ වෙද්දි සිනමාශාලා වේලෙන්න ගන්නවා.ඉතින් අර මකුළුට වුනා වගේ සිද්ධි සිද්ධ වෙන එකත් පුදුමයක් නෙමේ.

හැ‍බැයි මේකෙන් මකුළු හොඳ පාඩමක් ඉගන ගත්තා.මීට පස්සේ අළුත් ෆිල්ම් එක්ක ආපු ගමන්ම ගිහින් බලන්න ඕනේ කියන එක.

ප.ලි - මම හිතුවා ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටි කීපයක පූර්ව ප්‍රචාරක පට කීපයක් මේකට එකතු කලොත් හොඳයි කියලා.ඒ සඳහා ඉතින් youtube සරණං තමා....

1.විධූ - අශෝක හඳගම

2.How I Wonder What You Are - උදය ධර්මවර්ධන

3.Nino Live - තිසර ඉඹුල්පන

4.සුපර් සික්ස් - උදාර පල්ලියගුරුගේ(තාම පූර්ව ප්‍රචාරක පට නිකුත් වෙලා නම් නෑ.හැබැයි විප්ලවකාරී සිනමා නිර්මාණයක්)



"ෆ්ලවර් ජම්පින්" යන වදන බ්ලොග් ග‍ඩොල් වාග් මාලාවෙන් උපුටා ගන්නා ලදි.

Friday, October 29, 2010

ස්ටුඩියෝවේදී 596092........

ස්කෑන් කරපු පින්තූරෙකින් ෆොටෝ දෙක ගත්තට ස්කෑන් කරල හදාගත්ත jpg එක පෑනට දාගන්නේ නැතුව ගෙදර ආපු චූටි අයියා මකුළුවාව පිටත් කරා ආපහු ස්ටුඩියෝවට ෆොටෝ දෙක අරගෙන වරෙන් කියලා.මකුළුවගේ ළඟ ඔය "නෑ" "බෑ" වචන නැති හින්දා ගෙදරින් පිටත්වුණා රිසිට් එකත් සාක්කුවේ දාගෙන.වාහනේ පේමන්ට් එක අයිනේ නවත්තලා මකුළුවා රිංගුවා ස්ටුඩියෝව ඇතුලට.
සෑහෙන කාලෙකට කලින් නම් ස්ටුඩියෝව මකුළුවගේ දැල වගේ.මොකද ඉස්කෝලෙ යන කාලෙ මකුළුවට ෆොටෝ ගහන එක ගැන මාර රුදාවක් තිබ්බා.මි.මි 35 ‍ෆිල්ම් සුද්ද කර ගන්න මකුළුවා නිතරම ස්ටුඩියෝවට ආව ගියාට ඩිජිටල් කැමරාව ගත්තට පස්සේ ෆිල්ම් පාවිච්චිය අඩුවුණා.ස්ටුඩියෝවෙ කවුන්ටරේ හිටපු පරණ අයියලා අක්කලා මකුළුගෙ යාළුවෝ වුණාට දැන්නම් පේන්න තියෙන්නේ අළුත් මූණු සෙට් එකක්.මොනවා කරන්නද, කාලය මැවු වෙනසක අරුමේ නේ.....
පිළිගැනීමේ නිළධාරිනී(සින්හලෙන් කියනවා රිසෙප්ෂනිස්ට් කියලා) අක්කට රිසිට් එක දීලා කිවුවා ආපු කාරණාව....
"මේකට ගාන රු.50/= ක් විතර යයි"අක්කා කිවුවා.

විනාඩි 2කේ වැ‍‍ඩේ.රු.50/= නේ.මමත් කමක් නෑ කියලා."හා" කිවුවා.

ඊට පස්සේ අක්කා තාවකාලික බිලකුත් ලියලා දීලා අක්ක කිවුවා"මල්ලි කලර් ලැබ් එකට ගිහින් ෆොටෝ එක අරගන්න".

