Wednesday, July 13, 2011

අපේ ගමට පානීය ජලය ලබා දීම......

ලංකාවේ දැනට පානීය ජලය එහෙමත් නැත්තම් ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්.මෙහෙම දිව උලුක් වෙන වචන නැතුව සිංහලෙන් කිව්වොත් වෝටර් ‍‍බෝඩ් එකෙන්.

දැන් හැමෝටම තේරුණානේ.

අපේ ගම තමයි ගංති‍රියාගම.කැකිරාව නගරයේ ඉඳන් එනව නම් B 213 මාර්ගයේ(ඔය උලවු ඉලක්කම‍ හොයාගන්න බැරි නම් ටවුමේ පොරක්ගෙන් අහන්න තලාව පාර මොකක්ද කියලා....හික්ස්) කැකිරාවේ ඉඳන් කි.මී 12ක් විතර තලාව පැත්තට එනකොට වැවක් එක්ක ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙනවා.

විදුලිය,දුරකථන පහසුකම් විතරක් නෙවේ ගමේ ගොඩක් අය නොදන්නවා උනාට ටෙලිකොම් සමාගමේ ADSL සම්බන්ධතාවය පවා අපේ ගමට තියෙනවා.මගේ අවාසනාවට අපේ ගෙවල් ගාවින් දුරකථන රැහැන් ඇදලා නෑ... :( .කුඹුරු ගොවිතැන තමා ප්‍රධාන ජීවනෝපාය.හැබැයි ඊට අමතරව වෙනත් රජයේ රැකියා කරන අයත් ගමේ වාසය කරනවා.

මේ පහසුකම් මොනවා තිබ්බත් ගමට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමා ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය සපයා ගැ‍නීම.

දැන් කට්ටිය මගෙන් අහයි......"ඇයි ගොනෝ ගමේ ලිං එකක්වත් නැද්ද?" කියලා.

‍පොඩ්ඩක් ඉන්නකෝ කතාව කියනකම්.

ගමේ වගා ළිං ඇති පදම් තියෙනවා.විශාලත්වයෙන් අක්කරයක් විතර හෝ ඊට වැඩි ඕනම ඉඩමක වගා ළිඳක් කපලා තියෙනවා.ඊට අමතරව එදිනෙදා පාවිච්චියට වතුර ගන්න පොඩි ළිඳකුත් අනිවාර්යෙන්ම සෑම නිවසකම වගේ තියෙනවා.

දැන් කියවන අයට එන ඊළඟ ප්‍රශ්නේ තමා...."ඉතින් බං එහෙනම් මොන මගුලකටද ජල සම්පාදනෙන් දෙන ජලයක් හොයන්නේ?".....

දැන් මේකනේ කේස් එක.ගොඩක් අය අහලා තියෙනවනේ රජරට පැත්තේ වතුර කිවුලයි කියලා.(විද්‍යාත්මක විදියට කිව්වොත් ජලයේ කඨිනත්වය ඉහලයි.)හැබැයි ඒ කිවුල වතුර පෙරහන් පාවිච්චි කරලා පෙරලා අරන් කිවුල සෑහෙන දුරකට අඩු කරගෙන බොන්න ගන්න පුළුවන්.හෝදන වැඩ වලටත් එච්චරම අවුලක් නෑ.අපේ ගමේ බහුතරයක් ළිං වල වතුර කිවුලයි.මෑතක් වෙන තුරු(ඒ කියන්නේ 2008 මහ කන්නය ඉවර වෙනකම් වගේ) ඒ ළිං වල වතුර පාවිච්චියට අපිට කිසිම අපහසුතාවයක් වුනේ නෑ.
හැබැයි 2008 වර්ෂා කාලය ඉවර වෙනවත් එකක්ම තත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.මොන හේතුවක් හින්දද දන්නෑ ළිං කීපයක(අපේ වත්තේ ළිඳත් ඇතුළුව) වතුර කටේ තියන්න බැරි අමුතු රහක් එන්න පටන් ගත්තා.නිකම් මළකඩ දියකරලා ගත්ත වතුර වගේ.කඨිනත්වය එහෙමත් නැත්තම් කිවුල ප්‍රතිශතය 70%ක් 80ත් විතර.සබන් එහෙම හෝදන්න බෑ.කැටිවෙනවා.මේ ළිං අතරින් සමහර ඒවා අවුරුදු 50ක් 60ක් විතර පරණ ළිං.කොහොමහරි ඒ වැස්සෙන් පටන් ගත්ත වතුර අප්‍රසන්න වීම මේ වෙද්දී(2011) සෑහෙන ලිං ප්‍රමාණයක් ආක්‍රමණය කරලා ඉවරයි.
ගමේ මිනිස්සු බොන්න වතුර ගේන්නේ කිලෝමීටරයක් විතර එහායින් තියෙන පොදු ළිඳකින්.ලීටර් 10ක විතර බූලියකට වතුර එකක් ගෙනාවම සාමාන්‍යයෙන් දවස් 2කට බොන්න ඇති.අකමැත්තෙන් වුනත් සේදුම් වැඩවලට ළිං වල වතුර පාවිච්චි කරන්න වෙනවා.
අපි මුලින් හිතුවේ ළිං වතුරේ විසක්වත් තියෙනවද කියලා.හැබැයි එහෙමත් නෑ.මොකද ළිං වල ඉන්න මාලු,ගෙම්බෝ වගේ සත්තු තාම ජීවත් වෙනවා.ඒ හින්දා විශක් ශරීර ගත වීමේ අවදානමක් නෑ.
ප්‍රධාන ඇල මාර්ගය තියෙන හින්දා අතිරේක සේදුම් වැඩ වලට පහසුවක්.ඒක අපි අත්විඳින්නේ අපි ඇලට ආසන්නම පදිංචිකරුවෝ හින්දා.හැබැයි ගම ඇතුලේ ඉන්න අය ඉතින් පයින් ගාටන්න ඕනේ ඒකටත්.

