Sunday, September 25, 2011

මම සහ මගේ ඇස් දෙක

ආයුබෝවන් කට්ටියටම.......
මකුළුදැල වියන්න බැරි වුනා සෑහෙන කාලෙකින්....දන්නේ නැද්ද.....ඉතින් ඔය නානාප්‍රාකාර වැඩ රාජකාරි තොගයකින් මගේ දවස් පිරිලා....හුස්ම ගන්නවත් ඉඩක් නෑ.....
වහලා දාලා තිබ්බ විශ්ව විද්‍යාල පද්ධතිය ආපහු විවෘත කරලා(දිගටම එසේම පවතීවා.)ව
විවෘත කරපු ගමන් තිබ්බා හතර වෙනි සමාසිකයේ අවසාන විභාගය.
මගෙ අම්මේ...ඒ වගේ විභාගෙකට නම් මම කවදාවත් ලියලා නෑ...හි හි....පේපර් හරිම සුන්දරයි?මතක් කරන්න කැමති හින්දා ඒක පස්සේ කතා කරමු.
ඊට පස්සේ ඉතින් අපේ අළුත් අධ්‍යයන වර්ෂය ආරම්භ කරා.දැන් අපි තුන්වෙනි අවුරුද්දේ.
ඔය අතරේ මමත් අපේ රේඩියෝවට සැට් උනා.....මගේ හොඳම බස් මිත්‍රයා වෙච්ච සිහින මාර්ගයෙන්.බුකි‍යේ කාලය අඩු කරලා බස් පදින්ට ගියා.දැන් බුකියට යන්නේ පූල් ගහන්නයි...සිටි විලේ සෙල්ලම් කරන්නයි විතරයි වගේ.බස් පැදිල්ල බුකියට වඩා මරු මොකද ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා.අඳුර ගන්න හරි සුන්දර සෙට් එකක් ඉන්නවා.
රේඩියෝවේ වැඩ හින්දා සමහර වෙලාවට නිදා ගන්න කොට රෑ 12යි 1යි....(මගේ කාල කළමණාකරණය හරි හොඳයිනේ....හි හි...)
ඔන්න ඔය වගේ වැඩ හින්දා මකුළු දැල වියන්න වෙලාවක් නෑ.
සාමාන්‍යයෙන් වැඩි කාලයක් බ්ලොග් ලියපු නැති කෙනෙක් ආපහු ලියද්දී කියන දේ තමා "බ්ලොගේ මකුළු දැල් කඩලා දාලා වැඩ පටන් ගත්තා" කියන එක....ඒත් ඉතින් මකුළු දැලේ මකුළු දැල් කඩන්න පුළුවනෑයි....හි හි....ඕන බලමු‍කෝ ඒකෙත් හැටි නේ.....

===============================================================

අද කතාව ටිකක් වෙනස්...සාමාන්‍යයෙන් අපි විවිධාකාර අනතුරු වලට මූහුණපානවානේ.සමහර වෙලාවට හදිසි අනතුරු...සමහර ඒවා අපේ නොසැලකිල්ලෙන්.....සමහර ඒවා අනිත් අයගේ නොසැලකිල්ලෙන්......
කොහොම හරි මෙහෙම අනතුරු වෙද්දී අපේ සමහර ශරීර අංග වැඩි වශයෙන් අනතුරු වලට ලක්වීමේ සම්භාවිතාවය වැඩි.උදාහරණ විදියට සමහරු නිතරම අත් කකුල් තුවාල කරගන්නවා.තවත් අයගේ හිසට අනතුරු සිදුවීම වැඩි
.ඔය බජාර් අයියලගේ එහෙම නම් දත් සැට් එක ගැන කියන්න දෙයක් නැනේ.(හැබැයි අබේපාල මාමා හමුවට ගියත් දත් සැට් එක ඉවරයි....හි හි......)

ඔය වගේ මං තුමා ගොඩක් වෙලාවට අනතුරු වලට මුහුණ දෙන්නේ ඇස් දෙක කේන්ද්‍ර කර‍ගෙන.දැනට නූලෙන් බේරිච්චි අවස්ථා 4යි.පොඩ්ඩක් එහා මෙහා වුනා නම් මගේ ඇස් දෙකම අද වෙද්දී නෑ.

ඇස් දෙකට පළවෙනි අනතුර උනේ මම හය වසරේ ඉන්න කොට.
අපේ කාමරේ දොර වහන්න තියෙන්නේ අර කම්බි මුද්දට දාන කොක්ක.ඔය මුද්ද සෙට් කරලා තියෙන්නේ දොර උළුවස්සට.මම දවසක් තදියමට දුවගෙන එද්දී දොර රෙද්දේ පැටලිලි ගිහින් හැප්පිච්චි උළු වස්සේ.ඔළුව වටේට කැරකෙන්න ඕන හැම එකම කැරකෙනවා වගේ දැනෙද්දී දකුණු පැත්තේ ඇහැ ළඟින් මාර සනීපයක් දැනෙන්න ගත්තා.එහෙමම ගිහින් ඇඳේ හාන්සි උනා.ඔළුවට අයිස් කැට ටිකක් තියාගෙන.මගේ වාසනාවට චූටි අයියා දොස්තර වෙන්ට ඉගන ගන්නවා.(මතක හැටියට පොර හිටියේ අන්තිම අවුරුද්දේ)මිනිහා ඉතින් ආපු ගමන් ටෝච් එකක් අරගෙන ඇහේ පෙනීම පරික්ෂා කරලා අවුලක් නෑ කිව්වා.තව මිලිමීටර දෙකක් තුනක් එහාට උනා නම් ඇහැ ඉවරයි කියලා පොඩි දේශනේකුත් දීලා ගියා.

ඊට පස්සේ අනතුර වුනේ මම 12 වසරේ ඉන්න කොට.ඒ වම් ඇහැට.
මම රෙදි ටික හෝදන්න වොශින් මැශින් එක තියෙන කාමරේට ගියා.ඔය කාමරේ හරහට පොඩි රෙදි වැලක් වගේ එකක් බැඳලා තිබ්බා කම්බියකින්.කාමරේ දොරේ රෙපෙයාර් එකකට ඔය රෙදි වැල එක කොනකින් ගලවලා.ඒකොන පොඩි කොක්කක් වගේ නැමිලා.මම රෙදි ටික මැශින් එකට දාලා හැරුණා විතර අර කම්බි කොන කොයි ලෝකේ ඉඳලද මන්දා මගේ ඇහැ අස්සට වැටුනා.දඟලන්න ගියොත් ඇහැ හිල් වෙනවා.මට ඉතින් ඕවවා කල්පනා වෙනවයැ ඔය වෙලාවට.එක පාරට ඔළුව ගැස්සුනා.එතකොට අර වැටිච්ච කොක්ක තවත් ඇහැ අස්සේ පැටලුනා.දෙවෙනි පාරටත් ඔළුව ගැස්සෙද්දී ඒක එකපාරට ඇහෙන් ගැලවිලා ආවා.මොන මගුලකටවත් බය නැති මම එදා නම් බය උනා.පුරුදු විදියටම අයියට කියලා ඇහේ පෙනීම බලවා ගත්තා.‍එදා නම් නූලෙන් නෙමේ කෙස් ගහෙන් බේරිලා තිබ්බේ.පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඇහේ කාචයම හිල් කරගෙන යනවා අර කම්බිය.

තුන්වෙනි අනතුර වෙද්දී මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ.ඒ අනතුරට මූණ දුන්නෙත් මගේ වම් ඇහැ.අපේ ගෙදර දානයක් දෙන්න කටයුතු සූදානම් කරනවා.හවස් වෙද්දී පාර පැත්තට බල්බ් එකක් දාන්න ඕන හින්දා අප්පච්චි කියපි "අන්න වයර් තියෙනවා.බල්බ් දෙකක් තුනක් දාන්න ලෑස්ති කරන්න" කියලා.මමත් ඉතින් වයර් ටික අමුණලා ප්‍රධාන පාරේ ඉඳලා ගෙදර ළඟට එනකම් වයර් අදිනවා.ඔහොම ඇවිත් ගෙදර ළඟින්ම තියෙන කොහොඹ ගහ මැදින් වයර් එක ගන්න ගහට නැග්ගා.(මේ කාලෙදි කොහොඹ ගස්වල කොළ හැලෙන කාලේ.කෝටු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ගහේ.)ගහට නැගලා වයර් එකත් අරගෙන පැටලුම් ලෙහලා හරියට සෙට් කරලා බහින්න හැදුවා විතරයි.කොහේදෝ පැටලිලා තිබ්බ අත්තක් ඇවිත් කෙලින්ම වැදුනා ඇහැ හරහා.අම්මේ මාර සනීපයි.ඇහැ එකපාර පේන්නේ නැතුව ගියා.දැන් මම ගහ උඩ.කොහොම හරි තනි ඇහෙන් බැස්සා.බැහැපු ගමන් ගිහින් හොඳට ඇහැ හෝදාගත්තා.ඊට පස්සේ යන්නතම් පේන්න ගත්තා.පස්සේ දවසේ ඉස්පිරිතාලෙට ගෙනෙහින් බැලුවාම සුදු ඉංගිරියාවේ හොඳට හීරිච්ච ලකුණක් තියෙනවලු.ඇහේ කාචය නූලෙන් බේරිලා........

හතරෙවෙනි සහ මේ දක්වා අවසාන අනතුර සිද්ධ වුනේ මගේ දකුණු ඇහැට.පහුගියා දවක මම කොළඹ ගිහින් එන ගමන් කෝච්චියෙදි මම ඔළුවේ දාගෙන හිටපු කැප් ‍එක ගලවන්න ගියා.කැප් එක ගලවලා ඔළුවෙන් ගන්නවත් එක්කම සුළැඟිල්ල ගිහින් ඇහේ.ඇඟිල්ලක ඇනුනනට නම් මොකුත් වෙන්නෑ.හැබැයි එදා ඇඟිල්ලේ නියපොත්ත ටිකක් දිගට තිබ්බා.පස්සේ ගෙදර ඇවිල්ලා බලද්දී.කලින් කේස් එකේ වගේමයි.කැළල හිටලා තියෙනවා.ඇහේ කණිනිකාව බේරිලා.

අනේ මන්දා ....එක අතකට මම වාසනාවන්තයි.තාම ඇස්දෙකට මොකුත් වුනේ නැති හින්දා.හැබැයි අනික් අතට ඇස් දෙක සෑහෙන්න පරිස්සම් කරගන්න වෙනවා.මෙහෙම දේවල් වෙද්දී දවසක පොට්ට වෙන්න උනත් අනතුරක් වෙන්න බැරි නෑනේ.... o.O

Wednesday, July 13, 2011

අපේ ගමට පානීය ජලය ලබා දීම......

ලංකාවේ දැනට පානීය ජලය එහෙමත් නැත්තම් ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්.මෙහෙම දිව උලුක් වෙන වචන නැතුව සිංහලෙන් කිව්වොත් වෝටර් ‍‍බෝඩ් එකෙන්.

දැන් හැමෝටම තේරුණානේ.

අපේ ගම තමයි ගංති‍රියාගම.කැකිරාව නගරයේ ඉඳන් එනව නම් B 213 මාර්ගයේ(ඔය උලවු ඉලක්කම‍ හොයාගන්න බැරි නම් ටවුමේ පොරක්ගෙන් අහන්න තලාව පාර මොකක්ද කියලා....හික්ස්) කැකිරාවේ ඉඳන් කි.මී 12ක් විතර තලාව පැත්තට එනකොට වැවක් එක්ක ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙනවා.

විදුලිය,දුරකථන පහසුකම් විතරක් නෙවේ ගමේ ගොඩක් අය නොදන්නවා උනාට ටෙලිකොම් සමාගමේ ADSL සම්බන්ධතාවය පවා අපේ ගමට තියෙනවා.මගේ අවාසනාවට අපේ ගෙවල් ගාවින් දුරකථන රැහැන් ඇදලා නෑ... :( .කුඹුරු ගොවිතැන තමා ප්‍රධාන ජීවනෝපාය.හැබැයි ඊට අමතරව වෙනත් රජයේ රැකියා කරන අයත් ගමේ වාසය කරනවා.

මේ පහසුකම් මොනවා තිබ්බත් ගමට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමා ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය සපයා ගැ‍නීම.

දැන් කට්ටිය මගෙන් අහයි......"ඇයි ගොනෝ ගමේ ලිං එකක්වත් නැද්ද?" කියලා.

‍පොඩ්ඩක් ඉන්නකෝ කතාව කියනකම්.

ගමේ වගා ළිං ඇති පදම් තියෙනවා.විශාලත්වයෙන් අක්කරයක් විතර හෝ ඊට වැඩි ඕනම ඉඩමක වගා ළිඳක් කපලා තියෙනවා.ඊට අමතරව එදිනෙදා පාවිච්චියට වතුර ගන්න පොඩි ළිඳකුත් අනිවාර්යෙන්ම සෑම නිවසකම වගේ තියෙනවා.

දැන් කියවන අයට එන ඊළඟ ප්‍රශ්නේ තමා...."ඉතින් බං එහෙනම් මොන මගුලකටද ජල සම්පාදනෙන් දෙන ජලයක් හොයන්නේ?".....

දැන් මේකනේ කේස් එක.ගොඩක් අය අහලා තියෙනවනේ රජරට පැත්තේ වතුර කිවුලයි කියලා.(විද්‍යාත්මක විදියට කිව්වොත් ජලයේ කඨිනත්වය ඉහලයි.)හැබැයි ඒ කිවුල වතුර පෙරහන් පාවිච්චි කරලා පෙරලා අරන් කිවුල සෑහෙන දුරකට අඩු කරගෙන බොන්න ගන්න පුළුවන්.හෝදන වැඩ වලටත් එච්චරම අවුලක් නෑ.අපේ ගමේ බහුතරයක් ළිං වල වතුර කිවුලයි.මෑතක් වෙන තුරු(ඒ කියන්නේ 2008 මහ කන්නය ඉවර වෙනකම් වගේ) ඒ ළිං වල වතුර පාවිච්චියට අපිට කිසිම අපහසුතාවයක් වුනේ නෑ.
හැබැයි 2008 වර්ෂා කාලය ඉවර වෙනවත් එකක්ම තත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.මොන හේතුවක් හින්දද දන්නෑ ළිං කීපයක(අපේ වත්තේ ළිඳත් ඇතුළුව) වතුර කටේ තියන්න බැරි අමුතු රහක් එන්න පටන් ගත්තා.නිකම් මළකඩ දියකරලා ගත්ත වතුර වගේ.කඨිනත්වය එහෙමත් නැත්තම් කිවුල ප්‍රතිශතය 70%ක් 80ත් විතර.සබන් එහෙම හෝදන්න බෑ.කැටිවෙනවා.මේ ළිං අතරින් සමහර ඒවා අවුරුදු 50ක් 60ක් විතර පරණ ළිං.කොහොමහරි ඒ වැස්සෙන් පටන් ගත්ත වතුර අප්‍රසන්න වීම මේ වෙද්දී(2011) සෑහෙන ලිං ප්‍රමාණයක් ආක්‍රමණය කරලා ඉවරයි.
ගමේ මිනිස්සු බොන්න වතුර ගේන්නේ කිලෝමීටරයක් විතර එහායින් තියෙන පොදු ළිඳකින්.ලීටර් 10ක විතර බූලියකට වතුර එකක් ගෙනාවම සාමාන්‍යයෙන් දවස් 2කට බොන්න ඇති.අකමැත්තෙන් වුනත් සේදුම් වැඩවලට ළිං වල වතුර පාවිච්චි කරන්න වෙනවා.
අපි මුලින් හිතුවේ ළිං වතුරේ විසක්වත් තියෙනවද කියලා.හැබැයි එහෙමත් නෑ.මොකද ළිං වල ඉන්න මාලු,ගෙම්බෝ වගේ සත්තු තාම ජීවත් වෙනවා.ඒ හින්දා විශක් ශරීර ගත වීමේ අවදානමක් නෑ.
ප්‍රධාන ඇල මාර්ගය තියෙන හින්දා අතිරේක සේදුම් වැඩ වලට පහසුවක්.ඒක අපි අත්විඳින්නේ අපි ඇලට ආසන්නම පදිංචිකරුවෝ හින්දා.හැබැයි ගම ඇතුලේ ඉන්න අය ඉතින් පයින් ගාටන්න ඕනේ ඒකටත්.