මම ගියා කලර් ලැබ් එකට.එතන නම් හිටියා පරණ අයිය කෙනෙක්.ඒ දවස් වල මකුළුවත් එක්ක වලියක් දාගත්ත පොරක්.මම ඌටත් ලාවම හිනා පාරක් දාල ළඟම කොම්පියුටරේ ළඟට ගියා.ගිහින් එතන හිටපු අයියට රිසිට් එක දීලා පරණ ඕඩර් එකේ අංකෙත් දීලා ෆොටෝ එක හොයන්න කීවා.
ඔන්න මිනිහා දැන් පිළිවෙලට යනවා.ඉස්සෙල්ලාම මොන විදිහේ ඕඩර් එකක්ද,ඊළඟට දවස කවද්ද?ෆොටෝ එකේ සයිස් එක මොකක්ද?අන්තිමේට ඕඩර් එකේ අංකේ මොකක්ද?
මෑන්ස් දැන් ස්ටෙප් බයි ස්ටෙප් වැ‍ඩේ කරලා අදාල පින්තූර තියනවා කියල ඌ හොයාගත්ත ෆෝල්ඩරේකට ආවා.දැන් ඉතින් මිනිහා ‍දාගෙන් හොයනවා.මමත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.
ඇස් පේන ඕන පොට්ටයෙකුට ඉලක්කම් අඳුර ගන්න පුළුවන්නේ.ම‍ගේ ඕඩරේ අංකේ 596092 මේ මෑන්ස් ඇර ගෙන ඉන්න ෆොල්ඩරේ තියෙන්නේ 5961xx කියලා අංක වගයක් තියෙන ඕඩර් සෙට් එකක්.මෑන්ට වගේ වගක් නෑ.පොර දාගෙන හොයනවා.දැන් විනා‍ඩි 10ක් විතර හොයලා මූ කියපි.
"මල්ලි එහා පැත්තේ ස්ටු‍ඩියෝ රූම් එකට ගිහින් බලන්න."

මමත් ගියා.එතන කොම්පියුටරේ ළඟ බලු බල්ලෙක් නෑ.පස්සෙ ඔන්න පෙර කී මෑන්ස් ම ආවා.මිනිහා මේ පාර ටිකක් මොළේ ඇති වැඩක් කරා.ඕඩර් එකේ නොම්බරේ ගහලා Search කරා.මට ටිකකට පස්සේ තමා තේරු‍නේ මෑන්ගේ දෙවෙනි ගොන් වැඩේ.පොර Search කරාට මුළු Hard disk එකම Search කරන්න දීලා.දැන් තවත් විනාඩි 5ක් විතර ඉවරයි.එතනත් ෆයිල් එක නෑ.ආයෙම ගියා කලර් ලැබ් එකට.
අපේ කථා නායකයා රිසිට් එක දුන්නා ළඟ හිටිය වෙන අයිය කෙනෙකුට.

"අයියා ඔය ඕඩරේ දීලා තියෙන්නේ ඊයේ පොඩ්ඩක් බලන්නකෝ තියෙනවද කියලා."

දෙවනි පොරත් ගත්තා රිසිට් එක, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගැහුවා රිසිට් එකේ නොම්මරේ(ඕඩර් එකේ නොම්මරේ නෙමේ).දැන් අපේ දෙවෙනි මෑන් Search වෙන්න දීලා බලාගෙන ඉන්නවා.මම බොහොම බය පක්ෂපාත විදිහට පොරට කිවුවා.

"අයියා type කරේ රිසිට් එකේ නොම්මරේ ‍නේද?"

අම්මට උඩු මූ දැම්මෙ නැතෑ නිකම් ෆුජියාමා කන්ද වුණත් අක්‍රිය වෙන විදිහෙ ලුක් එකක්.මකුළුවා හිතා ගත්තා කට පියාගෙන ඉන්න එක හොඳයි කියලා.

