Thursday, February 3, 2011

සෙනසුරුගේ අපල කිරීම - II

මුලින්ම විශ්ණු දෙවියෝ සෙනසුරු අපලෙට අහුවුණ හැටි කියෙව්වනේ.....කියෙව්වේ නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්ට......
මේ ‍කොටසේ තියෙන්නේ සෙනසුරු කොහොමද ගණ දෙවියන්ට අපල කළේ කියලා....


විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ.එතුමා ගැන නම් ගොඩක් අය අහලා ඇති....අර පුංචි කාලේ අත්තම්මලා එහෙම කියන්නේ ගණ දෙවියන්ටයි,කතරගම දෙවියන්ටයි කරදිය වළල්ල වටේ දුවන්න කිව්වම කතරගම දෙවියෝ මුහුද වටේ දුවද්දී ගණ දෙවියෝ දේව මන්දිරේ තිබ්බ ලුණු පොල් කට්ට වටේ දිව්ව කියලා.(එතකොට දෙයියෝ කෑමත් උයාගෙන කෑවද කියලා අහන්න ගිහින් අත්තම්මලාගෙන් ඔළුව එහෙමත් අතගා ගන්න අවස්ථාත් තියෙනවා...මොකද දේව මන්දිරේ ලුණු තියාගන්නේ දිය කරලා බොන්නයැ....)..මේ ඉන්නේ ගණ දෙවියෝ...මෙතුමාගේ වැදගත්කම තමා බුද්ධියට අධිපති දෙවියන් වීම.නැත්තම් ඉකින් අර වගේ මොළේ කල්පනා කරලා ලුණු පොල් කට්ට වටේට දුවාවියැ....ඒ හින්දා තමයි පොඩි ළමයින්ට අකුරු කියවද්දී ගණ දෙවියන්ගේ රූපයක් ඉස්රහා ඉඳන් ඒ රාජකාරිය ‍කරන්නේ....තව දෙයක් ගණ දෙවියන්ගේ ශරීරය මනුස්සයෙක් වගේ වුණාට ඇතෙකුගේ හිසක් තමා තියෙන්නේ....

කොහොම හරි අයියට වෙච්ච දේ දැන ගත්ත ගණ දෙවියන්ට ඕනේ වුණා තමන්ටත් හෙනහුරා අපල කරයිද කියලා දැන ගන්න.ගණ දෙවියොත් ගියා සෙනසුරු මුණ ගැහෙන්න...

ගණ දෙවියෝ - "සෙනසුරු,හැබෑද ඔහේ අපල කරනවා කියන්නේ?"

සෙනසුරු - "ඔව්,මං හැමෝටම අපල කරනවා...."

ගණ දෙවියෝ - "දැන් මට කවදටද අපල කරන්නේ?"

සෙනසුරු - (තමන්ගේ අපල කිරීමේ කාල සටහන බලා)"අනිද්දට..."

ගණ දෙවියෝ - "එහෙනම් හෙට දේව සභාව රැස් වෙද්දී ඔහේ ඇවිත් ප්‍රසිද්ධියේ කියන්න හෙට මට අපල කරනවා කියලා.එතකොට හැමෝම දැන ගනීනේ....."

සෙනසුරු - "හරි.හෙට මම කියන්නම්"

මෙහෙම කතාව අහවර කරපු ගණ දෙවියෝ තමන්ගේ භවනට චුත වුනා.....

දැන පහුවදා දේව සභාව රැස් වෙලා පුරුදු සාකාච්ඡා වලින් අනතුරුව විසිර යාමට සූදානම් වෙද්දී සෙනසුරු සභාව ඉදිරියට ඇවිත් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවලු,

"මම හෙට ගණ දෙවියන්ට අපල කරනවා"

ගණ දෙවියොත් ඉදිරියට ඇවිත් කිව්වලු,

"දැන් බැරි වෙලාවත් හෙට ඕක ඔහේට අමතක වුනොත්,ඒ හින්දා අපි නළලේ ඕක සටහන් කරගමු."

අපල කලාට සෙනසුරු බුද්ධියෙන් අඩුයිනේ.අනේ සෙනසුරු නළලේ ලිය ගත්තලු "ගණ දෙවියන්ට අපල කිරීම හෙට"කියලා

ඊට පස්සේ දේව සභාව විසිරී ගියා.....