දැන් ඔයාලටත් අදහසක් එන්න ඇතිනේ ගමේ වතුර කියන දේ කොච්චර දුශ්කරද කියලා....‍

ඔය අතරේ කට්ටියට මතකද දන්නේ නෑ "රණජයපුර" කියලා රණවිරු ගම්මානයක් විවෘත කරා ඉපලෝගම ප්‍රදේශයේ.ඇත්තටම කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ ඉපලෝගම ඉඳන් කිලෝමීටර 2ක් විතර එහායින් හිරිපිටියාගමට සමීපව.මේක රජයේ ව්‍යාපෘතියක් හින්දා ඒකට නල ජලය,විදුලිය,දුරකථන,අධ්‍යාපන,සෞඛ්‍ය වගේ පහසුකම් ඔක්කෝම ලබා දෙන්න ඕනෙනේ.කොහොමහරි ඔය දේවල් ලබා ගනිද්දී නල ජලය සම්බන්ධයෙන් පොඩි අවුලක් ඇති වුනා.ජල සම්පාදන මණ්ඩලයෙන් කියලා තිබ්බා ඒ අයට රණජයපුරට විතරක් වතුර බෙදා හැරීම පාඩුවක් කියලා.කොහේ නැතත් රණජබ පර්ට වතුර එපැයි.ඒ හින්දා මේ අය ළඟපාත තියෙන ගම් ටික වෙච්ච ඉපලෝගම,හිරිපිටියාගම,කුංචිකුළම හා අපේ ගම වෙච්චි ගංතිරියාගම ‍මේ නළ ජල ව්‍යාපෘතියට ඇද ගත්තා.

අපේ ගමටත් ඉතින් මගුල් ‍වගේ.ඇයි බොලේ බොන්න වතුර ටික එනවා කිව්වම.ගමේ මිනිස්සු සෑහෙන උද්යෝගෙකින් කමිටුවක් එහෙම පිහිටවාගෙන වැඩේට ඕන කරන අරමුදල් එක් රැස් කරලා දුන්නා.

මේ අතරේ රණජයපුර ගැලුම් 250000ක ධාරිතාවයක් තියෙන මහ සද්ධන්ත ටැංකියකුත් හැදුවා.මේ ටැංකියට වතුර ගන්න කළාවැව කිට්ටුව පොම්පාගාරයක් හා පවිත්‍රාගාරයක් ඉදිකරා.පළවෙනි පියවර හැටියට ගමට අවශ්‍ය බට එහෙම එක එක ගමට ගෙනත් දීලා.ඒවා වළලන විදිහ ගැන එහෙමත් කියලා දුන්නා.ඊට පස්සේ මූලික අදයර විදියට රණජයපුරට නළ ජලය ලබා දුන්නා.

ගම් වල මිනිස්සු බට වළලා අදාල පද්ධති ඔක්කෝම සකස් කරලා අදාල පාර්ශව වලට දැනුම් දුන්නා.

දන්නවද මොකක්ද ලැබුණ උත්තරේ කියලා?

දැනට පොම්පාගාරවල තියෙන පොම්පවල ධාරිතාවය මදි.අළුත් පොම්ප සවි කරන්න ‍වෙනවා එතකම් පොඩ්ඩක් කල් ඉන්න වෙනවා.

ඉතින්අපි තාම ගම පුරා ජලය ගෙනියන්න ඕන බට වළලා ඈත තියෙන ළිඳෙන් බොන්න වතුර ගෙනත් බලාගෙන ඉන්නවා.ජල සම්පාදන මණ්ඩලේ වතුර එන කම්.....

අපිට ඇහෙන හැටියට ජල සම්පාද‍න මණඩ‍ලේ දැන් අවුරුදු 2කටත් වඩා අදාල වතුර පොම්ප එනකම් බලාගෙන ඉන්නවා.......

Sunday, July 3, 2011

වරද කාගෙද?

මේ දවස් වල නිවාඩු පාඩුවේ කාලය ගත කරන හින්දා මං තුමා ලැබෙන හැම වෙලේම ගෙදර බලා පිටත්ව යනවා.(අපේ ආචාර්යවරුන්ට පිංසිද්ධ වෙන්ට තාම අපිට නිවාඩු)

ගෙදර යනවා කියන එකත් ඉතින් රු 300 කට විතර තට්ටු වෙන වැඩක්.බස් එකට(මහනුවර සිට ඉපලෝගමට) යන්නයි එන්නයි 200යි(දැන් 230යි බස් ගාස්තු වැඩි කලානේ.).ඔය අතරෙ ගෙදර බහිරවයා වගේ මගේ එක කුස උපන් සහෝදරයා බලාගෙන ඉන්නේ මං මොනවද අරන් එන්නේ කියලා.ඉතින් හිස් අතින් ගෙදර යන්නයැ තව 100කට විතර කෙල වෙනවා.

ඔහොම ගිහිල්ලත් දවස් 3ක් විතර හිටියම මෙන්න ලොකු අම්මගෙන් පණිවිඩයක් එනවා "අනේ පුතේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා සෙනසුරාදා දිහාට එන්න පුළුවන්ද " කියලා.
ඉතින් බෑ කියන්නයෑ.(මේක මගේ තියෙන ලක්ෂණයක්,හරිද වැරදිද කියන්න මම දන්නෑ.ඒක තමා මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මං නෑ,බෑ කියන්නෙම නැති තරම්.මට ඇති පදම් කෙළ වෙලත් තියෙනවා.හැබැයි තාම මං උදව්වක් ඉල්ලන ඕන එකෙක්ට ඒ උදව්ව කරනවා.)ඔන්න මගේ බෑග් මල්ලත් කරේ එල්ලගෙන බස් එ‍කට නගිනවා නුවර එන්න.

සාමාන්‍යයෙන් මම නගින බස් නැවතුම්පල(කෝනපතිරා‍ව) හරියට එද්දී බස් එක සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ(අනුරාධපුරේ ඉඳන් එන බස් එකක්නේ.).පිරිලා කියන්නේ සීට් ගානට මිනිස්සු ඉන්නවා.ඉතින් වාඩිවෙන්න සීට් එකක් හම්බුවෙන්නේ කැකිරාව බස් නැවතුමේදී හෝ ඒ ළඟ පාතදී තමා.විනාඩි 15ක් 20ක් හිටගෙන යන්න වෙනවා.

දැන් ඉතින් ත්‍රස්තවාදී තර්ජන එහෙම නැති හින්දා බස් වල රාක්ක වල ගමන් මළු තැබීමට තහනමක් නෑනේ.ඒ හින්දා ආසනයක් ලැබෙන කම් මමත් මගේ බෑග් එක ඔය රාක්කෙට දානවා.ඒ කරලා වාඩි වෙච්ච ගමන් බෑග් එක අතට ගන්නවා.‍සාමාන්‍යයෙන් බෑග් එක එහෙම රාක්කෙකට දානකොට රාක්කේ ගරාදි අස්සෙන් බෑග් එකේ එල්ලගෙන යන පටිය දෙපාරක් විතර මම අඹරලා දානවා හදිස්සියකදී රාක්කෙන් නොවැටෙන විදියට.මොකද වැටුනොත් පල්ලෙහා ඉඳගෙන ඉන්න එකාගේ ඔළුව ඉවරයිනේ.

කොහොමහරි ඊයෙත් මම ඔය කියන විදියට එන්න ගෙදර එන්න පිටත්වුනා.සුපුරුදු විදියටම මට ඉඳගන්න ආසනයක් තිබ්බේ නැති හින්දා බෑග් එක බස් එකේ රාක්කෙට දාලා මම හිටගෙන යනවා දැන්.

සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ පැති වල බස් රථ යන්නේ හරිම හිමින්.සාමාන්‍ය වේගය පැ.කි.මී 60ක් 70ක් විතර.හරිම සෞම්‍ය විදියට තමා වංගු ගන්නේ.වැඩිම උනොත් රෝද බස් එකේ තට්ටුවේ ගෑවෙනවා.ඉඳගෙන ඉන්න අය සීට් වලින් විසි වෙලා යනවා.කවදාවත් ඉස්සරහින් යන වාහන ඉස්සර කරන්න යන්නෑ.මොකද ඒ වාහන නවත්තලා බස් එකට යන්න ඉඩ දෙන හින්දා.හරිම විනීත රියදුරු මහත්වරු තමා මේ දුර ගමන් සේවා වල ඉන්නේ.ඉතින් ඔහොම යන බස් රථයක රාක්ක වල බඩු භාණ්ඩ තියද්දී සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ.‍කොයි වෙලේ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.

සාමාන්‍යයෙන් මගේ බෑග් එකේ අන්තර්ගතය වෙන්නේ මගේ writing pad එකයි(හෝ නෝට් එකක්),කැල්ක්‍යුලේටරයයි,කියවන කතා පොතයි,කුඩෙයි වතුර බෝතලයයි.කැමරාවයි.බර අනුව ගත්තොත් වැඩිම වුනොත් ග්‍රෑම් 600ක් 700ක් විතර වෙයි.ඊයේ මං බස් එකේ එද්දී තිබ්බෙත් ඔය ටික විතරයි.

පුරුදු විදයට බෑග් එක රාක්කේ තියල තියෙනවා.

බස් එකත් විනීත විදියට යනවා.

එකපාරටම ඒ විනිත විදයට ගිය බස් එක වංගුවක් ගත්තා....මගේ බෑග් එක රූටලා ඇවිත් පහල හිටිය ඇන්ටිගේ ඔළුව උඩ....

ඒ ඇන්ටි එක පාරටම ඔළුව අල්ල ගත්තා.....

මං හිතුවා හරි ඔළුව පැලුණවත්ද දන්නෑ කියලා.මමත් බෑග් එක අරගෙන "අනේ සොරි ඇන්ටි හිතලා කරපු දෙයක් ‍නෙමේ" කියලා සමාව භජනය කලා.බෑග් එක අරන් උඩින් තිබ්බා.

ඇන්ටි (ඔළුව අතගාන එක නවත්තලා)"කාගෙද මේ බෑග් එක?"

මම"මගේ ඇන්ටි වෙච්ච දේට සොරි මං හිතලා කරපු දෙයක් නෙවේනේ."

ඇන්ටි "ඒ වුනාට තමුන් දැන ගන්න ඕනේ රාක්කෙකින් තියද්දී වැටෙන් නැතිවෙන්න තියන්න."

මම "මම බෑග් එක වැටෙන විදියට තිබ්බේ නෑ ඇන්ටි...ඒක වැටෙන එක නවත්තන්න බෑග් එකේ පටි දෙකත් ඒ රෙල් අස්සෙන් අඹරලා දාලා තිබ්බේ.මේ වංගුව ගත්ත විදියට බෑග් එක ලිස්සලා ආවේ."

ඇන්ටි කතාව නවත්තන්නේ නෑ.දිගටම මට බනිනවා මං හිතලා බෑග් එකෙන් දමලා ඇරියා වගේ.මම ඉතින් උපරිම ඉවසීමෙන් හිටියා.වැරද්ද මගේ නොවුනත් සමහර තැන් වල බලු වෙන්න වෙනවනේ.

ඊට පස්සේ ඇන්ටි දාගෙන හිටිය කණ්නාඩිය ගලවලා ගත්තා.

කෙළියලුනේ තාප්පෙටම.මෙන්න බොලේ කණ්නාඩියේ එක ලෙන්ස් එකක් නෑ.දැක්ක විදියට හිතුවේ ඒක ගැලවිලා වැටිලා වගේ කියලා.පස්සේ බැලින්නම් කණ්නාඩියේ රාමුව කැඩිලා.ලෙන්ස් එක වැටිලා.(හැබැයි ඔළුවට වැටිච්ච බෑග් එකක් හින්දා ඇස් කණ්නාඩි රාමුවක නහය හරියට සම්බන්ධ වෙන කෑල්ල කැඩිලා යන එකත් ටිකක් අමුතුයි.)කොහොම හරි බැනුම ඩබල් ට්‍රිබල් ක්වඩ්‍රෘපල් වෙලා දැන්.

සාමාන්‍යයෙන් ඔහොම සිද්ධියක් වුනාම වටේ අයත් චූන් වෙනවනේ.ළඟ හිටිය හැට පැනපු ඇන්ටි කෙනෙකුත් දැන් බැනුමට හවුල්.

මම ඉතින් මගේ පැත්‍‍තෙන් වෙලාවේ හැටියට කරන්න පුළුවන් උපරිම දේ වෙච්චි සමාව ඉල්ලීම කරනවා.

ඒ අතරේ ඇන්ටි කියනවා"පුතා මම ලෙඩෙක් ඒ හින්දා තමා මේ කන්නාඩි දාන්නේ.මට මේක නැතුව පේන්නේ නෑ කියලා"(ඉතින් බොලේ ඕන මී හරකෙකුට තේරෙනවනේ කණ්නාඩි දාන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හින්දා කියලා).මොනවා උනත් මනුස්සකමක් තියෙන හින්දා මම ඒ වෙලේම හිතුවා පුළුවන් විදියට උදව්වක් කරන්නම් කියලා.

ඔය අතරේ මම ඒ කැඩිච්ච කණ්නාඩි රාමුව දැක්කා.දැක්ක ගමන්ම ‍තේරුණා මේක කලින් කැඩිලා තිබ්බ එකක් කියලා.හැබැයි ඉතින් ඒක ඒ වෙලේ කියන්න පුළුවනැයි.කෑගැහිල්ල තව දික් වෙන එක විතරයිනේ වෙන්නේ.

මට පොඩි කළකිරීමකුත් ඇතිවුනා.මොකද කරදරයක් වුනාම හැම මනුස්සයාම අවස්ථාවාදීව හැසිරෙන හින්දා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.මගේ අතින් තව 2000කට විතර කෙලවෙන්න යන්නේ.

අන්තිමේදී මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා මේ වගේ සිද්ධියකදී ඇත්තටම වැරදි කව්ද?

====================================================

ප/ලි - කවුරු හරි දන්නව නම් මට Gold Plated කාන්තා ඇස් කණ්නාඩි රාමුවක ගණන් හිලවු පොඩ්ඩක් කියනවද?

Saturday, June 25, 2011

පාසල හා විශ්ව විද්‍යාලය


පාසල ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සිටින තැනකි.
වි.වි ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සිටින තැනකි.

පාසැලේ විවිධ ශ්‍රේණි ඇති අතර එක් එක් ශ්‍රේණිය පංති වලට වෙන් කර ඇත.
වි.වි ඉගන ගන්නා විශයට අදාලව විවිධ පීඨ ඇති අතර ඒවා දෙපාර්තමේන්තු වශයෙන් වෙන් කර ඇත.