ටික වෙලාවක් යද්දී මෑන්ටම තේරුණා වැ‍ඩේ චොර වුණා කියලා.ඌ ද‍ඩ බඩ ගාලා හරියට Search ‍කරන්න පටන් ගත්තා.

ඇති යාන්තම්....දෙයියෝ බැලුව වගේ විනාඩියෙන් මට ඕන ෆොටෝ එක හොයාගත්තා.හැබැයි මේ වෙන කොට විනාඩි දෙකේ වැ‍ඩේට පැය බාගයක් විතර ගිහින්.මකුළුට මතක් වුණා කච්චේරියට සල්ලි වගේකුත් ගෙවන්න තියෙනවා කියලා.වෙලාව බලනකොට හවස 2.45යි.
.
මකුළුවටක් ගාලා ස්ටුඩියෝවට සල්ලි ගෙවල එතනින් පැන ගත්තා.දිවුවා කච්චේරියට රොකට් එක වගේ.3 වෙන්න තව විනාඩි 10ක් විතර තිබ්බ.

මකුළුගේ ධාවනයේ බ්‍රේක් පාර වැදුනේ කෙලින්ම කවුන්ටරේ ළඟ.මෙන්න ඉන්නවා කොහෙන් කැපුවත් කිලෝ එකක් ගන්න පුළුවන් ඇන්ටි කෙනෙක්.

"මිස් මට මේ සල්ලි ගෙවන්න තියෙනවා අර ‍‍එක්සෑම් එකට"(ඇන්ටි කියන්න බෑනේ...රාජ්‍ය සේවයේ නිළධාරීන්ගේ හැටි දන්නවනේ.මම ටිකක් විධානාත්මක වොයිස් එකකින් කීවා.)

ඇන්ටි මගේ මූණ දිහා බලාගෙන හිටියා විනාඩියක් විතර.ඊට පස්සේ.....

"අනේ දැන්නම් බෑ පුතා සල්ලි අරගන්න.පොත් ඔක්කෝම ‍ක්ලෝස් කරලා ඉවරයි.හෙට උදේ එන්න."

කෙළිය තාප්පෙට.යකෝ මේක හරි කෙළියක්නේ.3ට ‍ක්ලෝස් කරන්න තියෙන පොත් 2.50ට ‍‍ක්ලෝස් කරන්නේ මොන රටේද?මට ඌරු ජුවල්.මමත් අතෑරියේ නෑ.

"මොකද්ද මිස් තාම 3වෙලත් නෑනේ."

ඒත් ඇන්ටි ගේම අතාරින්නෙත් නෑ.

"ඔව් පුතා.ඒත් මට අද හදිසි වැඩ වගයක් තියෙන හින්දා යන්න වෙනවා.ඔයා මේ ළඟ පාත නේද?හෙට උදේ එන්න."
ඇන්ටි කවුන්ටරේ වහල ගියා.

මකුළුවත් හැරිලා ආව.හැබැයි නහුතෙට තද වෙලා.හිතුණා ප්‍රා.ලේ තුමාව හම්බ වෙලා වාර්තා කරන්නත් නිළධාරීන් ගැන.ඒත් මනුස්සකම කියන ‍දේ හින්දා හැරිලා ආවා.

කොහොමහරි පැයෙන් එන්න හිතාගෙන ගියපු මම පැය 2ක් විතර චාටර් කාලා ආවා.

ගෙට ගොඩ වුන ගමන් චූටි අයියා කියපි.

"මල්ලි කාර් එකේ ලයිසන් එක ගෙදර දාලානේ ගිහින් තියෙන්නේ....."

මකුළුවා "ආ ඇත්තද?"කියල හිනා වේගෙන ගෙට ගියා......හැබැයි යන ගමන් හිතුවේ බැරි වෙලාවත් පොලිස්කාරයෙකුත් මකුළුට හම්බුනා නම් ගෙදර ඇවිත් අයියට කොහොම ශබ්ද කෝෂයක් දිග අරිද කියලා.........

Wednesday, October 27, 2010

හූ කීමේ ආනිශංස.....

