මේ කොටසේ තියෙන්නේ සෙනසුරු කොහොමද ගණ දෙවියන්ට අපල කළේ කියලා....

විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ.එතුමා ගැන නම් ගොඩක් අය අහලා ඇති....අර පුංචි කාලේ අත්තම්මලා එහෙම කියන්නේ ගණ දෙවියන්ටයි,කතරගම දෙවියන්ටයි කරදිය වළල්ල වටේ දුවන්න කිව්වම කතරගම දෙවියෝ මුහුද වටේ දුවද්දී ගණ දෙවියෝ දේව මන්දිරේ තිබ්බ ලුණු පොල් කට්ට වටේ දිව්ව කියලා.(එතකොට දෙයියෝ කෑමත් උයාගෙන කෑවද කියලා අහන්න ගිහින් අත්තම්මලාගෙන් ඔළුව එහෙමත් අතගා ගන්න අවස්ථාත් තියෙනවා...මොකද දේව මන්දිරේ ලුණු තියාගන්නේ දිය කරලා බොන්නයැ....)..මේ ඉන්නේ ගණ දෙවියෝ...මෙතුමාගේ වැදගත්කම තමා බුද්ධියට අධිපති දෙවියන් වීම.නැත්තම් ඉකින් අර වගේ මොළේ කල්පනා කරලා ලුණු පොල් කට්ට වටේට දුවාවියැ....ඒ හින්දා තමයි පොඩි ළමයින්ට අකුරු කියවද්දී ගණ දෙවියන්ගේ රූපයක් ඉස්රහා ඉඳන් ඒ රාජකාරිය කරන්නේ....තව දෙයක් ගණ දෙවියන්ගේ ශරීරය මනුස්සයෙක් වගේ වුණාට ඇතෙකුගේ හිසක් තමා තියෙන්නේ....
කොහොම හරි අයියට වෙච්ච දේ දැන ගත්ත ගණ දෙවියන්ට ඕනේ වුණා තමන්ටත් හෙනහුරා අපල කරයිද කියලා දැන ගන්න.ගණ දෙවියොත් ගියා සෙනසුරු මුණ ගැහෙන්න...
ගණ දෙවියෝ - "සෙනසුරු,හැබෑද ඔහේ අපල කරනවා කියන්නේ?"
සෙනසුරු - "ඔව්,මං හැමෝටම අපල කරනවා...."
ගණ දෙවියෝ - "දැන් මට කවදටද අපල කරන්නේ?"
සෙනසුරු - (තමන්ගේ අපල කිරීමේ කාල සටහන බලා)"අනිද්දට..."
ගණ දෙවියෝ - "එහෙනම් හෙට දේව සභාව රැස් වෙද්දී ඔහේ ඇවිත් ප්රසිද්ධියේ කියන්න හෙට මට අපල කරනවා කියලා.එතකොට හැමෝම දැන ගනීනේ....."
සෙනසුරු - "හරි.හෙට මම කියන්නම්"
මෙහෙම කතාව අහවර කරපු ගණ දෙවියෝ තමන්ගේ භවනට චුත වුනා.....
දැන පහුවදා දේව සභාව රැස් වෙලා පුරුදු සාකාච්ඡා වලින් අනතුරුව විසිර යාමට සූදානම් වෙද්දී සෙනසුරු සභාව ඉදිරියට ඇවිත් විශේෂ ප්රකාශයක් ඉදිරිපත් කරනවලු,
"මම හෙට ගණ දෙවියන්ට අපල කරනවා"
ගණ දෙවියොත් ඉදිරියට ඇවිත් කිව්වලු,
"දැන් බැරි වෙලාවත් හෙට ඕක ඔහේට අමතක වුනොත්,ඒ හින්දා අපි නළලේ ඕක සටහන් කරගමු."
අපල කලාට සෙනසුරු බුද්ධියෙන් අඩුයිනේ.අනේ සෙනසුරු නළලේ ලිය ගත්තලු "ගණ දෙවියන්ට අපල කිරීම හෙට"කියලා
ඊට පස්සේ දේව සභාව විසිරී ගියා.....
පහුවදා සෙනසුරු ගණ දෙවියෝ හම්බු වෙන්න යනවා ෆුල් හැපි පිට....ඇයි සෙනසුරුට අනුව ගණ දෙවියන්ට අපල කරන්නේ අද...දෙවියන්ට වුනත් රාජකාරිය දේවකාරිය වගේනේ......
හැබැයි සෙනසුරු යද්දී ගණ දෙවියොත් කිසිගානක් නැතුව සෙනසුරුව පිළි අරන් සංග්රහ ආදිය කරලා සෙනසුරුගෙන් ඇහනවා ආපු කාරණේ මොකක්ද කියලා?
ගණ දෙවියෝ - "ඉතින් සෙනසුරු,මොකෝ මේ උදේ පාන්දරම?"
සෙනසුරු - "මම ආවේ අපල කරන්න..."
ගණ දෙවියෝ - "ආහ්! මට මතක නැති වුණානේ....ඊයේ නළලේ කොට ගත්තා නේද දවස....දැන කවදටද අපල කරන්න තියෙන්නේ....."
සෙනසුරු - "හෙට"
ගණ දෙවියෝ - (හිනාවෙලා)"ඒක හොඳයි...එහෙනම් දැන් ගොහින් හෙට එන්න...මටත් රාජකාරී තියෙනවනේ......"
ඔන්න එතකොට තමයි සෙනසුරාට තේරුණේ තමන් ගණ දෙවියන්ගේ ලණුව කෑවා නේද කියලා....දේව වාක්ය වෙනස් කරන්න බැරි නිසා කවදා ගියත් ගණ දෙවියන්ට අපල කරන්නේ "හෙට"
මෙන්න මේ හින්දා ගණ දෙවියන්ට විතරක් සෙනසුරු අපල වලින් බේරෙන්න පුළුවන් වුනාලු........