රටේම පාසල් වල ඒ ඒ ශ්‍රේණියට අදාලව ඉගැන්විය යුතු පොදු විශය නිර්දේශයක් ඇත.
එකම විශයධාරාවන් ඉගන ගත්තද විශය නිර්දේශය උගන්වන ආචාර්යවරයාමත රඳා පවතී.

පාසලකදී ගුරුවරු ශිෂ්‍යයන්ට උගන්වති.
වි.වි ආචාර්යවරු ශිෂ්‍යයන්ට දේශන පවත්වති.
(ඉගන ගැනීම ශිෂ්‍යයා සතු වගකීමකි.)

පාසල් "වාර" ක්‍රමයක් ඇති අතර පාසල් වාරයක් අවම වශයෙන් මාස 3කි.වසරකට පාසල් වාර 3කි.
විශ්ව විද්‍යාලයක අධ්‍යයනවාර අදාල විශ්ව විද්‍යාල අනුව වෙනස්වේ(ඇතැම් ඒවායේ සමාසික අධ්‍යයනන වාරත්(මාස 6ක අධ්‍යයන වාර) ඇතැම් ඒවායේ වාර්ශික අධ්‍යයන වාරත්(පාසල් වාර ක්‍රමය ලෙසින්) ක්‍රියාත්මකවේ.)අවම වශයෙන් සමාසික වාර දෙකක් එක් අධ්‍යයන වර්ශයකි.

වසරකට පාසල් නිවාඩු වාර තුනකි.ඒවා සති දෙකක වාරයක් සහ මාසයක් බැගින් වූ වාර දෙකකින් සමන්විත වේ.
විශ්ව විද්‍යාලය අනුව නිවාඩු වාර ගණන තීරණය වේ.

පොදුවේ පාසැල් නිවාඩුව සමස්ථ ලංකාවටම(මුස්ලිම් සිසුන්ට හැර) එකට ලබාදෙයි.
ලංකාවේම විශ්ව විද්‍යාල සිසුන්හට එකට නිවාඩු ලැබෙන්නේ සිංහල හින්දු අළුත් අවුරුද්දට හා නත්තලට පමණි.

දෛනික පාසැල් අධ්‍යයන කාලය පැය 6කි.
දෛනික විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය සීමාවක් නැත.ඇතැම් දින වල පැය 9ක්ද නැතිනම් පැය 4ක්ද ලෙස විචලනය විය හැක.

පාසැලක උපරිම විවේක කාල දෙකකි.
විශ්ව විද්‍යාලයක විවේක කාල තුනකි.

පාසැලක කාල සටහනක් අනුව වැඩ කරයි.(කාලඡේදයක් විනාඩි 40ක් වන අතර දිනකට කාල‍ඡේද 8ක් ඇති අතර 8ම පිරී පවතී.)
විශ්ව විද්‍යාලයද කාල සටහනකට අනුව කටයුතු කරන නමුත් පොදු කාලසටහනක් නොමැති අතර අදාල අධ්‍යයන අංශය හා දෙපාර්තමේන්තුව වශයෙන් කාල සටහන් වෙනස්වේ.(කාලඡේද වෙනුවට දේශනවාර ඇති අතර එය විනාඩි 55කි)

පාසැලක දිනකට එක් වතාවක් පමණක් නාමලේඛන ලකුණු කරයි.
විශ්ව විද්‍යාලයක දෛනිකව සෑම දේශනවාරයකදීම පැමිණීම සටහන් කළ යුතුය(අත්සන් ගැසීමට කොළයක් එවන හෙයින් තමා නොපැමිණ අත්සන පමණක් එවීම වුවද ප්‍රමාණවත් වේ.
සැ.යු-1.අත්සන් මාට්ටු වීමේ වගකීම අයිතිකරු සතුවේ.
2.අදාල ආචාර්යවරයා අනුව මේ ක්‍රියාවලිය වෙනස් විය හැක.).

පාසැල් පුස්තකාලය - "කැමතිනම් කියවපිය නැත්නම් නිකම් හිටපිය"කාලය ඉක්මවා පොත් නැවත බාර දීමේදී දඩ මුදල් අයකිරීමක් සිදුනොවේ.(සිද්ධවෙච්ච තැනක් තියෙනව නම් පොඩ්ඩක් කියන්න.)
විශ්ව විද්‍යාලය - අකමැත්තෙන් වුවත් පරිශිලනය කිරීමට සිදුවේ.අදාල නීති රෙගුලාසි ඒ ආකාරයට ක්‍රියාත්මකවේ(උදා-රු.5/= වුවත් දඩ මුදල අය කෙරේ.)

පාසැල 80%ක පැමිණීමක් අනිවාර්යයැයි පැවසුවද කිසිදිනක එය ගණනය කරන බවක් අසා නොමැති අතර එනිසා සිසුන් පාසල් වලින් නෙරපූ බවක් හෝ විභාගවල පෙනී සිටීමට ඉඩ නොදුන් බවක් සඳහන් නොවේ.
විශ්ව විද්‍යාලයවල සෑම විශයකටම 80% සහභාගීත්වය අනිවාර්යවේ.නොඑසේනම් එම විශයට අදාල විභාග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව නොලැබේ(අදාල විශය භාර ආචාර්යවරයා අනුව තත්වය වෙනස් විය හැක.)

පාසැලකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් නැත.(අ.පො.ස සා/පෙ හා උ/පෙ හැර)
විශ්ව විද්‍යාලයකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් ඇත.

පාසැලකදී එක් එක් වාර විභාග හෝ ශ්‍රේණි විභාග අසමත් වීම ඊළඟ වසරට හෝ ඒ වසරේ විශයන්ට බලපෑමක් නොකරයි.
විශ්ව විද්‍යාලයේදී එක් වසරක විශයන් අසමත් වීම ඊළඟ වසරේ ඇතැම් විශයන් හැදෑරීමේ අවස්ථාව අහිමි කරයි.එවිට නැවත අසමත් වූ විශයන් සමත්විය යුතුය(මෙය විභාග ඇණ ගැනීම සහ රිපීට් වීම ලෙස හඳුන්වයි.)

පාසැලකදී පවත්වනු ලබන විභාග අතරින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පාසල් ශිෂ්‍යයකුගේ ශිෂ්‍ය ජීවිතයේ වැදගත් විභාග වේ.
විශ්ව විද්‍යාලයකදී පවත්වනු ලබන සෑම විභාගයක්ම එක ලෙස වැදගත්වේ.

පාසැල් විභාග වල ලකුණු කිසි විටක පාසැලින් ඉවත්ව යන විට සැලකිල්ලට ලක් නොවේ.
විශ්ව විද්‍යාල විභාග සියල්ලගේම ලකුණු ඉවත්ව යන විට අතිශය වැදගත්වේ.

පාසැලෙන් ඉවත්ව යන විට කිසිදු විශේෂ සාමාර්ථයක් ලබානොදේ.ලබා දෙන්නේ අ.පො.ස සා/පෙ හා උ/පෙ ප්‍රතිඵල සටහන් පමණි.
විශ්ව විද්‍යාලයෙන් පිටව යන විට පංති සාමාර්ථයක් හා උපාධි සහතිකයක් ලබාදේ.

පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙන නමුත් මුදල් ගෙවා ටියුශන් යාමේ කලාවක් ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය 100%ක් නොමිලේ ලබා දෙන අතර නොතේරුණ විශය කරුණු තේරුම් ගැනීමට ‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් "කුප්පි" දමා ගත හැකිය.

පාසැලක ඉහල ශ්‍රේණි වල ඉගෙනුම ලබන අයියලා අක්කලා පාසැලෙන් ඉවත් වන තුරුම අයියලා හා අක්කලා වේ.
විශ්ව විද්‍යාලවල ඉහල වසර වල ඉගෙනුම ලබන අයියලා අක්කලා මුල් මාස කීපයකට ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් වන අතර පසුව නැවත අයියලා අක්කලා වේ.

පාසැලකදී ගුරුවරුන් විසින් අවශ්‍ය දැනුම් දීම් සිදුකරනු ලැබේ.
විශ්ව විද්‍යාලයකදී දැන්වීම් පුවරු මගින් අදාල දැනුම් දීම් සිදු කෙරේ.

පාසලකදී ඕනෑ තරම් විශය බාහිර ක්‍රියාකාරකම් වල නියැලීමට අවකාශ තිබුණද අධ්‍යාපයනය‍ට පමණක් මූලික අවධානය යොමු කර විශය බාහිර ක්‍රියාකාරකම් අත් හැර දමයි.
විශ්ව විද්‍යාලයකදී , පාසලේදී විශය බාහිර ක්‍රියාකාරකම් සිදු නොකල අය පවා එවන් දේ සිදුකිරීමට පෙළඹේ.

පාසැල් කාලය තුලදී සිසුවෙක් "පාසල් ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වනු ලබන අතර පාසැල් හැර යාමෙන් පසු විශේෂ නමකින් හඳුන්වනු නො‍ලැබේ.
විශ්ව විද්‍යාලය කාලය තුලදී සිසුවෙක් "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වන අතර විශ්ව විද්‍යාලයෙන් ඉවත්වූ පසු "උපාධිධරයෙක්" ලෙස හඳුන්වයි.

පාසැලකදී පහසුකම් ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්ගෙන් කිසිවක් ආපසු ලබා නොගනී.
විශ්ව විද්‍යාල‍යේදී අධ්‍යයන ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්වෙත නිකුත් කර ඇති හැඳුනුම්පත්,පුස්තකාල අවසර පත්, වැනිදේ අනිවාර්යෙන්ම ලබා දිය යුතු අතර නැතහොත් උපාධි සහතිකය වාරණය කෙරේ.

පාසල් සිසුන්, වැඩ වර්ජන,උද්ඝෝෂණ සිදුනොකලත් ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිදු කරති.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,අචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල යන මුළු පිරිසම අඩු වැඩි වශයෙන් උද්ඝෝෂණ වල නියැලෙති.
(මේ නිසා අතිරේක නිවාඩු වාර හිමිවේ.ඒවාට අනුව අනෙක් නිවාඩු කප්පාදු කෙරේ.)

පාසැල් අධ්‍යයන කාලය උපරිම වසර 13ක් වන අතර එය විවිධ හේතූන් මත විචලනය වීම ඉතාම අඩුය.(උපරිම මාසයක් පමණවේ.)
විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය අදාල උපාධිය අනුව 3ක් 4ක් 5ක් විය හැකි නමුත් එය විචලනය වීමේ කාල සීමාවක් කිව නොහැක(සතියක සිට වසරක් පමණ වුවද විය හැක.)

පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු සුදුසුකම් අනුව විශ්ව විද්‍යාලයකට ඇතුල් විය හැකිය.
විශ්ව විද්‍යාල අධාපනය ලැබීමෙන් පසු යායුතු ස්ථිර තැනක් නොමැත.(මහ පාරේ සිට සීත කාමරයක් සැප පහසු රැකියාවක් දක්වා පුළුල් පරාසයක් ඇත.)

=====================================================
*හුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි........
**දැනට විශ්ව විද්‍යාලයට ගිහින් ඉන්න අය තව අදහස් දෙන්න.කියවන හැමෝමත් මොනවා හරි පහලින් වියලා යන්න
***යන්න ඉන්න අය මේක දැකලා බයවෙන්න එපා....විශ්ව විද්‍යාලයක් ඇතුලේ ඇත්තමට කිව්වොත් හරිම විනෝදයි..... :)

Friday, June 17, 2011

යතුරු පැදි ධාවනය-තියරි අනුව හැප්පීම.....


කට්ටිය මං ඊයේ දාපු යතුරු පැදි ධාවනය ගැන කට්ටිය කියවන්න ඇතිනේ. කියෙව්වේ නැත්තම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න... කියවන්න අනිවාර්ය නෑ.

මේක මට මූණ දෙන්න සිද්ධ වෙච්ච දෙවෙනි සිද්ධිය.මේ වෙද්දී මම රියදුරු බලපත්තරේ අරගෙන ඉවරයි.දැන් ඉතින් නීත්‍යානුකූලව වාහන පැදවීමේ අයිතිය තියෙන හින්දා ගම ඇතුලේ මෝටර් සයිකලේ යද්දී හෙල්මට් එකක්වත් දාන්නේ නෑ.අයේ පොලිස් මාමලා ඉන්නව කියලයැ.(ගොන් කමද මෝඩකමද කියලා හිතාගන්න එක ඔයාලට බාරයි....හි...හි....)

අපේ රටේ බයිසිකලේ වගේම ප්‍රසිද්ධ තවත් වාහනයක්නේ ත්‍රී රෝද ර‍ථය.

ඔව් අර ත්‍රීවීල් එක එහෙමත් නැත්තම් වීල් එක කියලා අපි කියන්නේ.

ගොඩක් ත්‍රී රෝද රථ රියදුරන්(පොදු වහරෙන් නම් ත්‍රීවීල්කාරයෝ) හිතාගෙන ඉන්නේ ත්‍රීවීල් එකක් කියන්නේ මේ හමර් එකක් වගේ වාහනයක් කියලා.ඒකනේ මහපාරේ නිකම් වීරයෝ වගේ ඉගිල්ලෙන්න යන්නේ.දන්නේ නෑ කොහේ හරි ඇනු‍නොත් පපඩමක් අල්ලලා පොලොවේ ගැහුවා වගේ කියලා.
(බයිසිකල්කාරයන්ටත් මේක අදාලයි.හැබැයි අප‍රාදේ කියන්න බෑ මට නම් බයිසිකල්කාරයෝ ත්‍රීවීල්කාරයන්ට වඩා හොඳයි.... :) )

මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ බයිසිකල්කාරයෙකුයි ත්‍රීවීල්කාරයෙකුයි.

අපේ ගෙදර ඉදන් ප්‍රධාන පාරට කිලෝමීටරයක් විතර යන්න තියෙනවා.පයින් ඇවිදින්න අපහසු වෙලාවට(ඒ කියන්නෙ මහ දවල් 12ට විතර..කට්ට අවුවේ කුඹුරක් මැදින් පයින් ගාටන්න පුළුවනෑ...) ඉතින් පිහිටට එන්නේ මෝටර් බයිසිකලේ තමා.මංතුමා ගෙදර හිටියොත් ඉතින් රියදුරු රාජකාරිය පංගරාර්තු වෙන්නේ මට.මෙදාත් එහෙම දවසක්.

සෙනසුරාදා දවසක් අප්පච්චි වැඩට ගිහින් දවල් 12ට විතර බස් නැවතුමට ඇවිත් මට කෝල් කරලා කියපි "පුතේ මම බස් ස්ටෑන්ඩ් එකේ.දැන්ම වරෙන් "කියලා.
මටත් ඉතින් බයිසිකලේ පදින්න තියෙන ආසාවට අර ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ තමා අප්පච්චී කෝල් කරන එක.ඔන්න ඉතින් මං තුමාත් බයිසිකලේ නැගලා ස්ටාර්ට් කොරගෙන යන්න පිටත්වුනා.
මං කිව්වනේ ගම ඇතුලෙදි මම හෙල්මට් එකක් දාන්නේ නෑ කියලා.මෙදත් එහෙමම තමා.දැන් ඉතින් මං යනවා.අපේ ගෙවල් ළඟ පාරෙන් ගිහින් ප්‍රධාන පාරට දාන්න කලින් තියෙන අතුරු පාරක මංසන්ධියක් ළඟට මං දැන් ළඟා වුනා.මේ මං සන්ධියේ ස්වරූපය තමා මේ පින්තූරේ පෙන්නලා තියෙන්නේ.(මගේ ගමන් මාර්ගය තමා රතු ඊතල වලින් පෙන්නලා තියෙන්නේ.)
‍මෙතන තියෙන වංගුවේ හැටි පේනවනේ.දෙපැත්තෙන් එන වාහන එකපාර පේනනේ නෑ.ඒක හින්දා සාමාන්‍ය පුරුද්ද තමා හෝන් එකක් එහෙම ගහලා වේගේ අඩු කරලා වංගුව ගන්න එක.
එදත් පුරුදු විදියටම මම ඉතින් ‍මේ වංගුව ළඟට ඇවිත් වේගේ අඩු කරලා වංගුව ගත්තා.
මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මම වංගුව හරවනකොටම පාරේ එක පැත්තක පාපැදිකාරයෙක් අනික් පැත්තේ ත්‍රීවීල්කාරයෙක්.මම අඩු වේගෙන් ගියත් දෙපැත්තෙනා ආපු දෙන්නගේ හැටියට මට මොකුත් කරගන්න දෙයක් නෑ.