මේ දවස්වල ලංකාවේ ප්‍රශ්නයක් නැති විශ්ව විද්‍යාලයක් හොයාගන්න නැති තරම්.වැරදුනා....මොරටුව,යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල නම් දැනට ප්‍රශ්න නෑ.මොරටුව ඈයොන්ට ගොන් ප්‍රශ්න ඇති කරගන්නවට වඩා කරන්න වැඩ තියෙනවා.යාපනය හා නැගෙනහිර ඉන්න බහුතරය අපේ ද්‍රවිඩ සහෝදරයෝ..ඒ උදවියත් මේ වගේ ගොන් පාර්ට් වැඩ දාන්න යන්නේ නෑ.....
එතකොට අනිත් වි.වි වල ඉන්න උන්දැලට මොකද වෙලා තියෙන්නේ.ඒ ගැන මම මගේ මුල්ලට වෙලා තට්ට තනියමේ ‍ඉන්න කොට හිතිච්ච දේවල් සහ මකුළු දැලේ රවුම් ගහනකොට දැක්ක දේවල් ගැන තමා මේ ලියන්නේ.........
‍ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 16ක් තියෙනවා.ඊට අමතරව විවිධාකාරයේ උපාධි පිරිනමන ආයතන 15ක් තියෙනවා.ඕනෙම නම් මෙතනින් බලා ගන්නකෝ ඒ මොනවද කියලා.(විකිපීඩියා පිටුවට)ඉතින් ශ්‍රී ‍‍ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව අ.පො.ස සා.පෙ/උ.පෙ එහෙම සමත්වෙලා ඇති හැකි විදිහට ඔය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල් වෙලා,එහෙම නැත්තනම් රට රාජ්ජයකට මංගච්චලා උපාධියක් මන්දු කොර ගන්නවා.කමක් නෑ.උගතමනා ශිල්පයමයි මතු රැකෙනා නේ.දැන් අපි අපේ මාතෘකාවට හැරෙමු.
මෙන්න මේකයි කතන්දරේ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තිබ්බ අඩුපාඩුවක් තමා "නීති පීඨය"(ඇත්තටම කියනවනම් "නීති අධ්‍යයනාංශය") පවත්වාගෙන යාමට අදාල ගොඩනැගිල්ලක්.මේකට ගෙනාව විසඳුම තමා තිබ්බ ගොඩනැගිල්ලක් අළුත්වැ‍ඩියා කරලා ඒ සඳහා පාවිච්චියට ගැනීම.ඉගෙන ගන්න ඕන එකාට කොතනත් එකයි.බිල්ඩිම කොහොමහරි සුපිරි(කිව්වට ටිකක් අඩු) තත්වයකට නිමා කරා.අළුත් පීඨයක් පටන් ගන්නනේ යන්නේ.ඉතින් උපකුලපතිතුමා,පීඨාධිපතිතුමා ඇතුළු පිරිසට ඕනෙ වුණා මේක ටිකක් ලොකුවට විවෘත කරන්න.ඒ කියන්නේ උත්සවාකාරයෙන් විවෘත කරන්න.ආරාධනා කරා අළුත් උසස් අධ්‍යාපන ඇමතිතුමාට.කවුද කියලා දන්නවනේ.කමක් නෑ.දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම්.එතුමා තමා අතිගරු S.B.දිසානායක මැතිතුමා.‍

