Friday, June 17, 2011

යතුරු පැදි ධාවනය-තියරි අනුව හැප්පීම.....


කට්ටිය මං ඊයේ දාපු යතුරු පැදි ධාවනය ගැන කට්ටිය කියවන්න ඇතිනේ. කියෙව්වේ නැත්තම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න... කියවන්න අනිවාර්ය නෑ.

මේක මට මූණ දෙන්න සිද්ධ වෙච්ච දෙවෙනි සිද්ධිය.මේ වෙද්දී මම රියදුරු බලපත්තරේ අරගෙන ඉවරයි.දැන් ඉතින් නීත්‍යානුකූලව වාහන පැදවීමේ අයිතිය තියෙන හින්දා ගම ඇතුලේ මෝටර් සයිකලේ යද්දී හෙල්මට් එකක්වත් දාන්නේ නෑ.අයේ පොලිස් මාමලා ඉන්නව කියලයැ.(ගොන් කමද මෝඩකමද කියලා හිතාගන්න එක ඔයාලට බාරයි....හි...හි....)

අපේ රටේ බයිසිකලේ වගේම ප්‍රසිද්ධ තවත් වාහනයක්නේ ත්‍රී රෝද ර‍ථය.

ඔව් අර ත්‍රීවීල් එක එහෙමත් නැත්තම් වීල් එක කියලා අපි කියන්නේ.

ගොඩක් ත්‍රී රෝද රථ රියදුරන්(පොදු වහරෙන් නම් ත්‍රීවීල්කාරයෝ) හිතාගෙන ඉන්නේ ත්‍රීවීල් එකක් කියන්නේ මේ හමර් එකක් වගේ වාහනයක් කියලා.ඒකනේ මහපාරේ නිකම් වීරයෝ වගේ ඉගිල්ලෙන්න යන්නේ.දන්නේ නෑ කොහේ හරි ඇනු‍නොත් පපඩමක් අල්ලලා පොලොවේ ගැහුවා වගේ කියලා.
(බයිසිකල්කාරයන්ටත් මේක අදාලයි.හැබැයි අප‍රාදේ කියන්න බෑ මට නම් බයිසිකල්කාරයෝ ත්‍රීවීල්කාරයන්ට වඩා හොඳයි.... :) )

මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ බයිසිකල්කාරයෙකුයි ත්‍රීවීල්කාරයෙකුයි.

අපේ ගෙදර ඉදන් ප්‍රධාන පාරට කිලෝමීටරයක් විතර යන්න තියෙනවා.පයින් ඇවිදින්න අපහසු වෙලාවට(ඒ කියන්නෙ මහ දවල් 12ට විතර..කට්ට අවුවේ කුඹුරක් මැදින් පයින් ගාටන්න පුළුවනෑ...) ඉතින් පිහිටට එන්නේ මෝටර් බයිසිකලේ තමා.මංතුමා ගෙදර හිටියොත් ඉතින් රියදුරු රාජකාරිය පංගරාර්තු වෙන්නේ මට.මෙදාත් එහෙම දවසක්.