බයිසිකල්කාරයා බේරන්න ගියොත් මං නවතින්න‍නේ ත්‍රීවීලරේ ඇතුලේ.

ත්‍රීවීල්කාරයා බේරන්න ගියොත් මම නවතින්නේ බයිසිකල්කාරයගේ ඇඟ උඩ .

හිතා හිතා ඉන්න ගියොත් වෙන්නේ තුන් දෙනාම එකට හැප්පෙන එක.

ඔය වෙලාවෙ මොන මගුලකටද දන්නෑ මට අපේ උසස්‍ පෙළ පන්තියේ වෘත්ත චලිතය පාඩමේ යෙදීමක් මතක්වුනා.

දැන් කට්ටිය බලයි යකෝ මූට ඔල්මාදෙද මේ හැප්පෙන්න යන වෙලේ පාඩම් මතක් කරන්නේ කියලා.

බම්බුව එහෙම මගුලක් නෑ.මට ඒ වෙලාවේ ඒ තියරිය ඔළුවට ආවා.

මෙන්න මේක තමා තියරිය.

අපි වෘත්තාකාර චලිතයක යෙදෙද්දී බලපාන ප්‍රධාන බල දෙකක් තියෙනවා.ඒවා තමා කේන්ද්‍රාපසාරී හා කේන්ද්‍රාභිසාරී බල දෙක.වංගුවක ගමන් කරද්දී(වංගුවක් කියන්නේ වෘත්තාකාර චලිතයක්) අපේ වාහනේ සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය කියන බල දෙකයි,පාරෙන් ඇතිවෙන ඝර්ෂණ බලයයි කියන බල තුනේ සමතුලිතතාවයෙන්.ඒවගේම තමා ​සමතුලිතතාවයට වැදගත් තව සාධකයක් තමා ගුරුත්ව‍ කේනද්‍රයේ පිහිටීම.(ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක් හරි වස්තුවක බර කියන බලය ක්‍රියාත්මක වෙන ස්ථානය.)අපි ඉගන ගෙන තියෙන විදියට වංගුවකදී ඕනම වාහනයක් වංගුව පැත්තට ඇල වෙන්න ඕනේ.නැත්තම් සමතුලිතතාවය පවත්වාගන්න අවශ්‍ය ප්‍රමාණයට ඉස්සෙල්ලා කිව්ව බල තුන සමතුලිත වෙන්නේ නෑ,හබැයි ඕනවට වඩා පාත් වුනොත් ගුරුත්වකේන්ද්‍රයෙන් යෙදෙන බලයේ පිහිටීම වෙනස් වෙලා ඝර්ෂණ බලය බිංදුවක් වෙන්න පුළුවන්.එකපාරම එහෙම වුනොත් ඇතිවෙන බල අසමතුලිතතාව හින්දා කේනද්‍රාපසාරී හා ‍කේන්ද්‍රාභිසාරී බලදෙකේ ප්‍රබලතාවයට අනුව එක්කෝ වංගුව දිහාවට හෝ වංගුවෙන් එළියට විසි වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් කේන්ද්‍රාපසාරී බලය කේන්ද්‍රාභිසාරී බලයට වඩා විශාලයි.ඒ හින්දා තමා ඔය වංගුවලදී වාහන පාරෙන් එළියට එහෙම නැත්තම් වංගුවෙන් එළියට වීසි වෙන්නේ.

මමත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව මතක් වෙච්චි තියරිය එකපාර ඇප්ලයි කරා.වංගුව ගන්නවත් එක්කම බයිසිකලේ පුළුවන් තරම් ඇල කලා.

හිතුවා වගේම බයිසිකලේ ලිස්සුවා.දැන් ඉතින්‍ මම පොළොව දිගේ ඇදිලා යනවා. බයිසිකලෙත් එක්ක..

වැරදි පැත්තෙන් ආපු බයිසිකල්කාරයා කිසි ගේමක් නැතුව පහු කරා.ඌට අඹ මල් රේණුවක තරම්වත් හානියක් නෑ.

ඊළඟට බේරෙන්න ඕනේ ත්‍රීවීල්කාරයගෙන්නේ.දැන් මම ලිස්සගෙන යන හින්දා ගොඩක් වෙලාවට ත්‍රීවීල්කාරයා මගේ ඇඟ උඩින් යන්න ඉඩ තියෙනවා.

දැන් ඉතින් මම කරපු පව් පින් මතක් කරගන්න පටන් ගත්තා.තියරිය ඔළුවට ආවට කරුමෙට පවු පින් මතක් වෙන්නෙත් නෑ.

දඩාහ්...ගාලා එක පාරට බයිසිකලේ ත්‍රීවිලරෙත් වැදිලා පාරේ අනික් පැත්තේ තිබ්බ බෝක්කුවෙත් වැදිලා නැවතුනා.

හැප්පිච්ච පාරට ත්‍රීවීලරේ පාරෙන් පිට පැනලා ඒකත් නැවතුනා....

මුළු සිද්ධිය සිද්ධ වෙන්න විනාඩියක් යන්න ඇති.පලාතම ෆුල් සයිලන්ස්.

මෙන්න එක පාරට
"මොනවද <ටීක්> තෝ කරේ...<ටීක්> <ටීක්> <ටීක්> යකෝ මේකේ අලාබේ ගෙවන්නනේ කව්ද <ටීක්><ටීක්><ටීක්>" කණ පුරවලා මිහිරිම මිහිරි සංගීතයක් ඇහෙන්න ගත්තා.(කට්ටියට තේරුම් ගන්න පුළුවන්නේ මොනවගේ ගායනයක්ද කියලා)

යකෝ දෙන්නෙක්ව බේරන්න ගිහින් හොම්බෙන් ගිය මට මෙන්න එකෙක් බනිනවා.

මම වැටිලා හිටිය තැනින් නැගිට්ටා.බයිසිකලේ කෙලින් කරගත්තා.ඊට පස්සේ මොනවද ආබාධ කියලා හොයන්න පටන් ගත්තා.
මොකක්දෝ පිනකට මගේ ඔළුව බේරිලා තිබ්බා කොහේවත් වදින්නේ නැතුව.වැලමිටේ ගන්න දෙයක් නෑ.සුපිරියටම ලෙලි ගිහින්.කකුල් දෙකත් තරමක් හීරිලා හැබැයි අත තරම්ම නෑ(ඇඳන් හිටපු ඩෙනිමට පින් සිද්ධවෙන්න.) බයිසිකලේ හැඬල් එක ඇද වෙලා.වැටිච්ච පැත්තේ සිග්නල් ලයිට් එකයි කණ්නාඩියයි ඉවරයි.ඒ මදිවට ඉස්සරහා රෝදෙත් හිල් වෙලා.

ආපදා ටික ගණන් බලාගෙන මම ආපහු හැරෙද්දීත් අර කලින් කිව්ව ගීත ගායනය ඇහෙනවා.

බයිසිකලේ කෙලින් කරලා තියලා මම ගියා ත්‍රීවීලරේ ළඟට.අරූ කියවන අතරේ මම බැලුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා.මගේ කලාත්මක හැප්පීම හින්දා ත්‍රීවීලරේටත් අඹ මල් රේණුවක හානියක් නෑ.හැබැයි අරූගේ ගායනේ නවතින්නෙත් නෑ.

බැරිම තැන මම"දැන් මොකටද තමුසේ කෑගහන්නේ?"

ත්‍රීවීල්"බලපිය <ටීක්> තෝ කරපු දේ.දැන් මං කො‍‍‍හොමද මේක හදාගන්නේ."

මම"තමුසෙට හදාගන්න අලාභයක් වෙලා නෑනේ."

ත්‍රීවීල්"මේ බලනවා මේ බෆර් එක කැඩිලා."

එහෙම කියලා මූ පිටිපස්සේ මලකඩකාලා කැඩිලා ගිය බෆර් එකක් පෙන්නලා දැන් මගෙන් ගාන කඩා ගන්න ලෑස්තිය.මට දැන් අම්බානක මල.ඇයි යකෝ වෙච්ච ඔක්කොම අලාබ මට වෙලා තියෙද්දී මේ නරියෙක් මෙතන හූ තියනවා.

මේ අතරේ වටේ පිටේ කට්ටියත් එතෙන්ට ඇවිල්ලා.

අර මම මුලින් කීවේ මගේ අම්මවයි අප්පච්චිවයි ගොඩක් දෙනා දන්නවා කියලා.මගේ වාසනාවට ඒ වෙලේ මේ සිද්ධිය වෙච්ච තැන හිටපු ඔක්කෝම වගේ එහෙම අය.ඒ අතරේ හිටපු ත්‍රීවීල් එළවන අයියා කෙනෙක් ඔතෙන්ට ඇවිත් බැලුවා මොකක්ද අරූ කියන්නේ කියලා.

ඌට වැඩේ තේරුණා.

ඌ ‍‍‍ශේප් එකේ අරූට කතා කරලා"මේ හලෝ නිකම් මෙතන බොරු පාට් දාන්න එපා.මමත් ත්‍රීවීල් එලවන එකෙක්.තමුසේ අතින් කඩා ගත්ත එකට මේ මල්ලිට(ඒ කියන්නේ මට) කෑගහන්න එපා.ඌ ඒ විදියට හැප්පුනේ නැත්තම් තමුසෙගේ ත්‍රීවීල් එකට මීට වඩා අලාබයි.දැන් පාඩුවේ මෙතනින් මාරු වෙයන්"

අරූ මීක් ගාන්නේ නැතුව බලු කුක්කා වගේ එතනින් මාරු වුනා.

මමත් ඉතින් වටේ පිටේ කට්ටියගේ පිහිටාධාර ඇතුව බයිසිකලේ ස්ටාර්ට් කරගෙන අප්පච්චි එනවා කිව්ව බස් හෝල්ට් එකට ගියා.

ඊට පස්සේ ඉතින් දන්නවනේ.අප්පොච්චිගේ ප්‍රතිචාර........නිකම් සිනමන් ගාර්ඩ්න් හෝටලේ ලන්ච් එකක් වගේ.හරිම රසයි.මොනවා කිව්වත් කොල්ලට වෙච්ච ඇබැද්දිය ගැනත් සෑහෙන්න සැලකිල්ලට ලක් කරා....බයිසිකලේට දවස් දෙකක් විතර සාත්තුවක් දෙන්න කියලා ඉහලින් නියෝගයක් ලැබුනා.

ප/ලි - ඔය අතරේ අර මම බේරපු පුශ් බයිසිකල්කාරයා.ඌව බේරන්න ගිහින්නේ මම හැප්පුනේ.ඒකා වචනයක්වත් කියන්නේ නැතුව ශේප් එකේ මාරු.
ඒ කරලා පස්සේ දවසක මම ගම මැදින් වෙන කොහේ හරි යද්දී ළඟ ගෙදරකින් ඔය සිද්ධිය ගැන හිනා වෙවී කතා වෙනවා ඇහෙනවා.මම නැවතිලා බලද්දී ඩයල් එක ස්ටෝරිය රිපෝට් කරනවා.මට අම්බානක මල.මම ගියා ඒ ගෙදරට.ගිහින් හිටපු පිරිස ඉස්සරහා ඇත්තටම උනේ මොකක්ද කියලා සභ්‍ය විදියට ඉදිරිපත් කරා.බයිසිකල්කාරය‍ගේ පටි රෝල්.

යකෝ ඔක්කෝම කටු කාපු මට නෝන්ඩි වෙන්න පුළුවන්ද?

බයිසිකල්කාරයා එදයින් පස්සේ මාත් එක්ක බුදු ෆිට්.

ඒ ව‍ගේම තමා මම එදා සෑහෙන්න ආඩම්බර වුනා මගේ අප්පච්චියි අම්මයි ගැන.ඒ දෙන්න නොහිටියා නම් ගමේ මිනිස්සු මං කවුද කියලා දන්නේ නෑ.එහෙම දැනගෙන හිටියේ නැත්තම් අද මේ කතාව කියන්න මම ඉන්න එකකුත් නෑ.උදව් කරපු ඔක්කෝටම මම බොහොම ස්තූතියි කියනවා.

Thursday, June 16, 2011

යතුරු පැදි ධාවනය......


සාමාන්‍යයෙන් අපේ අය එක එක වර්ගයේ වාහන වලට ආසයි නේ....

ගොඩක් අය කාර් වලට.

සමහරු ජීප්,පැජරෝ, වගේ ඒවට.

තවත් සමහරු 18 වීල්ස්, ප්‍රයිම් මූවර් ට්‍රක් වගේ තරමක් සද්ධන්ත වාහන වලට.

තව සෙට් එකක් දුම්රිය වලට.

වෙනම සෙට් එකක් අපි ගොඩබිම යන වාහන වලට ආසා නෑ කියලා නැව්,ගුවන් යානා වගේ ඒවටත් කැමැත්ත දක්වනවා.

ඔය මොන කතන්දර කිව්ව‍ත් දුප්පතාගේ වාහනේ විදියට නම් දරපු බයිසිකලේට ගොඩක් අය ආසයි.

බයිසිකලේ කිව්වම ඉතින් නාන විද බයිසිකල් තියෙනවනේ....සිංහලෙන් කිව්වොත් ප්‍රධාන වශයෙන් යතුරු පැදි, පාපැදි.(වැඩි දුර විස්තර සඳහා විකිපීඩියා සරණයි ඕං)

අපේ ගෙවල් පැත්තේ සාමාන්‍යයෙන් මොන වාහනේ නැතත් හැම ගෙදරකම තියෙන අනිවාර්ය අංගයක් තමා බයිසිකලේ....බයිසිකලයක් නැත්තම් ඒක ගෙදරක් නෙමේ වගේ තමා.ඒ වගේම තමා ගෑණු පිරිමි කියලා බේදයක් නෑ.හැමකෙනාටම අපූරුවට බයිසිකල් පදින්න පුළුවන්.මොකද මේ පැත්තේ රෝද 4 වාහන වලින් යන්න පුළුවන් පාරවල් අඩුයිනේ.(‍ෆෝ වීල් ඩ්‍රයිවින් තියෙන වාහනයක් නම් එච්චරම අවුලක් නෑ.)ලේසිම වාහනේ තමා බයිසිකලේ.කොහොමහරි මං තුමාටත් අපරා‍දේ කියන්න බෑ එළකිරි වගේ බයිසිකල් පදින්න පුළුවන්....