මෙතුමා විවෘත කරන්න එන එකට කට්ටිය කැමති වුණාට සෙට් එකක් කැමති වුණේ නෑ.ඒ තමා ‍ජ.වි.පෙ ට ක‍‍‍ඩේ යන අන්තරේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) උන්දැලා සෙට් එක.‍‍නිදහස් අධ්‍යාපනය රැක ගන්න සටන් කරන ශිෂ්‍ය ප්‍රජාව.ඉතින් මේ අයට ඕන වුණා විප්ලවයක් කරන්න.මොකද දන්නවද කරේ.පේරාදෙණිය මහා ශිෂ්‍ය සංග‍මේට දැනුම් දුන්නා හූ කීමේ ම‍හා පුණ්‍ය කර්මයක් සංවිධානය කරන ලෙසට.කිරි අප්පොච්චියේ අන්තරේ කියපු දෙයක් නොකර කොහොමද?මහා ශිෂ්‍ය සංගමේ වැ‍ඩේ සංවිධානය කරා.හැබැයි බහුතර කැමැත්ත මත නම් ‍නෙමේ කියලා තමයි මකුළුවටනම් ආරංචි වුණේ.මකුළුවගේ යාළුවො ඉන්නවා නවක ශිෂ්‍ය අනුගතකරණයට ලක්වුන නිසා සහභාගී නොවී බැරිකමට පින් කරගන්න ගිය අය.ඒ වගේම පින් එපා කියලා මග ඇරපු කට්ටියත් ඉන්නවා.සාමාන්‍යයෙන් පින්කමක් කරන්න පූජා භාණ්ඩ ඕනෙ කරනවනේ.ඉතින් පාරිශුද්ධ මිනී පෙට්ටියක් එහෙම ගෙනල්ලා කට්ටිය නමෝ විත්තියෙන් පින්කම ආරම්භ කරා.උඩ පැන පැන හූ කිවුවා.පින්කම සාර්ථකයි.SB මහත්තය කිසිදෙයක් නොවුන ගානට යන්න ගියා.ඇත්තනේ හූ කීවට ඇඟේ වදින එකක්යැ.ආපහු එන්න ලෑස්ති වෙනකොට එන්න නොදී ගමන් මග අවහිර කරත් එතුමා මොකුත් කියන්නේ නැතුව ගියා...............................................................................................................
කතාවක් තියෙනවනේ කොට්ටෝරුවා මොන ගහට කෙටුවත් කෙහෙල් ගහට කෙටුවොත් ඉවරයි කියලා.කිවුව වගේම මේ පාර නම් අන්තරේ කෙටුවෙ වැරදි ගහට.උසස් අධ්‍යාපන අමාත්‍යවරු හිටියට S.B.දිසානායක මහත්තයා තරමක් වෙනස් චරිතයක්.එතුමා ජ'පුරේ උපාධිධාරියෙක් වගේම ශිෂ්‍ය සංගම්වල බැහැලා වැඩ කරපු ‍කෙනෙක්.ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අරගල කරපු කෙනෙක්.එදා එහෙමයි මෙදා කොහොමද කියලා තේරෙන මනුස්සයෙක්.
කිසිකතාවක් නැතුව හූ කිමේ පුණ්‍ය කර්මය දිට්ඨ ධම්ම වේදනීය විදිහට පඩිසන් දෙන්න පටන් ගත්තා.ඉස්සෙල්ලාම හූ කීමේ සංවිධායක සහෝදරවරු සෙට් එකට රජයේ ‍බෝඩිමේ නිවාඩු පැකේජ් එකක් අරන් දුන්නා.අනේ වැඩි වැඩියෙන් ලබා ගන්න කියලා පේරාදෙණියෙ ම.ශී.ස සහෝදරවරු තවත් පුණ්‍ය කර්මයක් කරා.ඔක්කෝම ගිහින් අපි දුක් විඳින මිනිස්සු කියලා පෙන්නන්න පාරේ බුදිය ගත්තා.ඒ පින්කමට නම් පොදුජනතාව සෑහෙන්න පින් දුන්නා.කොටින්ම කියනවනම් නිදාගත්ත ‍සහෝදරවරුන්ගේ හත්මුතු පරම්පරාවටම පින් දුන්නා මදි නොකියන්න.මකුළුවත් එවෙලෙ පාරෙ බස් එකක් ඇතුලෙ හිටපු හින්දා මිනිස්සුන්ගේ පුණ්‍යානුමෝදනාව අඩු නැතුව ශ්‍රවණය කරා.අනේ සාදු!