සෙනසුරාදා දවසක් අප්පච්චි වැඩට ගිහින් දවල් 12ට විතර බස් නැවතුමට ඇවිත් මට කෝල් කරලා කියපි "පුතේ මම බස් ස්ටෑන්ඩ් එකේ.දැන්ම වරෙන් "කියලා.
මටත් ඉතින් බයිසිකලේ පදින්න තියෙන ආසාවට අර ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ තමා අප්පච්චී කෝල් කරන එක.ඔන්න ඉතින් මං තුමාත් බයිසිකලේ නැගලා ස්ටාර්ට් කොරගෙන යන්න පිටත්වුනා.
මං කිව්වනේ ගම ඇතුලෙදි මම හෙල්මට් එකක් දාන්නේ නෑ කියලා.මෙදත් එහෙමම තමා.දැන් ඉතින් මං යනවා.අපේ ගෙවල් ළඟ පාරෙන් ගිහින් ප්‍රධාන පාරට දාන්න කලින් තියෙන අතුරු පාරක මංසන්ධියක් ළඟට මං දැන් ළඟා වුනා.මේ මං සන්ධියේ ස්වරූපය තමා මේ පින්තූරේ පෙන්නලා තියෙන්නේ.(මගේ ගමන් මාර්ගය තමා රතු ඊතල වලින් පෙන්නලා තියෙන්නේ.)
‍මෙතන තියෙන වංගුවේ හැටි පේනවනේ.දෙපැත්තෙන් එන වාහන එකපාර පේනනේ නෑ.ඒක හින්දා සාමාන්‍ය පුරුද්ද තමා හෝන් එකක් එහෙම ගහලා වේගේ අඩු කරලා වංගුව ගන්න එක.
එදත් පුරුදු විදියටම මම ඉතින් ‍මේ වංගුව ළඟට ඇවිත් වේගේ අඩු කරලා වංගුව ගත්තා.
මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මම වංගුව හරවනකොටම පාරේ එක පැත්තක පාපැදිකාරයෙක් අනික් පැත්තේ ත්‍රීවීල්කාරයෙක්.මම අඩු වේගෙන් ගියත් දෙපැත්තෙනා ආපු දෙන්නගේ හැටියට මට මොකුත් කරගන්න දෙයක් නෑ.

බයිසිකල්කාරයා බේරන්න ගියොත් මං නවතින්න‍නේ ත්‍රීවීලරේ ඇතුලේ.

ත්‍රීවීල්කාරයා බේරන්න ගියොත් මම නවතින්නේ බයිසිකල්කාරයගේ ඇඟ උඩ .

හිතා හිතා ඉන්න ගියොත් වෙන්නේ තුන් දෙනාම එකට හැප්පෙන එක.

ඔය වෙලාවෙ මොන මගුලකටද දන්නෑ මට අපේ උසස්‍ පෙළ පන්තියේ වෘත්ත චලිතය පාඩමේ යෙදීමක් මතක්වුනා.

දැන් කට්ටිය බලයි යකෝ මූට ඔල්මාදෙද මේ හැප්පෙන්න යන වෙලේ පාඩම් මතක් කරන්නේ කියලා.

බම්බුව එහෙම මගුලක් නෑ.මට ඒ වෙලාවේ ඒ තියරිය ඔළුවට ආවා.

මෙන්න මේක තමා තියරිය.

අපි වෘත්තාකාර චලිතයක යෙදෙද්දී බලපාන ප්‍රධාන බල දෙකක් තියෙනවා.ඒවා තමා කේන්ද්‍රාපසාරී හා කේන්ද්‍රාභිසාරී බල දෙක.වංගුවක ගමන් කරද්දී(වංගුවක් කියන්නේ වෘත්තාකාර චලිතයක්) අපේ වාහනේ සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය කියන බල දෙකයි,පාරෙන් ඇතිවෙන ඝර්ෂණ බලයයි කියන බල තුනේ සමතුලිතතාවයෙන්.ඒවගේම තමා ​සමතුලිතතාවයට වැදගත් තව සාධකයක් තමා ගුරුත්ව‍ කේනද්‍රයේ පිහිටීම.(ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක් හරි වස්තුවක බර කියන බලය ක්‍රියාත්මක වෙන ස්ථානය.)අපි ඉගන ගෙන තියෙන විදියට වංගුවකදී ඕනම වාහනයක් වංගුව පැත්තට ඇල වෙන්න ඕනේ.නැත්තම් සමතුලිතතාවය පවත්වාගන්න අවශ්‍ය ප්‍රමාණයට ඉස්සෙල්ලා කිව්ව බල තුන සමතුලිත වෙන්නේ නෑ,හබැයි ඕනවට වඩා පාත් වුනොත් ගුරුත්වකේන්ද්‍රයෙන් යෙදෙන බලයේ පිහිටීම වෙනස් වෙලා ඝර්ෂණ බලය බිංදුවක් වෙන්න පුළුවන්.එකපාරම එහෙම වුනොත් ඇතිවෙන බල අසමතුලිතතාව හින්දා කේනද්‍රාපසාරී හා ‍කේන්ද්‍රාභිසාරී බලදෙකේ ප්‍රබලතාවයට අනුව එක්කෝ වංගුව දිහාවට හෝ වංගුවෙන් එළියට විසි වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් කේන්ද්‍රාපසාරී බලය කේන්ද්‍රාභිසාරී බලයට වඩා විශාලයි.ඒ හින්දා තමා ඔය වංගුවලදී වාහන පාරෙන් එළියට එහෙම නැත්තම් වංගුවෙන් එළියට වීසි වෙන්නේ.