පහුවදා සෙනසුරු ගණ දෙවියෝ හම්බු වෙන්න යනවා ෆුල් හැපි පිට....ඇයි සෙනසුරුට අනුව ගණ දෙවියන්ට අපල කරන්නේ අද...දෙවියන්ට වුනත් රාජකාරිය දේවකාරිය වගේනේ......
හැබැයි සෙනසුරු යද්දී ගණ දෙවියොත් කිසිගානක් නැතුව සෙනසුරුව පිළි අරන් සංග්‍රහ ආදිය කරලා සෙනසුරුගෙන් ඇහනවා ආපු කාරණේ මොකක්ද කියලා?

ගණ දෙවියෝ - "ඉතින් සෙනසුරු,මොකෝ මේ උදේ පාන්දරම?"

සෙනසුරු - "මම ආවේ අපල කරන්න..."

ගණ දෙවියෝ - "ආහ්! මට මතක නැති වුණානේ....ඊයේ නළලේ කොට ගත්තා නේද දවස....දැන කවදටද අපල කරන්න තියෙන්නේ....."

සෙනසුරු - "හෙට"

ගණ දෙවියෝ - (හිනාවෙලා)"ඒක හොඳයි...එහෙනම් දැන් ගොහින් හෙට එන්න...මටත් රාජකාරී තියෙනවනේ......"

ඔන්න එතකොට තමයි සෙනසුරාට තේරුණේ තමන් ගණ දෙවියන්ගේ ලණුව කෑවා නේද කියලා....දේව වාක්‍ය වෙනස් කරන්න බැරි නිසා කවදා ගියත් ගණ දෙවියන්ට අපල කරන්නේ "හෙට"

මෙන්න මේ හින්දා ගණ දෙවියන්ට විතරක් සෙනසුරු අපල වලින් බේරෙන්න පුළුවන් වුනාලු........

සෙනසුරුගේ අපල කිරීම - I

මේක මම ඉස්කෝලෙ යන කාලෙ අහපු කතන්දරයක්....බාග වෙලාවට කතන්දර උන්නැහේ මේ ගැන ලියලා තියෙනවද දන්නෙත් නෑ.හැබැයි මම නම් උන්නැහේගේ කතා ගො‍ඩේ මේක කතාව ගැන දැක්කේ නෑ....බැරි වෙලාවත් ලියවිලා තියේ නම් සමාව භජනය කරන්න ඕනේ.....(කොහොමත් හොඳ කතාවක් ලිව්වොත් ඉතින් කතන්දර උන්නැහේම තමා.අපිට ඒ අහලටවත් කිට්ටුවෙන්න බෑ....නියම හැකියාවක්....)

මෙන්න මේකයි කතන්දරේ..........

කවුරු කවුරුත් කේන්දරේ ගැන,ග්‍රහචාරේ ගැන අහලා ඇතිනේ.....(පෞද්ගලිකව මම නම් ඕව විශ්වාස කරන්නේ නෑ)දන්නේ නැත්නම් මම කතාවට අදාල වෙන විස්තර ගැන ‍ඇබින්දක් කියන්නම්.....
නක්ෂත්‍රයට අනුව ප්‍රධාන ග්‍රහයෝ නව දෙනෙක් ඉන්නවා.....බුධ,රවි,චන්ද්‍ර,කුජ,රාහු,ගුරු,ශනි,කේතු,සිකුරු (පිළිවෙලනම් හරියට මතක නෑ.)මේ එක එක ග්‍රහයා එක එක රාජකාරි වලට දස්සයේ....උදාහරණයක් විදියට සිකුරු කියන්නේ ආදර සම්බන්ධතා වලට අධිපතියා...ගුරු කියන්නේ මම දන්න තරමින් අධ්‍යාපන කටයුතු ආදියට හේතුවන ග්‍රහයා(වැරදිනම් නිවැරදි කරන්න.මේ ගැන විස්තර "මීදුම" තුලින් කියවන්නකෝ....)....ඔය අතරේ රාහු සහ ශනි (එහෙමත් නැත්තම් සෙනසුරු) කියන්නේ ජීවිතවලට බාල්දි පෙරලන ග්‍රහයෝ දෙන්නා.සරලව කිව්වොත් අපල කරන ග්‍රහයෝ දෙන්නා.කට්ටිය අහලා ඇතිනේ හිටපු ගමන් කියනවා "හිඟන්නගේ පාත්තරේට හෙනහුරා පාත්වුනා වගේ" කියලා....ඒ වගේම ඔය අහක යන තොප්පියක් ඔළුවට වැටුනමත් කියවෙන්නේ "මේ මොන හෙනහුරෙක් ද කඩාපාත් වුණේ කියලා" නෙවැ....ඒකෙන්ම තේරෙනවනේ ශනි,සෙනසුරු එහෙමත් නැත්තම් කට වහරේ එන හෙනහුරා කියන්නේ කොහොම ග්‍රහයෙක්ද කියලා..මේ හැම ග්‍රහයෙක්ම දෙවියෙක් විදියට තමා දේව සංකල්ප වලට අනුව විස්තර කරලා තියෙන්නේ....දැනට ග්‍රහයෝ ගැන ඇති....ආපහු කතාවට හැරෙමු.....