දැන් ඔයාලටත් අදහසක් එන්න ඇතිනේ ගමේ වතුර කියන දේ කොච්චර දුශ්කරද කියලා....‍

ඔය අතරේ කට්ටියට මතකද දන්නේ නෑ "රණජයපුර" කියලා රණවිරු ගම්මානයක් විවෘත කරා ඉපලෝගම ප්‍රදේශයේ.ඇත්තටම කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ ඉපලෝගම ඉඳන් කිලෝමීටර 2ක් විතර එහායින් හිරිපිටියාගමට සමීපව.මේක රජයේ ව්‍යාපෘතියක් හින්දා ඒකට නල ජලය,විදුලිය,දුරකථන,අධ්‍යාපන,සෞඛ්‍ය වගේ පහසුකම් ඔක්කෝම ලබා දෙන්න ඕනෙනේ.කොහොමහරි ඔය දේවල් ලබා ගනිද්දී නල ජලය සම්බන්ධයෙන් පොඩි අවුලක් ඇති වුනා.ජල සම්පාදන මණ්ඩලයෙන් කියලා තිබ්බා ඒ අයට රණජයපුරට විතරක් වතුර බෙදා හැරීම පාඩුවක් කියලා.කොහේ නැතත් රණජබ පර්ට වතුර එපැයි.ඒ හින්දා මේ අය ළඟපාත තියෙන ගම් ටික වෙච්ච ඉපලෝගම,හිරිපිටියාගම,කුංචිකුළම හා අපේ ගම වෙච්චි ගංතිරියාගම ‍මේ නළ ජල ව්‍යාපෘතියට ඇද ගත්තා.

අපේ ගමටත් ඉතින් මගුල් ‍වගේ.ඇයි බොලේ බොන්න වතුර ටික එනවා කිව්වම.ගමේ මිනිස්සු සෑහෙන උද්යෝගෙකින් කමිටුවක් එහෙම පිහිටවාගෙන වැඩේට ඕන කරන අරමුදල් එක් රැස් කරලා දුන්නා.

මේ අතරේ රණජයපුර ගැලුම් 250000ක ධාරිතාවයක් තියෙන මහ සද්ධන්ත ටැංකියකුත් හැදුවා.මේ ටැංකියට වතුර ගන්න කළාවැව කිට්ටුව පොම්පාගාරයක් හා පවිත්‍රාගාරයක් ඉදිකරා.පළවෙනි පියවර හැටියට ගමට අවශ්‍ය බට එහෙම එක එක ගමට ගෙනත් දීලා.ඒවා වළලන විදිහ ගැන එහෙමත් කියලා දුන්නා.ඊට පස්සේ මූලික අදයර විදියට රණජයපුරට නළ ජලය ලබා දුන්නා.