ඊළඟට බයිසිකල් එක්ක බැඳුන වචනේ තමා අනතුරු කියන එක.සාමාන්‍යයෙන් ලෝ‍කේ තියෙන අනතුරුදායක වාහන වලින් එකක් තමා බයිසිකලේ.මොකද ගිහින් කොහේ හරි වැදුනොත් 4 හන්දි පූට්ටු වෙනවා මාස ගානක් පත්තු බඳින්න.ඒ හින්දා සාමාන්‍යයෙන් බයිසිකලයක් පදිද්දී(මෝටර් සයිකලයක්) දිග කලිසමක්,හෙල්මට් එකක් එහෙම නැත්තම් හිස් ආවරණයක් පාවිච්චි කරනවා නම් හොඳයි.තව දෙයක් ගෑණු දැරිවියෙක් එහෙම බයිසිකලේ පිටි පස්සේ ඉන්දගෙන යනව නම් කරුණාකරලා සායක් එහෙම ඇඳලා ඉන්නවන නම් හොඳට අකුලලා අල්ල ගන්න කියන්න.නැත්තම් ඒක රෝදයක් අස්සේ වත් ගියොත් දෙන්නම පාර මැද්දේ දොයි තමා.

කොහොම හරි මෝටර් සයිකලේ හින්දා මට වෙච්චි අකරතැබ්බ කීපයක් තමා මං මේ කියන්න යන්නේ.

පළවෙනි අකරතැබ්බේ වුනේ මම බයිසිකල් පදින්න පුරුදු වෙච්චි දවස්වල.ලයිසොමක්වත් නෑ.මෝටර් බයික් එක පදින්න තියෙන ආසාවට උදේ පාන්දර නැගිටලා කි.මී 10ක විතර රවුමක් ගහලා එනවා.මේ දවස්වල අප්පච්චි වැඩ කරේ පොළොන්නරුවේ හින්දා සතියේ දවස්වල බයිසිකලේ මගේ වගේ තමා.අපේ ගෙවල් පැත්තේ පොලිස් මාමලත් අඩු හින්දා වැඩිය බය වෙන්න දේකුත් නෑ.මම කලිනුත් කිව්වනේ අපේ ගෙවල් පැත්තේ පාරවල් හරි ලස්සනයි කියලා.කොළඹ හතට වඩා හොඳයි.පාර නිකම් දිය රැල්ලක් ‍වගේ...හරිම ඉස්මූත්.වැඩිය ඕනේ නෑ පුංචිත්තන් අලි පැට්ටෙක්ව ශෝයි එකේ නාවන්න පුළුවන්....මං තුමා ඉතින් උදේ පාන්දරම බයිසිකලේ අරන් පාරට බැහැලා ‍‍පොඩි රෝන්දයක් දාලා ආපහු එන්න පිටත් වුනා.පිටත් වෙලා එද්දී.පාරේ වැලමිටි වංගුවක් තියෙන තැනක් තියෙනවා.එතන සාමාන්‍යයෙන් පොඩි වලක් දෙකක් තියෙනවා.බොහොම පරිස්සමට බයිසිකලේ පැදපු මම ඔතනදී වේගේ ටිකක් අඩු කරලා වංගුව හැරෙව්වා.

පළවෙනි වල සාර්ථකව පහු කරා.

දෙවෙනි වලත් සාර්ථකව පහු කරා.

මුන්ගේ ආච්චිලාට හාල් ගරන්න මොකෙක්දෝ එකෙක් පාර මැද කාණුවක් කපලා.

දඩිං බිඩිං ඩෝන්....මම ඉතා කැමැත්තෙන් මහ පොළොව සිප ගත්තා.හොඳ වෙලාවට හෙල්මට් එකක් දාලා හිටපු හින්දා ඔළුව බේරුණා.ජර්කින් එකටයි කළිසමටයි පින් සිද්ධවෙන්න යන්තම් හීරීම් දෙකකින් ගොඩ ගියා.
දැන් ඉතින් මොනා කරන්නද?බයිසිකලෙත් කෙලින් කරගෙන යන්නම් ගෙදර ගියා.ගෙදර ගියා විතරයි මෙන්න බොලේ අම්මා ඉන්නවා දොර ළඟට වෙලා මූණ තෙල් තාච්චියක් කරගෙන.

"මොනවා කරන්න ගිහින්ද බයිසිකලෙන් වැටුනේ.මේ තාත්තලා පුතාල ඔක්කෝටම පිස්සු.වයසට වඩා වැඩ කරන්න යනවා....බ්ලා බ්ලා....."

ඕකට කියන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා.

මං හැබැයි ෆුල් අන්දුස්."ය‍කෝ ගෙදර එන්න කලින් අම්මට කොහෙන්ද මැසේජ් එක ආවේ."

මගේ අවාසනාවටද වාසනාවටද දන්නෑ අපේ අම්මයි අප්පච්චි ඒ දෙන්නගේ වෘත්තිය(ඉංජිනේරු සහකාරවරු) හින්දා ළඟපාත ගම් වල හැමෝම දන්නවා.ඒ අය මාර්ගයෙන් මායි මගේමල්ලි කාගේ කවුද කියලා අපිට වඩා වටේ පිටේ මිනිස්සු දන්නවා.මොනා කරන්නද?මං වැටිච්ච වෙලේ ඒ ළඟ පාත හිටපු මනුස්සයෙක් ගෙදරට දැනුම් දීලා....

ඊළඟ කතන්දරේ හෙට දිහාට පළ කරන්නම්කෝ...නැත්තම් මේක දිග වැඩි වෙයි වගේ....

ප/ලි - මේ සිද්ධියෙන් මං නියම පාඩමක් ඉගන ගත්තා.ඒ තමා ගමේ ඉන්න කොට ගෙදරට හොරෙන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දානවනම් සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ කියලා.මොකද ගෙදරට රි‍පෝට් එක යනවනේ.අදටත් මේක වලංගුයි.... :P

Friday, June 10, 2011

I See there's an ANGEL

මේක මගේ මිත්‍රයෙකුට වෙච්ච සිද්ධියක්.දැනට අපි මේ මෑන්ස්ට සමන් කියමු.

මූ කොල්ලෙක් වුනාට එක විදියක පොරක්.ඒ කියන්නේ කෙල්ලෝ ගැන මුගේ ආකල්ප ටිකක් අමුතුයි.සාමාන්‍යයෙන් මුගේ හිතට අල්ලන විදියට කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ නිකම් කණ කැස්බෑවගේ පේන ඇහැට විය ගහේ සිදුර ගානට සෙට් වෙලා අහස පැහැදිලිව පේනවා වගේ සීන් එකක්.
මේ මනුස්සයා ආවට ගියාට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකෙක් නෙවේ.ඉතාම හොඳින් දන්න අඳුනන කෙල්ලෝ කීපදෙනෙක්(ඇත්තටම කිව්වොත් 4ක් 5ක් විතර) එක්ක ඇරෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක්.

දවසක් මේ පොරට අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව ඇහැ ගැහුණා.ඇත්තටම කිව්වොත් ලස්සනයි කියන්නේ ඉටි රූපේ වගේ නෙමේ.හැබැයි ‍මුගේ මීටරේට අනුව පට්ට කෙල්ලෙක්.

දන්නවනේ ඉතින් කට්ටිය සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ලෙක් මුණගැහුනොත් සාමාන්‍යයෙන් හොඳම යාළුවට කියන සිරිතක් තියෙනව‍නේ.

මූත් ඉතින් ජංගමේ අරගෙන යැව්වා මැසේජ් එකක්.....

"Mchn I c thrs an ANGLE and I cnt blv it"

යාළුවා හැරෙන තැපෑලෙන්....වැරදුනා රිප්ලයි එකක් එවනවා මෙන්න මෙහෙම

"E gaman tho mokakda kara gathte?Koheda umba KONA maninna giye.Guti kanna yanne nethuwa hitan bn eka eka ge kona maninna gihin"

Sunday, May 29, 2011

ළමයි කීයද?



මේ සිද්ධිය වුනේ අපි ඉස්කෝලේ යන කාලේ....මතක හැටියට උ/පෙළ කරන කාලෙදී.

ඒ දවස් වල ඉතින් ඉස්කෝලේ වගේම ටියුශනුත් යනවනේ....සමහර වෙලාවට ටියුශන් කරන ගුරුතුමා පාසලේ ගුරුතුමාගේ බැ‍‍චෙක්..
උදාහරණ තොග පිටින් තියෙන හින්දා මම කියන්න යන්නේ නෑ ‍ඕං.
කොහොම හරි ඉස්කෝලෙදි මේ ගුරුවරු එකිනෙකා ගැන අහනවානේ...ක්ලාස් කොහොමද?උගන්නනවා හොඳඳ?ඔය වගේ ප්‍රශ්න.මේකත් එහෙම සිද්ධියකදී වෙච්ච දෙයක්.....
අපේ පංති‍යේ ඇඟට නොදැනෙන විදියට නෝන්ඩි දෙන්න පුළුවන් පොරක් හිටියා කණයා කියලා.මේ වෙද්දී වි.වි ඉගන ගන්නේ.මෙයා තමා මේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා...ගුරුතුමා තාම ඉගැන්වීම් කටයුතු කරන හින්දා මං එතුමාව A.ගුරුතුමා කියලා හඳුන්වන්නම්.

ඔන්න දවසක් දැන ගුරුතුමා පංතියට ආවා...පුරුදු විදියටම උගන්නලා ප්‍රශ්නයක් දීලා ටිකක් සතුටු සාමීචියේ යෙදිලා හිටියා.සතුටු සාමීචි අතරේ අපි වැඩ කරයි කියලයැ.අපිත් දිගටම සාමීචියේ යෙදුනා.
මෙහෙම යද්දී මාතෘකාව ටිකෙන් ටික ටියුශන් පැත්තට යොමුවුනා.දැන් අපේ ප්‍රදේශයේ ටියුශන් ගුරුවරු ගැන කතා කර කර ගිහින් අන්තිමේට එක විශේෂ ගුරුතුමෙක් ගැන කතාවට ආවා.අපි මෙතුමාව "දිසා" කියලා හඳුන්වමු.

අපේ A.ගුරුතුමා පංතියෙන් අහනවා"ළමයි...දිසාගේ ක්ලාස් යන්නේ කව්ද?"

මුලු පංතියෙන්ම දිසාගේ ක්ලාස් ගියේ කණයා විතරයි.ඌ ඉතින් අත ඉස්සුවා.

A.ගුරුතුමා "මේ දවස්වල මොනවද උගන්නන්නේ?"

කණයා"අයණික සමතුලිතතාවය"

A.ගුරුතුමා "හොඳට උගන්නනවද?"

කණයා"නරකම නෑ සර්..."

A.ගුරුතුමා "කොහෙද පංති තියන්නේ?"

කණයා"........ හෝල් එකේ..."

..........ඔහොම ප්‍රශ්න මාලාවකට පස්සේ ගුරුතුමා වැදගත්ම ප්‍රශ්නේ ඇහුවා....

"දිසාට ළමයි කීයක් විතර ඉන්නවද?"


පිළිතුර දෙන්නේ ඉතින් කණයා‍නේ.....මූ ගත් කටටම කියපි.....

"ඒක නම් මං දන්නේ නෑ සර්...."

එතනින් පස්සේ පංතියේ උගන්නන් පුළුවන් තත්වයක් තිබ්බේ නෑ...ඒ තරමට හිනාව........

===================================================
ප.ලි- අද ඉදන් මකුළුවා නියම නමින් පෙනී සිටිනවා....මකුළුවා හෙවත් මම අශාන්..කෙටියෙන් කිව්වොත් ශාන්

Saturday, May 21, 2011

කෙටිම කෙටි සටහනක්.....

ඉලංදාරියාව අපි හැමෝම දැනගත්තේ ජාලය හරහා....ඔහුගේ කාරුණික ආයචනයට විවිධ අරමුණු වල සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි විසිරී සිටිය පිරිසක් එක පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණා....එනම් සවන් සෙවූ ඉලංදාරියාට සවන් ලබා දෙන්න...පුංචියට පටන්ගත් අරමුණ අතුවිහිදෙන රුකක් වන තුරු පෝෂණය කලමුත් අද....

"ඉලංදාරියා අප හැර ගොසිනි."

සාක්ශාත් කරගත් පොදු අරමුණේ උපරිම ඵල ලැබීමට ඉලංදාරිය දැන් අප අතර නැත.....

"පියේහි විප්ප යෝගෝ දුක්ඛෝ"එය බුද්ධ දේශනාවයි.

ඉතින් ඉලංදාරියෝ ඔබට අමා මහ නිවන් සුව!යළි කිසිදිනක මෙවන් දුක්කරදර මේ සසර පුරා ඔබට අත්විඳින්නට සිදුනොවේවා!

"ශෝකාන්තය එනතුරා.....
එහි රැඳෙන්නට සිත් නැති නියා.....
අනන්තය ළඟ අප දමා.....
අවසානයට පෙර ඔහු ගියා....."

Monday, May 2, 2011

දිනපොත(Diary) සහ මූණුපොත(Facebook)

================================================
මේක තමා විභාගෙට කලින් ලියන්න ලැබෙන අවසාන බ්ලොග් සටහන(තාම ෂුවර් නැතෝ)....අද ඉදන් මාසෙකට විතර මම අවකාශයෙන් අන්තරස්දාන වෙන්නයි හිතාගෙන ඉන්නේ.මාත් එක්ක තරහ වෙන්න එපා ඕං.බිලොග් අවකාශයට මුදාහරින හැම ලියුමක්ම වගේ මංතුමා කියවනවා.අදහස් පළනොකළට හැම එකම කියවලා තියෙන්නේ.ඉදිරි මාසෙත් ඒ විදිහටම ලැබෙන අවස්ථාවෙන් මං තුමා ලිපි ටික කියවන්නම් කෝ.අදහස් නොදැක්කුවට අමනාප වෙන්න එපා හොඳේ
================================================

අපි හැමෝටම එක එක කාලෙට එක එක අදහස් පහල වෙනවනේ.උදාහරණ විදියට කිව්වොත් ඔය එක එක ආකාරයේ විනෝදාංශ(මුද්දර එකතු කරන්න,පින්තූර එකතු කරන්න), විවිධාකාරයේ ක්‍රීඩා වල නිරත වෙන්න,අළුත් අළුත් දේවල්(ඉලෙක්ට්‍රොනික් වැ‍‍ඩ,වාහන එකලස් කරන්න)වල නිරත වෙන්න හිතෙනවානේ.ඒ අතරින් සමහර දේවල් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා.සමහර ඒවා කාලයක් ගියාම(ඒ දේ පිළිබඳව පිස්සු වැටිලා හිටිය කාලේ නැවතුනාම) අතෑරලා දානවා.හැම මනුස්සයාම ඔය වගේ තමා.

හැම මනුස්සයාම කිව්වම ඉතින් මකුළුවත් ඕකට අයත් නේ.
මට ඉතින් එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලලා සමහර දේවල් විවිධාකාර හේතූන් මත නවත්තලා දාලා(සමහර වෙලාවට පසුතැවෙන්නත් වෙනවා.) සීමිත දේවල් කීපයක් දිගටම පවත්වාගෙන යනවා.මගේ දිනපොත් ලිවීමත්(සිංහලෙන් කියනවා Diary කියලා) අන්න ඒ අඛණ්ඩව පවත්වාගෙන යන දේවල් වලින් එකක්.