ඊට පස්සේ පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ ලොකු පුටුවල ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාට තේරුණා මේ පීඨයේ ඉන්න පෘථග්ජන මානවකයන්ගේ ළපටි සිත් තුළ නිවාඩු පැකේජ් එක ලබාගත්ත මානවකයො ගැන ඉරිසියාව කියන අකුසල චිත්තය පහලවෙන්න පුළුවන් කියලා.එහෙම වුනොත් බුදු දහමට අනුව දෙවියොත් අකුසලයක් කළා වෙනවනේ.ඉතින් ඒගොල්ලොත් පින් කැමැත්තෙන් ඉංජිනේරු පීඨ මානවකයන්ට නැවත දන්වනතුරු කියලා නිවාඩු පැකේජයක් ලබා දුන්නා.ඔන්න දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍ය කර්ම පලදෙන විදිහ.
මනුසතාට පින් රැස් කර ගන්න මාරම කැමැත්තක් නේ තියෙන්නේ.ඒ නිසාම පේරාදෙණිය ශිෂ්‍යයෝ ටික,වැඩිවැඩියෙන් ලැ‍බෙන්න කියලා රජරට ශිෂ්‍යයෝ රෑනත් එකතු කරගෙන ගියා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට.අනේ දෙගොල්ලගේම සහයෝගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා අවට සුද්ධ පවිත්‍ර කරලා දුන්නා(ගල් වැලි විසිකරලා,බාධක ඉවත් කරලා).ඉතින් තව 21 දෙනෙකුට රජයේ ‍හෝටලයට නිවාඩු පැකේජ් එකක් අරන් දුන්නා.4යි 21යි ඔක්කොම 25යි.බලන්න ‍කර්ම පලදෙන්නේ කොච්චර සුන්දරද විදියටද කියලා.හැබැයි මේ පින්කම් හින්දා අපේ කාකි පාට නිළ ඇඳුම් අඳින මාමලා සෙට් එකක් නම් පවු පුරවගත්තා.මොනව කරන්නද පවට පින දෙන්න බෑනේ.පින්කරන්නත් වාසනාව තියෙන්න ඕනෙ.
දැන් මේක කියවපු කට්ටියට අව‍බෝධ වෙන්න ඇති පුද්ගලයෙකුට හූ කියන එක දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍යකර්මයක් කියන එක.බලන්න කී දෙනෙක් පින් කර ගත්තද කියලා.හැබැයි එක අවුලක් තියෙනවා.ඒ තමා ‍අපේ පින් කඳ එහෙමත් නැත්තම් අන්තරේ කැඳවුම්කාරු ඒත් මදි නම් අනාගත දත් දොස්තර මහත්තයා එහෙමත් නැත්තම් උදුල ප්‍රේමරත්න ‍සහෝදරයාටනම් මේ පින්කම දිට්ඨ ධම්ම වේදනීය විදියට පලදුන්නේ නෑ.අවුලක් නෑ.මොකද ඒ උත්තමයට විතරක් නෙමේ ඒ උත්තමය ඇතුළු අන්තරේ සිටින සියලුම පුණ්‍යවන්තයන්ට හා ඔවුනගේ හත්මුතු පරම්පරාවටම මේ දවස් වල රටේම මිනිස්සු පුණ්‍යානුමෝදනා පවත්වනවා.සාදු!සාදු!සාදු!
නවත්තන්න කලින් මේක කියවන විශ්ව විද්‍යාල මානව මානවිකාවන්ට හා විශ්ව විද්‍යාල මානව මානවිකාවන් වෙන්න හිතාගෙන ඉන්න මානව මානවිකාවන්ට පොඩි උපදෙසක් දෙන්න කැමති."රාජ්‍ය පරිපාලනයට(මුල් පුටුවල වැඩ සිටින දෙවි දේවතාවුන් වහන්සේලා) සම්බන්ධ ඕනෑම පාර්ශවයකට හූ කීම මෙළොවදීම පළදෙන මහානු‍භාව සම්පන්න පුණ්‍යකර්මයකි.එසේහෙයින් ඔබ සැම හොඳින් හූ කීමට පුරුදුවන්න.එලෙසම නවක ශිෂ්‍ය අනුගතකරණයට ලක්වී ලබගන්නාවූ පුහුණුව මෙවන් මහානු‍භාව සම්පන්න පුණ්‍යකර්මය සාර්ථකව ඉටුකරගැනීමට විසල් සවියක් වනු ඇත."
අදාල පාර්ශව වලට වැඩි වැඩියෙන් පින් අනුමෝදන් වේවා!