ගම් වල මිනිස්සු බට වළලා අදාල පද්ධති ඔක්කෝම සකස් කරලා අදාල පාර්ශව වලට දැනුම් දුන්නා.

දන්නවද මොකක්ද ලැබුණ උත්තරේ කියලා?

දැනට පොම්පාගාරවල තියෙන පොම්පවල ධාරිතාවය මදි.අළුත් පොම්ප සවි කරන්න ‍වෙනවා එතකම් පොඩ්ඩක් කල් ඉන්න වෙනවා.

ඉතින්අපි තාම ගම පුරා ජලය ගෙනියන්න ඕන බට වළලා ඈත තියෙන ළිඳෙන් බොන්න වතුර ගෙනත් බලාගෙන ඉන්නවා.ජල සම්පාදන මණ්ඩලේ වතුර එන කම්.....

අපිට ඇහෙන හැටියට ජල සම්පාද‍න මණඩ‍ලේ දැන් අවුරුදු 2කටත් වඩා අදාල වතුර පොම්ප එනකම් බලාගෙන ඉන්නවා.......

11 comments:

  1. කතා ගොඩක් තියෙන ඒත් කතාවක් නොවෙන සැබෑ ජීවිතය . ලින් වල වතුර ටික හොඳට තිබ්බ නම් ඔය උලව් නල ජලය එනකම් කට අරන් ඉන්න වෙන්නේ නැහැ . අයි මෙහෙම් වුනේ කියල කිසිම පර්යේෂණයක් වුනේ නැද්ද . රජරටත් විශ්ව විද්‍යාලයක් තියෙනවා නේද . මේ වගේ ඉසවු අපේ අධ්‍යාපනයෙන් ගිලිහි යන එක තමයි දුක . ඉස්සර නම් ඕවට ලේ කෝප කර ගත්තා මල්ලි . දැන් නම් ඉතින් ප්‍රර්ථනා කරන්නම් ඉක්මනට පොම්ප ටික ලැබෙන්න කියල

    ReplyDelete
  2. රටක් දියුණු වෙන්න නම් නගර වගේම ගම් වලත් ජීවත් වෙ අයගේ අවශ්‍යතා ගන හොයලා බලන්න ඕනේ. ඒ නිසා මල්ලිලාට වතුර ලබෙන එක නම් ගොඩක්ම වටිනවා. මමත් දවසක් අනුරාධපුරේ ගිහින් වතුර ටිකක් බොන්න ගත්තා. බොන්න බෑ මාරම කිවුලයි.

    ඒ නිසා මේ කරන්න යන වැඩෙන් ගොඩක් අයට ප්‍රයෝජනවත්!!!!

    ReplyDelete
  3. කලින් කමෙන්ට් එක සම්පූර්ණ කරන්න කලින් පබ්ලිශ් උනා.:(
    කොහොමත් රජයෙන් දෙයක් කරන්න යනකොට ඒකට අපි නොහිතනා කාලයක් ගත වෙනවා. ඒකට ඉතින් ඉවසගෙන ඉදලා පෙස්සම් නිර්නාමික ලියුම් එහෙම දාලා ඒ අයව මෝටිවේට් කරන්න වෙනවා.

    ReplyDelete
  4. අනේ මන්දා ඔය වැඩ නම්...කියලා වැඩක නැහැ.අපේ පැත්තේ ඒක පාරට වතුර එන ප්‍රෙෂර් ඒක වැඩි වුනා. .ඒ ප්‍රෙෂර් එක කොච්චර වැඩිද කියනවා නම් අපේ අපේ පැත්තේ ගොඩක් තැන් වල කරාම කැඩිලා ගියා...පස්සේ තමා හේතුව දන්නේ...ඔයාලගේ වගේ එක පැත්තකට බට දාලා...ඒ බට වලට වතුර කනෙක්ෂන් දෙන්න කලින් ප්‍රෙෂර් වැඩි කරලා....පිස්සු හටන්

    ReplyDelete
  5. @බින්දි අක්කා - පරීක්ෂණ නම් කරනවා...මේ දවස්වල කෑගහන්නේ ආසනික් කියලා...අන්න ඒ වගේ බූරු විදිහට තමා පරීක්ෂණ කරන්නේ....විශ්ව විද්‍යාලයක් තිබ්බට අක්කේ අද කීයෙන් කීදෙනාද රටට වැඩක් වෙන පරීක්ෂණ කරන්නේ...උදාහරණයක් විදියට මේ වගේ දෙයක් ගැන හොඳ පරීක්ෂණ කරන්න පුළුවන් හැබැයි මොකාවත් කරන්නේ නෑ...