මමත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව මතක් වෙච්චි තියරිය එකපාර ඇප්ලයි කරා.වංගුව ගන්නවත් එක්කම බයිසිකලේ පුළුවන් තරම් ඇල කලා.

හිතුවා වගේම බයිසිකලේ ලිස්සුවා.දැන් ඉතින්‍ මම පොළොව දිගේ ඇදිලා යනවා. බයිසිකලෙත් එක්ක..

වැරදි පැත්තෙන් ආපු බයිසිකල්කාරයා කිසි ගේමක් නැතුව පහු කරා.ඌට අඹ මල් රේණුවක තරම්වත් හානියක් නෑ.

ඊළඟට බේරෙන්න ඕනේ ත්‍රීවීල්කාරයගෙන්නේ.දැන් මම ලිස්සගෙන යන හින්දා ගොඩක් වෙලාවට ත්‍රීවීල්කාරයා මගේ ඇඟ උඩින් යන්න ඉඩ තියෙනවා.

දැන් ඉතින් මම කරපු පව් පින් මතක් කරගන්න පටන් ගත්තා.තියරිය ඔළුවට ආවට කරුමෙට පවු පින් මතක් වෙන්නෙත් නෑ.

දඩාහ්...ගාලා එක පාරට බයිසිකලේ ත්‍රීවිලරෙත් වැදිලා පාරේ අනික් පැත්තේ තිබ්බ බෝක්කුවෙත් වැදිලා නැවතුනා.

හැප්පිච්ච පාරට ත්‍රීවීලරේ පාරෙන් පිට පැනලා ඒකත් නැවතුනා....

මුළු සිද්ධිය සිද්ධ වෙන්න විනාඩියක් යන්න ඇති.පලාතම ෆුල් සයිලන්ස්.

මෙන්න එක පාරට
"මොනවද <ටීක්> තෝ කරේ...<ටීක්> <ටීක්> <ටීක්> යකෝ මේකේ අලාබේ ගෙවන්නනේ කව්ද <ටීක්><ටීක්><ටීක්>" කණ පුරවලා මිහිරිම මිහිරි සංගීතයක් ඇහෙන්න ගත්තා.(කට්ටියට තේරුම් ගන්න පුළුවන්නේ මොනවගේ ගායනයක්ද කියලා)

යකෝ දෙන්නෙක්ව බේරන්න ගිහින් හොම්බෙන් ගිය මට මෙන්න එකෙක් බනිනවා.