Sunday, October 3, 2010

සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.....ආරක්ෂාවයි......

මම නම් දෙයියො විශ්වාස කරන්නේ නෑ,ඒත් ‍ඉතින් හොඳ වැඩක් පටන් ගන්නකොට මොකක් හරි ආශිර්වාදයක් ලබා ගන්න එපැයි.අන්න ඒ හින්දා මේ ලෝකේ දෙයියෝ කියලා කවුරු හරි ඉන්නවනම් අන්න ඒ හැමෝගෙම පිහිටයි ආරක්ෂාවයි ලබාගෙන මම මේ වැඩේ පටන් ගන්නවා...
වැ‍‍‍ඩේ පටන් ගත්තට බෑනේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නත් ඕනෙනේ.දැන් එන පුරස්නේ තමා මම මොනාද ලියන්නේ කියන එක.
කෙළියනේ තාප්පෙටම....මම දැන් මොනවද ලියන්නේ...............................................
.....................................................................................

හරි මතක් වුණා.........
කික් එකක් ගන්නත් එක්ක ලියනවා ලෝකෙ ගැන.

"ලෝකෙ රවුම් කියලා කිව්වේ ආදි කාලෙනේ" කියලා කිව්වට ඇත්තටම කිව්වොත් ආදී කාලෙ ලෝකෙ ගැන හිතාගෙන ඉඳලා තියෙන්නේ රොටියක් වගේ තැටියක් කියලා.(ඒකනේ "සූර පප්පා(Asterix)" කාටූන් එකේදි වෙදා පප්පව ලෝකෙ ගැට්ටෙන් එළිය‍ට දාන්නේ....)ඒ කොහොම වෙතත් මුල්ම යුගයේ,තේරෙන බාසාවෙන් කිව්වොත් ක්‍රිස්තු පූර්ව බර ගනන්වල හිටපු ඈයො හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ විදිහට.ඔය පේන්නේ අපූරුවට තැටියක් වගේ පෙනිච්ච ලෝකේ...



දැන් මේ විදිහට කාලයක් ගියාට පස්සේ ක්‍රි.පූ 324 දී ග්‍රීසිය පැත්තෙ ගෙදරක පොඩි දරුවෙක් උපදිනවා.දරුව ඉපදෙන කොට පොඩි වුනාට ලේසි පහසු කෙනෙක් නෙමේ.මේ දරුවා තමා ඇරිස්ටොට්ල් (Aristotle).‍මෙතුමා හරි ලස්සනට පෙන්නලා දෙනවා ලෝකෙ කියන්නේ ගෝලාකාර දෙයක් කියලා.මෙතුමා ඒක කියන්නේ අහසේ තියෙන තරු රටා අනුව.ඒ කොහොමද කියනවානම් මෙතුමා කියනවා "එකම අවස්ථා‍වකදී ග්‍රීසියට,සයිප්‍රසය වගේ රටවලට පේන තාරකා රටාවන් සහ උතුරුදිග රටවලට පෙනෙන තාරකා රටාවන් වෙනස්.මේ වගේ දෙයක් වෙන්න පුළුවන් පෘථිවියේ මතුපිට වෘත්තාකාර වුනොත් විතරයි" කියලා.ඊට පස්සේ "එරතොස්තිනීස් (Eratosthenes), ටොලමි(Claudius Ptolemy)" වගේ අය ‍මේ ගැන විවිධ අදහස් ප්‍රකාශ කරලා මේ මතය තහවුරු කරා.ඒ වගේම කොලොම්බස්(Christopher Columbus) සහ මැගලන් (Ferdinand Magellan)ගේ වාර්ථා ලෝකේ ගෝලාකරයි කියන එකට ප්‍රායෝගික සාධක විදිහට(විද්‍යාව එතරම් දියුණු නොවූ කාලයක) ඉදිරිපත් කරන්න පුළුවන්.(විද්‍යාත්මක සාධක ගැන මම කථා කරන්න යන්නේ නෑ.).වැඩිපුර විස්තර ඕනේ නම් මෙතෙන්ට කොටලා බලන්න‍.