සාමාන්‍ය‍යෙන් දිව්‍ය ලෝකෙත් යම්කිසි පිළිවෙලකට වැඩ කටයුතු සිද්ධ කරන තැනක්.දිව්‍ය ලෝකේ අධිපති දෙවියා විදියට හඳුන්වන්නේ "විශ්ණු" දෙවියෝ(බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්ණුගේ දස අවතාර වලින් එකක් කියනවනේ...)මේ රූපේ ඉන්නේ විශ්ණු දෙවියෝ....දැක්ක ගමන් පේනවනේ ‍තේජවන්තව ඉන්න හැටි...









අවාසනාවටද වාසනාවටද මං දන්නෑ සෙනසුරු(ග්‍රහලෝකේ නෙවේ) ගේ රූපයක් හොයාගන්න බැරි වුනා....කා ළඟ හරි තියෙනව නම් ‍කියන්ටකෝ....

මුලින්ම කීවා වගේ සෙනසුරුගේ ජොබ් එක එහෙම නැත්තම් ඩියුටිය අපල කිරීමනේ....විශ්ණුටත් මේ අපල වලින් බේරෙන්න බැරි වුණාලු....බොසා වුනත් හෙනහුරාගේ හැටි එහෙමයි....එකම හැන්දෙන් තමා බෙදන්නේ(හරියට අපේ ආචාර්ය දුටුගැමුණු වගේ...මිනිහත් එකම හැන‍්දෙන්නේ බෙදනවා කියන්නේ....).
විශ්ණු දෙවියෝ හෙනහුරාගෙන් අහලා දැන ගත්තලු තමන්ට අපල කරන්නේ කවදටද කියලා.කාල සීමාව දැන ගත්තට පස්සේ විශ්ණු හෙනහුරුගේ අපල වලින් බේරෙන්න ඇතෙකුගේ වේශයක් මවාගෙන වනගත වුනාලු, "දැන් හෙනහුරාට මාව හොයාගන්න බෑ කියලා"හිතාගෙන .මේ කැළෑවේ තිබිලා තියෙන්නේ බට ගස්....(බට ගස් කියන්නේ මම හිතන විදිහට උණ ගස් වලට...අර වෙසක් කූඩු හදන්න ගන්නේ....)ඉතින් දිව්‍ය භෝජන අමතක කරලා විශ්ණු දෙවියෝ ඇත් වේශයෙන් බට ගස් වල කොළ කකා අවුරුදු 7ක් (අපල කාල සීමාව) ඉවර වෙන කම් කැළෑ වැදිලා ඉඳලා භවනට සැපත් වුනාලු.විශ්ණු සෑහෙන සතුටින් හිතුවලු සෙනසුරා මට අපල කලේ නෑ කියලා...ඉතින් ආපු කික් එකට විශ්ණු සැපත් වුණාලු සෙනසුරාගේ භවනට.ගිහින් සෙනසුරුට කිව්වලු "කෝ මට අපල කලේ නෑ නේ" කියලා.......
සෙනසුරුත් ටිකක් නෝන්ඩි හිනාවක් දාලා ඇහුවලු "ඇයි හත් අවුරුද්දක් තිස්සේ බට කොළ කෑව මදිද" කියලා....බැලින්නම් විශ්ණුට කරලා තියෙන අපලේ තමා අවුරුදු 7ක් තිස්සේ බට කොළ කන්න සලස්සපු එක.........ඒක හින්දා තමා ඔය කතාවට කියන්නේ "සෙනසුරු අපලේ මහ භයානකයි....විශ්ණු දෙයියන්ටත් හත් අවුරුද්දක් බට කොළ කන්න වුණානේ" කියලා.(තාරා සහෝදරීගේ කවියත් කියවලා බලන්නකෝ)...

~ගණ දෙවියන්ට අපල කල හැටි මීළඟ කොටසින්~