මම වැටිලා හිටිය තැනින් නැගිට්ටා.බයිසිකලේ කෙලින් කරගත්තා.ඊට පස්සේ මොනවද ආබාධ කියලා හොයන්න පටන් ගත්තා.
මොකක්දෝ පිනකට මගේ ඔළුව බේරිලා තිබ්බා කොහේවත් වදින්නේ නැතුව.වැලමිටේ ගන්න දෙයක් නෑ.සුපිරියටම ලෙලි ගිහින්.කකුල් දෙකත් තරමක් හීරිලා හැබැයි අත තරම්ම නෑ(ඇඳන් හිටපු ඩෙනිමට පින් සිද්ධවෙන්න.) බයිසිකලේ හැඬල් එක ඇද වෙලා.වැටිච්ච පැත්තේ සිග්නල් ලයිට් එකයි කණ්නාඩියයි ඉවරයි.ඒ මදිවට ඉස්සරහා රෝදෙත් හිල් වෙලා.

ආපදා ටික ගණන් බලාගෙන මම ආපහු හැරෙද්දීත් අර කලින් කිව්ව ගීත ගායනය ඇහෙනවා.

බයිසිකලේ කෙලින් කරලා තියලා මම ගියා ත්‍රීවීලරේ ළඟට.අරූ කියවන අතරේ මම බැලුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා.මගේ කලාත්මක හැප්පීම හින්දා ත්‍රීවීලරේටත් අඹ මල් රේණුවක හානියක් නෑ.හැබැයි අරූගේ ගායනේ නවතින්නෙත් නෑ.

බැරිම තැන මම"දැන් මොකටද තමුසේ කෑගහන්නේ?"

ත්‍රීවීල්"බලපිය <ටීක්> තෝ කරපු දේ.දැන් මං කො‍‍‍හොමද මේක හදාගන්නේ."

මම"තමුසෙට හදාගන්න අලාභයක් වෙලා නෑනේ."

ත්‍රීවීල්"මේ බලනවා මේ බෆර් එක කැඩිලා."

එහෙම කියලා මූ පිටිපස්සේ මලකඩකාලා කැඩිලා ගිය බෆර් එකක් පෙන්නලා දැන් මගෙන් ගාන කඩා ගන්න ලෑස්තිය.මට දැන් අම්බානක මල.ඇයි යකෝ වෙච්ච ඔක්කොම අලාබ මට වෙලා තියෙද්දී මේ නරියෙක් මෙතන හූ තියනවා.

මේ අතරේ වටේ පිටේ කට්ටියත් එතෙන්ට ඇවිල්ලා.

අර මම මුලින් කීවේ මගේ අම්මවයි අප්පච්චිවයි ගොඩක් දෙනා දන්නවා කියලා.මගේ වාසනාවට ඒ වෙලේ මේ සිද්ධිය වෙච්ච තැන හිටපු ඔක්කෝම වගේ එහෙම අය.ඒ අතරේ හිටපු ත්‍රීවීල් එළවන අයියා කෙනෙක් ඔතෙන්ට ඇවිත් බැලුවා මොකක්ද අරූ කියන්නේ කියලා.

ඌට වැඩේ තේරුණා.

ඌ ‍‍‍ශේප් එකේ අරූට කතා කරලා"මේ හලෝ නිකම් මෙතන බොරු පාට් දාන්න එපා.මමත් ත්‍රීවීල් එලවන එකෙක්.තමුසේ අතින් කඩා ගත්ත එකට මේ මල්ලිට(ඒ කියන්නේ මට) කෑගහන්න එපා.ඌ ඒ විදියට හැප්පුනේ නැත්තම් තමුසෙගේ ත්‍රීවීල් එකට මීට වඩා අලාබයි.දැන් පාඩුවේ මෙතනින් මාරු වෙයන්"

අරූ මීක් ගාන්නේ නැතුව බලු කුක්කා වගේ එතනින් මාරු වුනා.

මමත් ඉතින් වටේ පිටේ කට්ටියගේ පිහිටාධාර ඇතුව බයිසිකලේ ස්ටාර්ට් කරගෙන අප්පච්චි එනවා කිව්ව බස් හෝල්ට් එකට ගියා.