පුංචි එකා කාලේ(ඔය එකේ දෙකේ ඉන්න කාලේ) අප්පච්චිට දිනපොතක් හමිබුවෙච්චි ගමන් මං කරන්නේ ඒක පෙරලලා බලන එක.දැන් වගේ නෙවේ,ඒ දවස් වල හැම දිනපොතේම වගේ මාසයක් ඉවර වෙන පිටුවට පස්සේ තියෙන පළවෙනි පිටුවේ ලංකාවේ තියෙන සුන්දර දර්ශනයක් මුද්‍රණය කරලා තියෙනවා(දැන් එහෙම දිනපොත් තියෙන්නේ අතරින් පතර).මං කරන්නේ හැමෝටම කලින් ඒ පින්තූර ටික බලන එක,මොකද ඊට පස්සේ මගේ පියතුමා ඒ දිනපොත් රාජයාව අල්මාරිය ඇතුලේ සිංහාසනාරූඪ කරන නිසා.එතනින් එහාට ඒ දින පොත නැරඹීමේ අයිතිය තියෙන්නේ මගේ මව්තුමියට පමණයි.වෙන මොකුත් හින්දා නෙමේ,මං පුටුවකට නැගලා හිටගත්තත්,අල්මාරියේ උඩම තට්ටුවට උස නැති හින්දා.හැබැයි ඉතින් අප්පච්චි දිනපොත එළියට ගත්ත වෙලාවට මට පෙරළලා බලන්න දෙනවා.("පව්නේ පොඩි එකා කියලා."හැබැයි අප්පච්චි පාවිච්චි කරලා අයින් කරපු එක දිනපොතක් තාමත් මං ළඟ තියෙනවා මං කැමතිම පින්තූර ටිකකුත් එක්ක).මං පහ වසරට විතර එනකම් මේ විදියට තමා තත්වේ.කවදාවත් මට දිනපොතක් හම්බුවුනේ නෑ.
2000 වසරේ වන්නිකරයේ ඉදන් පහේ ශිෂ්‍යත්වේ පාස් කොරලා උඩරටට එද්දී මගේ යාළුවන්ගෙන් එක එක විදියේ මතක සටහන් හම්බුවෙද්දී මගේ හොඳම යාළුවා වෙච්ච රුවන් මට අමුතු තෑග්ගක් දුන්නා.ඒක තමා මගේ පළවෙනි දිනපොත.(Fujifilm සමාගමෙන් අළුත් අවුරුද්දට මුද්‍රණය කරපු සාක්කු දිනපොතක්.රුවන්ගේ තාත්තා තමා ඒ වකවානුවේ අපේ පලාතේ හිටපු හොඳම ඡායාරූප ශිල්පියා.)මුල්ම කාලේ ගෙදරින් ඈත්වෙලා ඉස්කෝලේ යද්දී සිද්ධවෙච්ච රසවත් සිද්ධි තොගයක් ඒකේ පිටුවල තියෙනවා.(කියවද්දී මටම හිනා යනවා.අපි ඒතරම් පිස්සු වැඩ කරාද කියලා.)එතන ඉඳලා දිගමට මට ‍හැම අවුරුද්දෙම මට දිනපොතක් හම්බුනා.මමත් ඉතින් මගේ ජීවිතේ සිද්ධවෙච්ච හැම සිද්ධියක්ම වගේ ඒ දිනපොත් වල ලිව්වා.අද වෙද්දිත් මං ඒ දිනපොත් සුරක්ෂිතව තියලා තියෙනවා.ඉඩක් ලැබෙන වෙලාවට කියවලා බලලා මනෝ ලෝකේ දිනපොතේ යාළුවොත් එක්ක කරක් ගහනවා.සුන්දර මතක නැවත නැවත ආවර්ජනය කරනවා.ඒ හැඟීම් ගැන තේරුම් ගන්න පුළුවන් දිනපොතක් ලියලා කියවපු මනුස්යෙකුට විතරයි.
කොහොමෙන් කොහොමහරි දිනපොත ලිව්වට රාජකාරි දිනපොතක් නඩත්තු කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ සරසවියට පැනගත්තට පස්සේ.ඒ හින්දා දැන් මං ගාව දිනපොත් දෙකක් තියෙනවා.එකක් මං අදටත් පෑනෙන් ලියනවා මගේ පෞද්ගලික දිනපොත හැටියට.අනික මගේ පරිගණකයේ ලිපිගොනුවක් විදියට නඩත්තු කරනවා.

ඔහොම දිනපොත් ලිය ලියා ඉන්නකොට තමා මේ මූණූපොත(සිංහලෙන් කියන්නේ Facebook ) අපේ සාමාජෙට එන්නේ.අධිවේගී අන්තර්ජාල භාවිතය අපේ රටේ සමාජ ගතවෙන කාලෙදිම තමා ස(z)ක(ර්)බ(ර්)ග්(Mark Zuckeberg) උන්නැහේ මූණුපොත අන්තර්ජාලයට මුදාහරින්නේ...අනේ මගේ වාසනාවටද අවාසනාවටද දන්නෙ නෑ.2006 අවුරුද්දේ මගේ අක්කන්ඩිලාගෙන් එක්කෙනෙක් උසස් අධ්‍යාපනේ ලබන්න රැජිනිගේ දේසෙට ගියපු දොහේ මට මූණුපොතට සම්බන්ධ වෙන්න ආරාධනාවක් (අපිට හුරු බාසාවෙන් කියනවා නම් FB Invitation එකක්)එව්වා.මමත් ඉතින් වැඩිදුර හිතන්නේ නැතිව ඒක පිළි අරගෙන(accept කරලා) මූණූපොතට සම්බන්ධවුනා.එදා ඉදන් ඉතින් අද දක්වා මූණුපොතේ කරක් ගහනවා.Photoes Upload කරනවා,Links Post කරනවා(යූ-නලයෙන්,නැත්තම් බ්ලොග් පිටුවක්, සිංදුවක් ඔය වගේ දන්නැද්ද ඉතින්.....),Status Update කරනවා,Friendsලව Add කරනවා,Groups වලට Join වෙනවා.Pages වලට,Post වලට Like දානවා....ඔය වගේ වැඩ කෝටියක් කරන්න පුළුවන්නේ මූණු‍පොතේ කාලෙ කන්න.....
හුටා!වැදගත්ම දේ මතක බැරි වුණානේ....ඇයි බොලේ Chat කරන එක...(වර්තමාන සිංග්ලිෂ් හෝඩියේ මහගෙදර ඒක නොවැ.)මුල්ම යුගයේ අබින් කෑවා වගේ ඇබ්බැහි වෙලා හිටියට දැන්නම් මටම මූණුපොත එපා වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ.වෙලාවකට අයින්වෙලා යන්න හිතුවත් මූණුපොතෙන් විතරක් පවත්වාගෙන යන සම්බන්ධතා කීපයක් හින්දා මූණුපොතේ දිගටම ඉන්නම් කියලා තීරණය කරලා තමා දැන් කල් ගෙවන්නේ.මොක වුනත් මාර්ක් අයියගේ වැඩේ සාර්ථකයි.ඇත්තමට මූණුපොත කියන්නේ ජාලයේ තියෙන සමාජයක්ම තමා.අපි කට්ටිය සෙට් වුනා වගේම තමා.වෙනසක් නෑ.

දැන් කට්ටිය බලනවා ඇති මකුළුවට විභාගේ හින්දා මංඤන් වෙලා වගේ පිස්සු කියවනවද කියලා.ඇයි යකඩෝ මේව බලන අපි මේ දිනපොත් මූණුපොත් ගැන නොදන්නවයැ නේද?

අෆෙ අෆ්ෆෝ තරහා අවසර.දැන් තමා කතන්දරේ පටන් ගන්‍‍නේ.ඊට කලින් මං කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමති.මූණුපොත පාවිච්චි කරන කවුරුහරි කෙනෙක් මේ මොහොතට පෙර මූණුපොතේ තමන්ගේ බිත්තිය(Facebook Wall එක) දිගේ අවුරුද්දක් දෙකක් ආපස්සට ගමන් කරලා තියෙනවද?(අර Wall එකේ පතුලේ Older posts කියලා Link එකක් තියෙන්නේ.අන්න ඒක ඔබලා ආපස්සට ගමන් කරන්න පුළුවන්.) එහෙම කරලා නැත්තම් මේක කියවලා ඉවරවෙලා නිකමට වගේ කරලා බලන්න.

දැන් මං ආපහු කතාවට එන්නම්.දවසක් දා අපේ අර පතක නොඇඳුනු සිතක සිත්තම් කරන ප්‍රාර්ථනා නගාට රූප රාමු පෙලක්(Video) හොයලා දෙන්නම් කියලා පො‍රොන්දුවෙලා ඒක හොයන්න මම මගේ බිත්තිය දිගේ පහලට ගියා.මුලින් හිතුවේ මාසයක් දෙකක් ඇතුලත කාලයක් තුල බිත්තියේ පළ කරපුවා අතරේ අදාල රූප රාමු පෙළ තියෙයි කියලා.හැබැයි ඒක තිබ්බේ අවුරුද්දකටත් එහා මං පළ කරපු රූප රාමු අතරේ(ඒ රූප රාමු පෙළත් මේ ලිපිය අගට දාල තියනවා.කැමතිනම් ඉතින් බලන්න).ඉතින් ඔහොම රූප රාමු ටික හොයාගත්තට පස්සේ නිකමට වගේ මං ඒ ළඟ පාත තිබ්බ මම එක එක අවස්ථා වල මං ගැන කොටපුවා (Status Updates),මං අනික් අයගේ බිත්තිවල කොටපු අදහස් වගේ දේවල් කියවන්න ගත්තා.මූණු‍පොතට සම්බන්ධ වුනාට පස්සේ මං මගේ ජීවිතේ වැදගත් අවස්ථා වලදී දිනපොත ලියනවට අමතරව මූණුපොතේ බිත්තියෙත් මං ඒ දේවල් කොටන්න ගත්තා.සමහර ‍දේවල් වලට සෑහෙන්න හිනා යනවා,මෙහෙම දේවලුත් වුනා ද කියලා හිතෙනවා.ඒවගේම මං ඒ දේවල් කොටන්න හේතු වෙච්ච සිද්ධි මැවිලා පේනවා.කොහොමහරි මං අවුරුදු 2ක් විතර පල්ලෙහාට ගියා.කරපු කියපු දේවල් ගැන බල බලා හිත හිතා හිනා වෙවී කියෙව්වා.
කොහොම හරි ඔය කියවීමේ ව්‍යාපෘතිය ඉවර වෙද්දී පාන්දර 5යි.අයියා නැගිටලා කාමරේට ආවම තමා වෙලාව ගැන කල්පනා වුනේ.පහුවදා හොඳවෙලාවට නිවාඩු දවසක් හින්දා මං ඒ වෙලේම ගිහින් බුදිය ගත්තා.

ඇහැරුණාට පස්සේ තමා මට මීටර් වුනේ,"අපි දිනපොතක් පෙරළලා බලලත් කරන්නේ මේකම නෙවේද?"

දිනපොතක තියෙන්නේ තමතමන්ගේ පෞද්ගලික සටහන්(සමහරක් ඒවා අතිශයින්ම පෞද්ගලිකයි) ....ඒවගේම තමා මූණුපොතේ තමන්ගේ බිත්තියේ තියෙන්නෙත් තමන්ගේ සටහන්.සරලව කිව්වොත් දිනපොතේ ලිව්ව දේවල් වෙන විදියකට බිත්තියේ කොටලා තියෙනවා.තමන් ලබපු නින්දා,ප්‍රශංසා,ජයග්‍රහණ,පරාජ,කාපු ලණු,දීපු ලණු,එක එකා‍ගේ විහිලු,ඕපා දූප, බයිට් වෙච්චි ඒවා...මේ හැමදෙයක්ම ආපහු මතක් කරන එකමයි නේද අපි දිනපොතක් පෙරළලා බලලා කරන්නේ.

ඒවගේම තමා මූණු පො‍තෙත්....තමන්ගේ බිත්තිය දිගේ පොඩ්ඩක්(කියන්නේ මාස 5ක් 6ක් විතර) පල්ලෙහට ගිහින් බලන්න.වෙන වල් පල් වලට කාලේ නාස්ති කරන වෙලාවෙ එහෙම දෙයක් කරලා බලන්නකෝ.ඒ කරලා මං කියන විදිහේ හැඟීම එන්නේ නැත්තම් කරුණා කරලා කියන්න හොඳේ.

දැන් ඇති නේ දෙඩෙව්වා.

එහෙනම් ඕං මං මාරු වෙනවා.

හැමකෙනාටම තුණුරුවන්ගේ සරණයි!

================================================

මේක තමා මං අර හොයල දුන්නැයි කියපු වීඩියෝව...ලිපියට නම් අදාලත්වයක් නෑ...කාරි නෑ.කැමති කෙනෙක් ඉන්නවනම් බලන්නකෝ.

Friday, April 22, 2011

"කොයි රෝදෙද හුලං බැස්සේ?"

මේක මං පත්තරේක තිබිලා අහපු කතන්දරයක්.....කව්රු හරි කෙනෙක් මට කලින් මේ කතාව ලියලා තියෙනවා නම් ඉතින් කියවන ඈයෝ මට සමාවෙන්ට ඕනේ.පරණ කතා‍වක් ආපහු කිව්වට...

ලෝකේ තියෙන ඕනෙම විශ්ව විද්‍යාලකෙ වාරාවසාන හෝ වසරාවසාන විභාග පැවැත්වෙනවනේ...සමහරු නම් ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් පාඩම් කරලා විභාගෙ ලියන්න යනවා...තවත් සමහරු මාස හෝ සති දෙක තුනක් පාඩම් කරලා විභාගෙට යනවා...තවත් සමහරු විභාගෙ හෙට කියලා අද පාඩම් කරලා ලියන්න යනවා...දැන් ඔය වි.වි මානව මානවිකාවෝ තමන් අයිති මොන වර්ගයටද කියලා හෙමින් සීරුවේ තේරුම් බේරුම් කරගන්නකෝ.(මංතුමානම් ඔය දෙවෙනි වර්ගෙට තමා අයිති වෙන්නේ.)

දැන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔය වගේ විශ්ව විද්‍යාලයක විභාගයක් ලියන්න යන ශිෂ‍්‍යයෝ 4 දෙනෙක්.දැන ඹන්න මේ හ‍තර දෙනා අද තියෙන ප්‍රශ්න පත්තරේට කලින් දවසේ පාඩම් කරලා යනවා විභාගේ ලියන්න.යන්නේ කාර් එකක.(කාර් වලට කැමති නැත්තම් රෝද 4ක් තියෙන වාහනයක කියන්නම් කෝ.)දැන් ‍මේ ඈයොන්ට මුහුණදෙන්න තියෙන විශය ඉතාමත් අමාරු විශයක්.ඒ හින්දා මේ 4 දෙනා හිතලම පරක්කුවෙලා යනවා විභාග ශාලාවට.4 දෙනා විභාග ශාලාවට එනකොට විභාගේ පටන් අරන්.දැන් ඉතින් 4 දෙනාම ගියා විශය භාර ගුරුතුමා(සිංහලෙන් කියනවා Lecturer කියලා) හමුවට.ගිහින් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

"සර්.අපි එනකොට අතර මගදී අපේ වාහනේ රෝදෙක හුලං බැස්සා.ඒක හදාගෙන එනකොට පරක්කු වුණා..."

ගුරුතුමාත් සානුකම්පිතව කාරණේ දිහා බලලා මේ 4දෙනාට කිව්වලු
"හරි දැන් අද ඔයාලට විභාගේ ලියන්න බෑනේ.තව සතියකින් මේ වෙලාවටම ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන්න එන්න" කියලා....

4 දෙනාට මාරම හැපි.දව‍සකින් බලා ගන්න බැරි වෙච්චි විශය සතියක් තිස්සේ පා‍ඩම් කරලා කජු කනවා වගේ ලියන්න පුළුවන් ගානට ලෑස්තිවෙලා කට්ටිය ගියාලු විභාග ශාලාවට.