මෙහෙම එක එක අය ඒ ගොල්ලනගේ මතවාද ඉදිරිපත් කරාට මේ කියන කාලෙ වෙන කොට විද්‍යාව හා ආගමික මතවාද අතර පොඩි(පොඩි කීවට පොඩිම නෑ.) පරහක් තිබ්බා.ආගමික නායකයෝ ‍දෙවියන්ට උඩින් වෙන කාටවත් යන්න බෑ කියන මතයේ හිටපු හින්දා.ඒ හින්දා අයින්ස්ටයින්(Albert Einstein) මහත්තයට පවා එයාගේ පරීක්ෂණ වලට විවිධාකාර ගැටලු මතුවුනා.කොහොමවුනත් මේ මාතෘකාවට අයින්ස්ටයින් මහත්තය අදාල වෙන්නේ නෑනේ.අවසානෙදි ආගමික දර්ෂන(බුද්ධ ධර්මය හැර) බොහොමයක් යට කරමින් විද්‍යාව නැගී සිටියා.බොහොමයක් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නුවා.ඒ කියන්නේ ලෝකේ එතකොට ගෝලාකාරයි.......


දැන් ලෝකෙට මොකද වෙලා තියෙන්නේ?
මනුසතා දියුණුවෙනවත් එක්කම ලෝකෙ කියන්නේ මනුසතාගේ පාරම්පරික බූදලයක් කියලා හිතාගෙන අනෙක් උරුමක්කාරයෝ(ගහකොළ,සතා සීපාව) ඔක‍්කොම අමතක කරලා දාලා ලෝකේ අල්ල ගන්න තමා දැන් හැමෝම වලි කන්නේ.හැබැයි වෙලා තියෙන්නේ අල්ල ගන්නවා වෙනුවට හැමදේම සුන්නධූලි කරල තියන එක.ඒක වෙලා තියෙන්නේ මේ මනුසතාගේ අවශ්‍යතා වලට වඩා උවමනාවන් වැඩිවීම.ඉස්සර තිබ්බ පන් මල්ල වෙනුවට අද පොලිතීන් ඇවිල්ලා පන් මල්ල විසිතුරු භාණ්ඩයක් වෙලා.‍දුනු ඊතල වෙනුවට ටී 56 ඇවිල්ලා.ඔය වගේ විවිධ විනාශකාරී දේවල් ගොන්නකුත් මේ උවමනාවන් වැඩිවීම හින්දා නිර්මාණය වෙලා.

කෙහොම වුනත් මේ බ්ලොග් අඩවිය පටන් ගන්න ලෝකෙ ගැන මේ විදිහට ලිවීම ප්‍රමාණවත්.හැබැයි මේකේ ලියන්න ඉන්න දේවල් නම් ලියවෙන්නේ ලෝකේ ගැන නෙමේ.මේ ලෝකෙදි මට අහන්න දකින්න ලැබුන,ලැබෙන හා ලැ‍බේ යැයි සිතන දේවල්.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හින්දා බලා ගෙන ඉන්නකෝ ඉස්සරහට මොනවද ලියවෙන්නේ කියලා.....