ඊට පස්සේ ඉතින් දන්නවනේ.අප්පොච්චිගේ ප්‍රතිචාර........නිකම් සිනමන් ගාර්ඩ්න් හෝටලේ ලන්ච් එකක් වගේ.හරිම රසයි.මොනවා කිව්වත් කොල්ලට වෙච්ච ඇබැද්දිය ගැනත් සෑහෙන්න සැලකිල්ලට ලක් කරා....බයිසිකලේට දවස් දෙකක් විතර සාත්තුවක් දෙන්න කියලා ඉහලින් නියෝගයක් ලැබුනා.

ප/ලි - ඔය අතරේ අර මම බේරපු පුශ් බයිසිකල්කාරයා.ඌව බේරන්න ගිහින්නේ මම හැප්පුනේ.ඒකා වචනයක්වත් කියන්නේ නැතුව ශේප් එකේ මාරු.
ඒ කරලා පස්සේ දවසක මම ගම මැදින් වෙන කොහේ හරි යද්දී ළඟ ගෙදරකින් ඔය සිද්ධිය ගැන හිනා වෙවී කතා වෙනවා ඇහෙනවා.මම නැවතිලා බලද්දී ඩයල් එක ස්ටෝරිය රිපෝට් කරනවා.මට අම්බානක මල.මම ගියා ඒ ගෙදරට.ගිහින් හිටපු පිරිස ඉස්සරහා ඇත්තටම උනේ මොකක්ද කියලා සභ්‍ය විදියට ඉදිරිපත් කරා.බයිසිකල්කාරය‍ගේ පටි රෝල්.

යකෝ ඔක්කෝම කටු කාපු මට නෝන්ඩි වෙන්න පුළුවන්ද?

බයිසිකල්කාරයා එදයින් පස්සේ මාත් එක්ක බුදු ෆිට්.

ඒ ව‍ගේම තමා මම එදා සෑහෙන්න ආඩම්බර වුනා මගේ අප්පච්චියි අම්මයි ගැන.ඒ දෙන්න නොහිටියා නම් ගමේ මිනිස්සු මං කවුද කියලා දන්නේ නෑ.එහෙම දැනගෙන හිටියේ නැත්තම් අද මේ කතාව කියන්න මම ඉන්න එකකුත් නෑ.උදව් කරපු ඔක්කෝටම මම බොහොම ස්තූතියි කියනවා.

9 comments:

  1. මාවත් මචං 3 පාරක් බයික් එකෙන් හැප්පිලා තියෙනවා. ඒ 3 පාරම ජීව්තේ බේරුණේ හෙල්මට් එක හින්දා. අන්තිම පාර ෆුල් ෆේස් එකක් දාගෙන හිටියෙ නැත්තම් බිම දිගේ ගිහින්ම මූණෙ පැත්තක් නැතුව යනවා...

    කොච්චර ලඟකට ගියත් හෙල්මට් එක දාගෙන යන්න පුරුදු වෙයන්..

    ReplyDelete
  2. පට්ට තියරියක් නේ ඇප්ලයි කරලා තියෙන්නේ. එලමකිරි නේ. මම නම් බයික් පදින්න දන්නේ නෑ. ඒනිසා ඔහොම අත්දැකීම් නෑ. අම්මෝ ඔහොම අත්දැකීම් ඕනෙත් නෑ.

    මොනා උනත් මල්ලි බේරුන එක නම් හොදයි.

    ReplyDelete
  3. ///.ඒ මදිවට ඉස්සරහා රෝදෙත් හිල් වෙලා./// ඈ බොල මෙච්චර හරියක් වෙලත් කොහොමද යකෝ බයිසිකලේ ස්ටාට් කරගෙන ආපහු ගියේ...?

    මූ නයෙක් අරින්නවත් දන්නේ නෑනේ....

    උඹ බේරුණ එක ලොකු දෙයක් මලේ. යනකොට හෙල්මට් එක දාගෙන පලයං...