එතනදී ශාලාධිපතිතුමා මේ හතර දෙනාව දැම්මලු වෙන වෙනම කාමර 4කට.දාලා ඉවර වෙලා ප්‍රශ්න පත්තරේ බෙදුවලු....

ප්‍රශ්න පත්තරේ තිබ්බේ එක ප්‍රශ්නයයි.

"හුලං බැස්ස රෝදය කුමක්ද?(රියදුරුට සාපේක්ෂව)"
1-ඉදිරිපස වම
2-ඉදිරිපස දකුණ
3-පසුපස වම
4-පසුපස දකුණ

Friday, April 8, 2011

"දැන් ඔය සාහිත්‍ය ඉගන ගෙන........."(අංක 02)

පළමු ලිපියෙන්
"නමුත් ප්‍රශ්නය ඒක නෙමේ.....සාහිත්‍ය කප්පාදුවෙන් මොකෝ වුනේ කියන එකයි...........

භාෂාවෙන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමට හා හුවමාරු කරගැනීමට මාධ්‍යයක් තෝරලා දෙන එක.ගණිතයෙන් කරන්නේ මනුස්සයට හිතන්න පුරුදු කරන එක.විද්‍යාවෙන් කරන්නේ ඒ හිතපු දේ ක්‍රියාවට නං වන්නේ කොහොමද කියලා තේරුම් කරලා දෙන එක.

එතකොට සාහිත්‍ය අහවල් කෙහෙල් මලක් කරන්න?...................

නෑ.....නෑ.....සාහිත්‍යයෙන් තමා මනුස්සයා හිතන විදිහ ලස්සන කරන්නේ....සරලව කිව්වොත් ලස්සනට හිතන්න පුරුදු කරන්නේ සාහිත්‍යයෙන්.....

දැන් බලයි ඒ කොහොමද කියලා.......

ඒක වෙන්නේ මෙහෙමයි....සාහිතය්‍ය කියන්නේ තනි විශය පථයක් නෙමේ.....සාහිත්‍යට ඉන්නවා යාළුවෙක් රසාස්වාදනය කියලා....සාහිත්‍ය කියන්නේ අයිය නම් රසාස්වාදනය කියන්නේ මල්ලි.......මේ දෙන්නට තනියම ගමන් යන්න බෑ....දෙන්නට දෙන්නා ඕනේ....හොඳ උදාහරණයක් කියන්නම්......කට්ටිය "මඩොල් දූව" පොත කියවලා තියෙනවද?අන්න ඒ පොත කියවද්දී කොයි වෙලේක හරි දැනුනද මම තමයි උපාලි ගිනිවැල්ලේ එහෙම නැත්තම් ජිනපාල කියන්නේ මම.....මම ජීවත් වෙන්නේ ම‍‍‍ඩොල් දූවේ.....කියලා.අන්න එහෙම දැනෙන්නේ පොත කියවන ගමන් ඔයාලා වින්දනය කරපු හින්දා.....සාහිත්‍යයෙන් පුරුදු පුහුණු කෙරෙව්වේ ඔන්න ඕක.යම්කිසි දෙයක හරය උකහා ගන්නේ කොහොමද,ඒක විචාරාත්මකව කියවලා තේරුම් ගන්නේ කොහොමද,ඒක රසවිඳින්නේ කොහොමද කියලා පුරුදු කරවපු එක....

නමුත් අද මොකද වෙලා තියෙන්නේ...........

අපේ වැඩිහිටි පරම්පරාව සමාජය දියුණ වෙනවත් එක්කම ඒ අයගේ දෙවෙනි පරම්පරාවට(ඒ කියන්නේ අපේ පරම්පරාව) අළුත් තාක්ෂණයට මුහු වෙන්ට අවස්ථාවක් ලැබුණා...ඉතින් අධ්‍යාපන පසුබිමට අමතරව අපේ අය අන්න ඒ තාක්ෂණික දියුණුවත් එක්කත් අත්වැල් බැඳ ගත්තා.....කාසියක දෙපැත්තක් තියෙනවා වගේ හොඳ හා නරක කියනේ හැම‍දේකම තියෙනවා.ඉතින් තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච අපේ අය පොත්පත් සාහිත්‍ය කියන දේවල් අමතක කරා...අන්න ඒ හේතුවෙන් හොඳ නරක මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙච්ච අපේ උදවිය අද වෙද්දී නිකම්ම හිස් කළ ගෙඩි ටිකක් විතරක් බවට පත්වෙලා...හොඳ නරක වෙන් කර හඳුනාගන්න බැරි,නිර්මාණයක් රස විඳින්න බැරි පිරිසක් අද වෙද්දී බිහිවෙලා.(ඒක එහෙම නොවේනම් අමරදේවගේ ගීත වගේම් ඉරාජ් වීරරත්නගේ සිංදුත් වින්දනය කිරීමේ හැකියාවක් තිබෙන පුද්ගලයෝ සිටින්න ඕනේ....එල්පිනිස්ටන් වගේ රංගශාලා ප්‍රේක්ෂකයෝ නැතිව වේලෙන්න විදිහක් නෑ....ලෙස්ටර් ගේ වගේම උදයකාන්තගේ නිර්මාණත් යම්තරමකට හෝ ගුණාත්මක විය යුතුය....)

අද වන විට.......
නිර්මාණකරුවෝ නිකම්ම පිටපත්කරුවෝ බවට පත්වෙලා....පාඨකයෝ නිකම්ම කියවන්නෝ වෙලා...ප්‍රේක්ෂකයෝ නිකම්ම නරඹන්නෝ වෙලා.....හැබැයි සාහිත්‍ය කිය‍නදේ ගැන ඉතා සුළු අවබෝධයක් තිබෙන පිරිසක් ඔය අතරේ රසාස්වාදකයෝ විදියට තාමත් ජීවත්වෙනවා.....ඒ වගේම ඉතා සුළු පිරිසක් නිර්මාණකරුවෝ ලෙසත් ජීවත් වෙනවා..........අපේ වාසනාවකට වගේ සාහිත්‍ය ගැන ආසාවක් තිබෙන සහ රසාස්වාදනයට කැමති ඉතා සුළු පිරිසකුත් සමාජයේ ජීවත් වෙනවා.................




******************************************************************************
"සාහිත්‍යයෙන් ද?සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරව ගන්නවද?අසූචි පුරව ගන්නවද කියන එක තෝරලා බේරලා දෙන එක........"
~ගුරුතරුව~
*********************************************************************************


පසු සටහන 1-
බ්ලොග් අවකාශයේ මෙතෙක් මා දුටු සියල්ලන්ම පාහේ (මට දැණුන විදිහට) සාහිත්‍ය ප්‍රියකරන පුද්ගලයන් බව කියන්න මං හරිම සතුටුයි....මොකද ඒ වගේ දක්ෂ නිර්මාණකරුවන් වෙන්න බොහෝම දේවල් කියවන්න අහන්න බලන්න පුරුදු වෙච්ච පුද්ගලයෙක් වෙන්න ඕනේ.

පසු සටහන 2-
විභාග වැඩ අස්සේ දෙවෙනි ලිපිය ලියන්න පරක්කු වෙච්චි එකට සමාව දෙන්න.

Sunday, March 20, 2011

සමාව ඉල්ලීම පිණිසයි........



මම ලිව්වා....ලියන්න හිතුණ හැමදේම ලිව්වා....කවදාවත් දැකලා නැති සහෝදර සහෝදරියන් පිරිසක් අදහස් දැක්වූවා....මාව ලියන්න පෙළඹෙව්වා...ඉතින් මම තවත තවත් ලිව්වා....නමුත් එක දවසකදී මගේ සමීපතයෝ පිරිසක් මාව අඳුර ගත්තා....ඒ බ්ලොග් අවකාශයේ අය නෙමේ...හැබෑ ලෝකේ එදිනෙදා දකින අය....ඒ මගේ අතින් ඔවුන් පිළිබඳ වැරදි අදහසක් පාඨකයන් අතර ඇතිවෙන පරිදි ලියූ සටහනක් හේතුවෙන්.....ඉතින් ඔවුන්ගේ අදහස් ඉදිරියේ, මං ලියනවද නැද්ද කියන දේ පිළිබඳ මං දෙපාරක් හිතුවා....මුලින් තීරණය කලේ නොලියා ඉන්න...නමුත් මේක කියවන අය....ඒ අයට අඩුවක් දැනෙයිද?ඒක කියන්න බෑ....මොකද මං ඇරුණම තවත ගොඩක් බ්ලොග් ලියන ඈයෝ ඉන්නවනේ...මං නිකම්ම නිකම් අංශුවක් විතරයි....

නමුත්........

පෙරේදා දවසක සඳරූ සහෝදරයා මගේ අවසාන ලිපියේ අදහසක් පළ කරලා තිබ්බා.."මොනවා හරි ලියපන් මචං" කියලා.....ඒ කියන්නේ මං ලියන තුරු කවුරු හරි කෙනෙක් බලා ගෙන ඉන්නවා.....ඉතින් මං ආපහු ලියන්න තීරණය කරා...

ඉතින් ආයෙමත් මකුළුවා විසින් දැල වියන්න පටන් ගනියි.......හැමෝම බලන්න....කියවන්න....අදහසක් දෙකක් පළ කරන්න....
අවසාන වශයෙන් මාව දැනට හඳුනාගෙන තියෙන යාළුවන්ගෙන් මම පොඩිදෙයක් ඉල්ලා සිටින්න ඕනේ.
යාළුවනේ,වෙච්ච දේට මම ඔයාලගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා.ඉතින් මෙතනදීත් මම ආයේ පාරක් කියන්නේ "මට සමාවෙන්න".....

මගේ පාඨක පිරිසට මම මේ කියන්නේ.....ප්‍රමාද වීම පිළිබඳවත් මට සමාවෙන්න ඕනේ........

Thursday, February 3, 2011

සෙනසුරුගේ අපල කිරීම - II

මුලින්ම විශ්ණු දෙවියෝ සෙනසුරු අපලෙට අහුවුණ හැටි කියෙව්වනේ.....කියෙව්වේ නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්ට......
මේ ‍කොටසේ තියෙන්නේ සෙනසුරු කොහොමද ගණ දෙවියන්ට අපල කළේ කියලා....


විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ.එතුමා ගැන නම් ගොඩක් අය අහලා ඇති....අර පුංචි කාලේ අත්තම්මලා එහෙම කියන්නේ ගණ දෙවියන්ටයි,කතරගම දෙවියන්ටයි කරදිය වළල්ල වටේ දුවන්න කිව්වම කතරගම දෙවියෝ මුහුද වටේ දුවද්දී ගණ දෙවියෝ දේව මන්දිරේ තිබ්බ ලුණු පොල් කට්ට වටේ දිව්ව කියලා.(එතකොට දෙයියෝ කෑමත් උයාගෙන කෑවද කියලා අහන්න ගිහින් අත්තම්මලාගෙන් ඔළුව එහෙමත් අතගා ගන්න අවස්ථාත් තියෙනවා...මොකද දේව මන්දිරේ ලුණු තියාගන්නේ දිය කරලා බොන්නයැ....)..මේ ඉන්නේ ගණ දෙවියෝ...මෙතුමාගේ වැදගත්කම තමා බුද්ධියට අධිපති දෙවියන් වීම.නැත්තම් ඉකින් අර වගේ මොළේ කල්පනා කරලා ලුණු පොල් කට්ට වටේට දුවාවියැ....ඒ හින්දා තමයි පොඩි ළමයින්ට අකුරු කියවද්දී ගණ දෙවියන්ගේ රූපයක් ඉස්රහා ඉඳන් ඒ රාජකාරිය ‍කරන්නේ....තව දෙයක් ගණ දෙවියන්ගේ ශරීරය මනුස්සයෙක් වගේ වුණාට ඇතෙකුගේ හිසක් තමා තියෙන්නේ....

කොහොම හරි අයියට වෙච්ච දේ දැන ගත්ත ගණ දෙවියන්ට ඕනේ වුණා තමන්ටත් හෙනහුරා අපල කරයිද කියලා දැන ගන්න.ගණ දෙවියොත් ගියා සෙනසුරු මුණ ගැහෙන්න...

ගණ දෙවියෝ - "සෙනසුරු,හැබෑද ඔහේ අපල කරනවා කියන්නේ?"

සෙනසුරු - "ඔව්,මං හැමෝටම අපල කරනවා...."

ගණ දෙවියෝ - "දැන් මට කවදටද අපල කරන්නේ?"

සෙනසුරු - (තමන්ගේ අපල කිරීමේ කාල සටහන බලා)"අනිද්දට..."

ගණ දෙවියෝ - "එහෙනම් හෙට දේව සභාව රැස් වෙද්දී ඔහේ ඇවිත් ප්‍රසිද්ධියේ කියන්න හෙට මට අපල කරනවා කියලා.එතකොට හැමෝම දැන ගනීනේ....."

සෙනසුරු - "හරි.හෙට මම කියන්නම්"

මෙහෙම කතාව අහවර කරපු ගණ දෙවියෝ තමන්ගේ භවනට චුත වුනා.....

දැන පහුවදා දේව සභාව රැස් වෙලා පුරුදු සාකාච්ඡා වලින් අනතුරුව විසිර යාමට සූදානම් වෙද්දී සෙනසුරු සභාව ඉදිරියට ඇවිත් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවලු,

"මම හෙට ගණ දෙවියන්ට අපල කරනවා"

ගණ දෙවියොත් ඉදිරියට ඇවිත් කිව්වලු,

"දැන් බැරි වෙලාවත් හෙට ඕක ඔහේට අමතක වුනොත්,ඒ හින්දා අපි නළලේ ඕක සටහන් කරගමු."

අපල කලාට සෙනසුරු බුද්ධියෙන් අඩුයිනේ.අනේ සෙනසුරු නළලේ ලිය ගත්තලු "ගණ දෙවියන්ට අපල කිරීම හෙට"කියලා

ඊට පස්සේ දේව සභාව විසිරී ගියා.....

පහුවදා සෙනසුරු ගණ දෙවියෝ හම්බු වෙන්න යනවා ෆුල් හැපි පිට....ඇයි සෙනසුරුට අනුව ගණ දෙවියන්ට අපල කරන්නේ අද...දෙවියන්ට වුනත් රාජකාරිය දේවකාරිය වගේනේ......
හැබැයි සෙනසුරු යද්දී ගණ දෙවියොත් කිසිගානක් නැතුව සෙනසුරුව පිළි අරන් සංග්‍රහ ආදිය කරලා සෙනසුරුගෙන් ඇහනවා ආපු කාරණේ මොකක්ද කියලා?

ගණ දෙවියෝ - "ඉතින් සෙනසුරු,මොකෝ මේ උදේ පාන්දරම?"

සෙනසුරු - "මම ආවේ අපල කරන්න..."

ගණ දෙවියෝ - "ආහ්! මට මතක නැති වුණානේ....ඊයේ නළලේ කොට ගත්තා නේද දවස....දැන කවදටද අපල කරන්න තියෙන්නේ....."

සෙනසුරු - "හෙට"

ගණ දෙවියෝ - (හිනාවෙලා)"ඒක හොඳයි...එහෙනම් දැන් ගොහින් හෙට එන්න...මටත් රාජකාරී තියෙනවනේ......"

ඔන්න එතකොට තමයි සෙනසුරාට තේරුණේ තමන් ගණ දෙවියන්ගේ ලණුව කෑවා නේද කියලා....දේව වාක්‍ය වෙනස් කරන්න බැරි නිසා කවදා ගියත් ගණ දෙවියන්ට අපල කරන්නේ "හෙට"

මෙන්න මේ හින්දා ගණ දෙවියන්ට විතරක් සෙනසුරු අපල වලින් බේරෙන්න පුළුවන් වුනාලු........