    @මධුරංග අයියා - අපේ රටේ හැමදාම ගමේ මිනිස්සු මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී විතරයි....මම නගරේ ඉන්න හින්දා ඒක හොඳටම තේරෙනවා.කොයි අතින් බැලුවත් ගමට හැමදාම කැකිරි තමා....නොහිතනා කාලයක් ගතවුනත් ඒ දේවල් ඉශ්ඨ වෙන්නේ අසාමාන්‍ය කාලයක් ගතවුනාට පස්සෙනේ...ඒකයි අවුල...දැන් නම් රජරට දැවැන්ත සංවර්ධනයක් සිද්ධ කරනවා දැයට කිරුළ ලබන අවුරුද්දේ පවත්වන හින්දා.

    @ඩීප්ස් අක්කා - හි හි...බලන්නකෝ ඉතින් කොච්චර අපරාධයක්ද කියලා...ආයේ කරාම සවි කරන්න යන වියදම...අපේ මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම තමා...හදිස්සියට උඩින් පල්ලෙන් අටවලා දාලා යනවා...

    @චතුරංග පෙරේරා - ලංකාවෙම තමා බං...මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නෑ.....

    ReplyDelete
  6. මොනවා කරන්නද බං අපේ රටේ හැටියට ඉල්ලපු ගමන් යමක් බලා පොරොත්තු වෙන්න එපා කවදාවත් . කාලයක් අපටත් ඔය වතුර ප්‍රශ්නේ තිබුනා . මුස්ලිම් ගම්මානෙකට වතුර දුන්නා අපේ ගමට උඩින් බට දාලා ඒත් අපේ ගමට වතුර නෑ . අම්තිමේදී අපේ එවුං බට කැඩුවා . කඩලා වතුර ගත්තා . අන්තිමේදී අපටත් බට ලයින් එකක් ලැබුනා . දැන් ඉතින් දෙයියනේ කියලා වතුර බීලා ඉන්නවා

    උඹලටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  7. අවුරුදු ගානක් දුවන ප්‍රශ්නයක් වෙලත් විසඳුමක් නෑ කියන එක නම් හරිම කනගාටුවක්.. පුලුවන් හැම තැනටම දැනුම් දීලා ගමේ කට්ටියම මේක කොහොම හරි කරගන්න... ඉක්මනට විසඳුමක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  8. කන්ඳ පාමුල වතුර ටැංකි හදලා කන්ඳ උඩ ගෙවල් වලට වතුර ගන්න ව්‍යාපෘති හැදුව රටේ ඕක මොන කජ්ජක්ද මලේ...

    අර ලස්සව සින්දුව කමයි ආයිත් හිතට එන්නේ..

    මේ ර‍ටේ මිනිස්සු...
    තනිකර කෙලින්නේ පිස්සු...

    කොහොම හරි ඉක්මනට වතුර ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
  9. ඔන්න මමත් මකුළු දැලේ පැටලුනා ..

    ReplyDelete
  10. ඕවා නම් කතා කරලා වැඩක් නැහැ. අපේ ගම තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ බියගම ආසනයේ.

    අපේ පාර කාපට් කරන්න පටන් ගන්න උත්සවේ තිබුණේ අප්‍රේල්වල. බැසිල් මහත්තයාගේ නෝනා එහෙම ඇවිත් හරි ඉහළින් වැඩ පටන් ගත්තා.

    පස්සේ පාර දෙපැත්තේ කළුගල් බාලා තිබුනා අගෝස්තු අන්තිම වෙනකම්. පාරේ යන්නත් නැහැ දෙපැත්තේම ගල් බාලා නිසා.

    දැන් වෙලා තියෙන්නේ පාරේ ගල් අතුරලා තියෙනවා තාම කාපට් එක දාලා නැහැ. පාරේ දැන් යන්නත් බැහැ දූවිල්ල. තාම කාපට් එක දාලා නැහැ.

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්වත් දැම්මොත් හොඳයි දාපු ගල් එහෙමත් දැන් හෝදගෙන ගිහින් තියෙන්නේ

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....