    ReplyDelete
  4. යන යන තැන ඈන ගැනීම හා ගෙවල් වලට ගොස් ඈන ගැසීම බොගේ විනෝදාංශද....

    ReplyDelete
  5. @තාරක - මේ සිද්ධියෙන් පස්සේ තමා මම හෙල්මට් එකේ අගේ දැන ගත්තේ... එදා ඉදන් අද වෙනකම් හෙල්මට් දානවා...

    @ මධුරංග අයියා - සිරාවට...මට තේරෙන්නෙත් නෑ මොන කෙහෙල්මලට ඒක මතක් වුනාද කියලා....

    @ප්‍රසන්න89කේ අයියා - නයෙක් නෙමේ අයියා සිරා සිද්ධියක්.ඔය සිද්ධියවෙච්ච තැන ඉඳලා මීටර් 500ක් විතර තියෙනවා ගෙදරට.පට්ට අවුවේ තුවාල පිටින් ඇවිදින්න බැරි කමට බකල් ගගහා බයික් එ‍කේ ආවේ.අප්පච්චිගේ බැනුම් වලට ඒකත් එක හේතුවක්....

    ReplyDelete
  6. යන්තම් බේරිලා වගේ මල්ලී...

    ReplyDelete
  7. ''ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් මා නසී '' කියල කව්ද කිව්වේ ඔය වගේ වැඩ වලට තමයි. ත්‍රී විල් පදින සමහර අය හිතන් ඉන්නේ එක සුපර් සොනික් එකක් කියල . හොඳ අයත් ඇති බව පේනවා ඔයාට උදව් කල කෙනා බැලුවම.

    පාඩමක් ඉගෙන ගත්තනේ. ඔලුව අයිති පොලිසියට නෙමේ තමන්ට. පොලිසියට බයට හෙල්මට් දැමීම තමයි හුඟක් අය කරන්නේ. දැනට අවුරුදු කීපෙකට පෙර අපි එද්දී මෙහෙ අය හෙල්මට් දැම්මේ හරි අඩුවෙන්. පස්සේ නීති තද කලා. ඒත් දාන්නේ ස්ටයිල් එකට නානාප්‍රකාර හැඩති තොප්පි වගේ ඒවා. කොන්ඩ මෝස්‌තර කැත වෙයි කියල බයයි. හැබැයි ලංකාවේ තරම් අධිවේගයෙන් යන්නේ නැහැ. ඒත් අනතුරු නම් අනන්තයි.

    ඔයින්ගියා මදැයි සමහර විට ඔය සුළු දේවල් වලට ලොකු රණ්ඩුත් ඇතිවෙන රටේ. යන්තම් ඉගෙන ගත දෙයක් ප්‍රයෝජනවත් වුනා නේද

    ReplyDelete
  8. හිනා කියන්නෙ එල ස්ටෝරි එක .....
    කොහොමද ආතල් එක බයිසිකලෙන් වැටිලා අතපය හීරුනාම ...

    ReplyDelete
  9. @කිඩෝ - යන යන තැන ඇන ගැනීම වනාහී හදිසි අනතුරකින් සිද්ධ වූවක් වන අතර යන යන තැන ඇන ගැසීම මාගේ විනෝදාංශයක් නොවන බවද කරුණාවෙන් සලකන්න...

    @බෙලෙකා - සිරාවට බං...ස්තූතියි මේ පැත්තට ආවට...

    @බින්දි - හික්ස්....ඉගන ගත්ත දේ මොන හේතුවක් හින්දා මතක් වුනාද දන්නෑ අයියා...වෙලාවටම තමා...ඒකෙන් අනතුර සෑහෙන්න අඩු වුනා.දැන්නම් බයික් එ‍කේ අඩි 10ක් ගියත් හෙල්මට් එක දානවා.....

    @පන්සල් - කියලා වැඩක් නෑ...ඊට වඩා ආතල් පියතුමාගේ දේශනය... :P

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....