සෙනසුරුගේ අපල කිරීම - I

මේක මම ඉස්කෝලෙ යන කාලෙ අහපු කතන්දරයක්....බාග වෙලාවට කතන්දර උන්නැහේ මේ ගැන ලියලා තියෙනවද දන්නෙත් නෑ.හැබැයි මම නම් උන්නැහේගේ කතා ගො‍ඩේ මේක කතාව ගැන දැක්කේ නෑ....බැරි වෙලාවත් ලියවිලා තියේ නම් සමාව භජනය කරන්න ඕනේ.....(කොහොමත් හොඳ කතාවක් ලිව්වොත් ඉතින් කතන්දර උන්නැහේම තමා.අපිට ඒ අහලටවත් කිට්ටුවෙන්න බෑ....නියම හැකියාවක්....)

මෙන්න මේකයි කතන්දරේ..........

කවුරු කවුරුත් කේන්දරේ ගැන,ග්‍රහචාරේ ගැන අහලා ඇතිනේ.....(පෞද්ගලිකව මම නම් ඕව විශ්වාස කරන්නේ නෑ)දන්නේ නැත්නම් මම කතාවට අදාල වෙන විස්තර ගැන ‍ඇබින්දක් කියන්නම්.....
නක්ෂත්‍රයට අනුව ප්‍රධාන ග්‍රහයෝ නව දෙනෙක් ඉන්නවා.....බුධ,රවි,චන්ද්‍ර,කුජ,රාහු,ගුරු,ශනි,කේතු,සිකුරු (පිළිවෙලනම් හරියට මතක නෑ.)මේ එක එක ග්‍රහයා එක එක රාජකාරි වලට දස්සයේ....උදාහරණයක් විදියට සිකුරු කියන්නේ ආදර සම්බන්ධතා වලට අධිපතියා...ගුරු කියන්නේ මම දන්න තරමින් අධ්‍යාපන කටයුතු ආදියට හේතුවන ග්‍රහයා(වැරදිනම් නිවැරදි කරන්න.මේ ගැන විස්තර "මීදුම" තුලින් කියවන්නකෝ....)....ඔය අතරේ රාහු සහ ශනි (එහෙමත් නැත්තම් සෙනසුරු) කියන්නේ ජීවිතවලට බාල්දි පෙරලන ග්‍රහයෝ දෙන්නා.සරලව කිව්වොත් අපල කරන ග්‍රහයෝ දෙන්නා.කට්ටිය අහලා ඇතිනේ හිටපු ගමන් කියනවා "හිඟන්නගේ පාත්තරේට හෙනහුරා පාත්වුනා වගේ" කියලා....ඒ වගේම ඔය අහක යන තොප්පියක් ඔළුවට වැටුනමත් කියවෙන්නේ "මේ මොන හෙනහුරෙක් ද කඩාපාත් වුණේ කියලා" නෙවැ....ඒකෙන්ම තේරෙනවනේ ශනි,සෙනසුරු එහෙමත් නැත්තම් කට වහරේ එන හෙනහුරා කියන්නේ කොහොම ග්‍රහයෙක්ද කියලා..මේ හැම ග්‍රහයෙක්ම දෙවියෙක් විදියට තමා දේව සංකල්ප වලට අනුව විස්තර කරලා තියෙන්නේ....දැනට ග්‍රහයෝ ගැන ඇති....ආපහු කතාවට හැරෙමු.....


සාමාන්‍ය‍යෙන් දිව්‍ය ලෝකෙත් යම්කිසි පිළිවෙලකට වැඩ කටයුතු සිද්ධ කරන තැනක්.දිව්‍ය ලෝකේ අධිපති දෙවියා විදියට හඳුන්වන්නේ "විශ්ණු" දෙවියෝ(බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්ණුගේ දස අවතාර වලින් එකක් කියනවනේ...)මේ රූපේ ඉන්නේ විශ්ණු දෙවියෝ....දැක්ක ගමන් පේනවනේ ‍තේජවන්තව ඉන්න හැටි...









අවාසනාවටද වාසනාවටද මං දන්නෑ සෙනසුරු(ග්‍රහලෝකේ නෙවේ) ගේ රූපයක් හොයාගන්න බැරි වුනා....කා ළඟ හරි තියෙනව නම් ‍කියන්ටකෝ....

මුලින්ම කීවා වගේ සෙනසුරුගේ ජොබ් එක එහෙම නැත්තම් ඩියුටිය අපල කිරීමනේ....විශ්ණුටත් මේ අපල වලින් බේරෙන්න බැරි වුණාලු....බොසා වුනත් හෙනහුරාගේ හැටි එහෙමයි....එකම හැන්දෙන් තමා බෙදන්නේ(හරියට අපේ ආචාර්ය දුටුගැමුණු වගේ...මිනිහත් එකම හැන‍්දෙන්නේ බෙදනවා කියන්නේ....).
විශ්ණු දෙවියෝ හෙනහුරාගෙන් අහලා දැන ගත්තලු තමන්ට අපල කරන්නේ කවදටද කියලා.කාල සීමාව දැන ගත්තට පස්සේ විශ්ණු හෙනහුරුගේ අපල වලින් බේරෙන්න ඇතෙකුගේ වේශයක් මවාගෙන වනගත වුනාලු, "දැන් හෙනහුරාට මාව හොයාගන්න බෑ කියලා"හිතාගෙන .මේ කැළෑවේ තිබිලා තියෙන්නේ බට ගස්....(බට ගස් කියන්නේ මම හිතන විදිහට උණ ගස් වලට...අර වෙසක් කූඩු හදන්න ගන්නේ....)ඉතින් දිව්‍ය භෝජන අමතක කරලා විශ්ණු දෙවියෝ ඇත් වේශයෙන් බට ගස් වල කොළ කකා අවුරුදු 7ක් (අපල කාල සීමාව) ඉවර වෙන කම් කැළෑ වැදිලා ඉඳලා භවනට සැපත් වුනාලු.විශ්ණු සෑහෙන සතුටින් හිතුවලු සෙනසුරා මට අපල කලේ නෑ කියලා...ඉතින් ආපු කික් එකට විශ්ණු සැපත් වුණාලු සෙනසුරාගේ භවනට.ගිහින් සෙනසුරුට කිව්වලු "කෝ මට අපල කලේ නෑ නේ" කියලා.......
සෙනසුරුත් ටිකක් නෝන්ඩි හිනාවක් දාලා ඇහුවලු "ඇයි හත් අවුරුද්දක් තිස්සේ බට කොළ කෑව මදිද" කියලා....බැලින්නම් විශ්ණුට කරලා තියෙන අපලේ තමා අවුරුදු 7ක් තිස්සේ බට කොළ කන්න සලස්සපු එක.........ඒක හින්දා තමා ඔය කතාවට කියන්නේ "සෙනසුරු අපලේ මහ භයානකයි....විශ්ණු දෙයියන්ටත් හත් අවුරුද්දක් බට කොළ කන්න වුණානේ" කියලා.(තාරා සහෝදරීගේ කවියත් කියවලා බලන්නකෝ)...

~ගණ දෙවියන්ට අපල කල හැටි මීළඟ කොටසින්~

Monday, January 31, 2011

තවත් එක් සටහනක්(පමණක් නොවේ).....

අපි හැමෝගෙම හිත් තුල තියෙන දෙයක් කියන්න කිව්වොත් මොකක්ද දෙන උත්තරේ?

කට්ටිය නානාප්‍රාකාර උත්තර දෙයි....හැබැයි මගේ උත්තරේ නම් බලාපොරොත්තුව..........

මිනිසා ජීවත් කරනවන දේ මොකක්ද?....ඒකටත් මම දෙන උත්තරේ බලාපොරොත්තුව.......

අපි හැමෝගෙම හිත් තුල හීන තියෙනවා.......හීන ඉබේ හැබෑවෙන්නේ නැති නිසා ඒවා හැබෑ කරගන්න අපි වැඩ කරන්න ඕනේ.....අන්න එතකොට ඒ හීනය නිකම්ම බලාපොරොත්තුවක් බවට පත්වෙනවා......අන්න ඒ බලාපොරොත්තුව තමා අපිව අපේ අරමුණ කරා ගෙනියන්නේ.......

අද...ඒ කියන්නේ 2011/01/31 සිංහල බ්ලොග් අවකාශය උදාර බලාපොරොත්තුවක් පෙර දැරිව අළුත් වැ‍ඩකට අත ගැහුවා....
(දැන්නම් කට්ටිය මං කියන්න යන්නේ මොකක්ද කියලා දන්නවා ඇති....)

කාරි නෑ....මමත් පොඩි විස්තරයක් කරන්නම්කෝ....

මාතලේ පැත්තේ හිටියා අපි වගේම බලාපොරොත්තු තොගයක් පොදි බැඳගත්ත අපේම සහෘදයෙක්.....
ඔහුත් අපි වගේම හොඳ රැකියාවක් කරමින් සුන්දර ජීවිතයක් ගත කරන්න ලස්සන බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වුනා...හොඳ රස්සාවක් කරා....හැබැයි මිතුරනේ බලාපොරොත්තු කියන්නේ අතිශය අලංකාර වීදුරු භාඡනයක්....අනේ මොකක්දෝ පෙර අවාසනාවකට අපේ මේ සහෘදයාගේ ඒ බලාපොරොත්තු නම්වූ වීදුරු භාජනේ අද වෙද්දි කැඩිලා බිඳිලා විසි‍වෙලා ගිහින්.....කාරණේ ගැන මෙතනින් ගිහින් බලාගන්න.....ඉතින් බ්ලොග් අවකාශේ අපේ සහෝදර සහෝදරියන් ඒකමතිකව තීරණය කරා ඒ කැඩිලා ගිය වීදුරු භාජනේ කොටසින් කොටස හරි එකතු කරලා ආපහු ගොඩනගනවා කියලා.....

අපි එකිනෙකා කවදාවත් එකට මුණගැහිලා නැතුව ඇති....හැබැයි ලාංකිකයෝ වෙච්ච අපේ පපු කැවුතු අසරණයන් වෙනුවෙන් හැමදාම උණු වුනා....ඉස්සරහටත් එහෙමමයි......එක අම්මගේ දරුවො නොවුනත් අජීවී ලෝකයක් තුලි අපි හැමෝම එකා වගේ හිතවත් වුනා....ඉතින් සහෝදරයා...හැමෝම දන්න ඉලංදාරියා.....අපි උඹව තනි කරන්නේ නෑ....කොහොමහර උඹට නෑසී ගිය ලෝකය අපි උඹට ආපහු අහන්න සලස්සනවා.....ඒ බලාපොරොත්තුව අපිව වගේම උඹවත් ජීවත් කරවනවා....බයවෙන්න එපා මේ වීදුරුව මොකාටවත් කුඩු කරන්න අපි ඉඩතියන්නේ නෑ......ජීවත්වෙයන්....අපි ඉතුරු ටික බලාගන්නම්.......

~ඉලන්දාරියාගේ දිනය වෙනුවෙනි~

පසු සටහන -

අන්තර්ජාලය තුල සිටින දානපතියනි....හැකි පමණින් අපේ ඉලංදාරියාට පිහිටවෙන්න.....අපේ කර්තව්‍යයට පුළුවන් උපරිම සහය ලබා දෙන්න......

Saturday, January 29, 2011

අළුත් අවුරුද්ද....




සුභ අළුත් අවුරුද්දක් වේවා!

මං හිතන්නේ කට්ටියට පරක්කු වෙලාම අවුරුදු සුභ පැතුම ලැබෙන්නේ මකුළුවගෙන්....කාරි නෑ ඔන්න කට්ටියම භාර ගන්න....2010/12/31 ප.ව11.59.59ට (මහ රෑ) එව්වේ නැති වුණාට හෘදයාංගමව තමා මකුළුවා මේ සුභපැතුම පතන්නේ....

පුරුදු පරිදි මේ පාරත් රෑ 12ට කෙටි පණිවිඩ මගින් අළුත් අවුරුදු සුභ පැතුම් ගො‍ඩක් මකුළුට ආවා....විද්‍යුත් තැපෑලෙනුත් සුභ පැතුම් ආවා.....ඊට අමතරව සාමාන්‍ය තැපෑලෙනුත් සුභ පැතුම් පත් ආවා.(ඒව නම් ආවෙ ඉතින් දවස් දෙක තුනක් පරක්කු වෙලා....)කොහොමවුනත් සෑහෙන සුභ පැතුම් ප්‍රමාණයක් මකුළුවට ආවා....

මේ ඔක්කෝම අතරෙ වෙනස්ම ආකාරෙකට අළුත් අවුරුදු සුභපැතුම් වගේකුත් මකුළුට ලැබුණා.ඒවාගෙන් දෙක තුනක් තමා ඔය උඩින් පෙන්නලා තියෙන්නේ.යාළුවො සෑහෙන ප්‍රමාණයක් මකුළුවාව අළුත් අවුරුද්ද වෙනුවෙන් පින්තූර වලට අමුණලා.......

මා(ර්)ක් සකර්බර්ග් මූණුපොත(සිංහලෙන් කියනවා Facebook) හැදුවේ අන්තර්ජාලය තුල සමාජයීය වටපිටාවක් ඇති කරන්න....හැබැයි ඒ සමාජයීය වටපිටාව තුල සුභ පැතුමක් කියනදේ පින්තූරෙකින් දෙන්න පුළුවන්ද?මම කියන්නේ මේකයි අපිට සුභ පැතුම් පතක් ලැබෙන කොට අමුතුම හැඟීමක් පහල වෙනවා.උදාහරණයක් විදියට අම්ම,අප්පච්චි කෙනෙකුට පුතා/දුව ගැන ආදරයක්("අනේ මේ දරුවට මාව මතක් වෙලා" වගේ හැඟිමක්.),යාළුවෙක්ට නම් ("අඩේ!මෙන්න මූ කාඩ් එකක් එවලා.කාලයක් ගියත් අපිව අමතක වෙලා නෑ" ) යාළුකම ගැන ප්‍රසන්න හැඟීමක්,පෙම්වතුන්ට නම් ඒ දෙන්නා ගැන ආදරයක්,ඔය වගේ නානාප්‍රාකාර හැඟිම් අළුත් අවුරුදු සුභ පැතුම් පතක් එක්ක අපිට දැනෙනවා....
හැබැයි අර විදිහේ පින්තූරෙකින් ඒ දේ වෙනවද?මට නම් ඒක තවත් එක පින්තූරයක් විතරයි.......අද බැලුවා හෙට වෙද්ද අමතකයි....හැබැයි මට මීට අවුරුදු ගානකට කලින් එව්ව සුභ පැතුම් පත් අදටත් සුරක්ෂිතව තියෙනවා....මොකද ඒ හැම සුභ පැතුමකම මිත්‍රත්වය,ආදරය,ආශිර්වාදය,එකමුතුකම,සුන්දර මතකයන් වගේ ගොඩක් දේවල් තැන්පත් වෙලා තියෙනවා.....

2011ට කමක් නෑ....2012ට නම් මේ පින්තූර ඇමිනීම කරන්න එපා....කාර්යබහුල වුනත් අකුරු දෙකක් කුරුටු ගාලා විද්‍යුත් තැපෑලෙන් හරි කමක් නෑ සුභ පැතුමක් යවන්න.එකිනෙකා ගැන හැඟීම් දැනීම් ඇතිවෙන්නේ එතකොට.........