Sunday, September 25, 2011

මම සහ මගේ ඇස් දෙක

ආයුබෝවන් කට්ටියටම.......
මකුළුදැල වියන්න බැරි වුනා සෑහෙන කාලෙකින්....දන්නේ නැද්ද.....ඉතින් ඔය නානාප්‍රාකාර වැඩ රාජකාරි තොගයකින් මගේ දවස් පිරිලා....හුස්ම ගන්නවත් ඉඩක් නෑ.....
වහලා දාලා තිබ්බ විශ්ව විද්‍යාල පද්ධතිය ආපහු විවෘත කරලා(දිගටම එසේම පවතීවා.)ව
විවෘත කරපු ගමන් තිබ්බා හතර වෙනි සමාසිකයේ අවසාන විභාගය.
මගෙ අම්මේ...ඒ වගේ විභාගෙකට නම් මම කවදාවත් ලියලා නෑ...හි හි....පේපර් හරිම සුන්දරයි?මතක් කරන්න කැමති හින්දා ඒක පස්සේ කතා කරමු.
ඊට පස්සේ ඉතින් අපේ අළුත් අධ්‍යයන වර්ෂය ආරම්භ කරා.දැන් අපි තුන්වෙනි අවුරුද්දේ.
ඔය අතරේ මමත් අපේ රේඩියෝවට සැට් උනා.....මගේ හොඳම බස් මිත්‍රයා වෙච්ච සිහින මාර්ගයෙන්.බුකි‍යේ කාලය අඩු කරලා බස් පදින්ට ගියා.දැන් බුකියට යන්නේ පූල් ගහන්නයි...සිටි විලේ සෙල්ලම් කරන්නයි විතරයි වගේ.බස් පැදිල්ල බුකියට වඩා මරු මොකද ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා.අඳුර ගන්න හරි සුන්දර සෙට් එකක් ඉන්නවා.
රේඩියෝවේ වැඩ හින්දා සමහර වෙලාවට නිදා ගන්න කොට රෑ 12යි 1යි....(මගේ කාල කළමණාකරණය හරි හොඳයිනේ....හි හි...)
ඔන්න ඔය වගේ වැඩ හින්දා මකුළු දැල වියන්න වෙලාවක් නෑ.
සාමාන්‍යයෙන් වැඩි කාලයක් බ්ලොග් ලියපු නැති කෙනෙක් ආපහු ලියද්දී කියන දේ තමා "බ්ලොගේ මකුළු දැල් කඩලා දාලා වැඩ පටන් ගත්තා" කියන එක....ඒත් ඉතින් මකුළු දැලේ මකුළු දැල් කඩන්න පුළුවනෑයි....හි හි....ඕන බලමු‍කෝ ඒකෙත් හැටි නේ.....

===============================================================

අද කතාව ටිකක් වෙනස්...සාමාන්‍යයෙන් අපි විවිධාකාර අනතුරු වලට මූහුණපානවානේ.සමහර වෙලාවට හදිසි අනතුරු...සමහර ඒවා අපේ නොසැලකිල්ලෙන්.....සමහර ඒවා අනිත් අයගේ නොසැලකිල්ලෙන්......
කොහොම හරි මෙහෙම අනතුරු වෙද්දී අපේ සමහර ශරීර අංග වැඩි වශයෙන් අනතුරු වලට ලක්වීමේ සම්භාවිතාවය වැඩි.උදාහරණ විදියට සමහරු නිතරම අත් කකුල් තුවාල කරගන්නවා.තවත් අයගේ හිසට අනතුරු සිදුවීම වැඩි
.ඔය බජාර් අයියලගේ එහෙම නම් දත් සැට් එක ගැන කියන්න දෙයක් නැනේ.(හැබැයි අබේපාල මාමා හමුවට ගියත් දත් සැට් එක ඉවරයි....හි හි......)

ඔය වගේ මං තුමා ගොඩක් වෙලාවට අනතුරු වලට මුහුණ දෙන්නේ ඇස් දෙක කේන්ද්‍ර කර‍ගෙන.දැනට නූලෙන් බේරිච්චි අවස්ථා 4යි.පොඩ්ඩක් එහා මෙහා වුනා නම් මගේ ඇස් දෙකම අද වෙද්දී නෑ.

ඇස් දෙකට පළවෙනි අනතුර උනේ මම හය වසරේ ඉන්න කොට.
අපේ කාමරේ දොර වහන්න තියෙන්නේ අර කම්බි මුද්දට දාන කොක්ක.ඔය මුද්ද සෙට් කරලා තියෙන්නේ දොර උළුවස්සට.මම දවසක් තදියමට දුවගෙන එද්දී දොර රෙද්දේ පැටලිලි ගිහින් හැප්පිච්චි උළු වස්සේ.ඔළුව වටේට කැරකෙන්න ඕන හැම එකම කැරකෙනවා වගේ දැනෙද්දී දකුණු පැත්තේ ඇහැ ළඟින් මාර සනීපයක් දැනෙන්න ගත්තා.එහෙමම ගිහින් ඇඳේ හාන්සි උනා.ඔළුවට අයිස් කැට ටිකක් තියාගෙන.මගේ වාසනාවට චූටි අයියා දොස්තර වෙන්ට ඉගන ගන්නවා.(මතක හැටියට පොර හිටියේ අන්තිම අවුරුද්දේ)මිනිහා ඉතින් ආපු ගමන් ටෝච් එකක් අරගෙන ඇහේ පෙනීම පරික්ෂා කරලා අවුලක් නෑ කිව්වා.තව මිලිමීටර දෙකක් තුනක් එහාට උනා නම් ඇහැ ඉවරයි කියලා පොඩි දේශනේකුත් දීලා ගියා.

ඊට පස්සේ අනතුර වුනේ මම 12 වසරේ ඉන්න කොට.ඒ වම් ඇහැට.
මම රෙදි ටික හෝදන්න වොශින් මැශින් එක තියෙන කාමරේට ගියා.ඔය කාමරේ හරහට පොඩි රෙදි වැලක් වගේ එකක් බැඳලා තිබ්බා කම්බියකින්.කාමරේ දොරේ රෙපෙයාර් එකකට ඔය රෙදි වැල එක කොනකින් ගලවලා.ඒකොන පොඩි කොක්කක් වගේ නැමිලා.මම රෙදි ටික මැශින් එකට දාලා හැරුණා විතර අර කම්බි කොන කොයි ලෝකේ ඉඳලද මන්දා මගේ ඇහැ අස්සට වැටුනා.දඟලන්න ගියොත් ඇහැ හිල් වෙනවා.මට ඉතින් ඕවවා කල්පනා වෙනවයැ ඔය වෙලාවට.එක පාරට ඔළුව ගැස්සුනා.එතකොට අර වැටිච්ච කොක්ක තවත් ඇහැ අස්සේ පැටලුනා.දෙවෙනි පාරටත් ඔළුව ගැස්සෙද්දී ඒක එකපාරට ඇහෙන් ගැලවිලා ආවා.මොන මගුලකටවත් බය නැති මම එදා නම් බය උනා.පුරුදු විදියටම අයියට කියලා ඇහේ පෙනීම බලවා ගත්තා.‍එදා නම් නූලෙන් නෙමේ කෙස් ගහෙන් බේරිලා තිබ්බේ.පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඇහේ කාචයම හිල් කරගෙන යනවා අර කම්බිය.

තුන්වෙනි අනතුර වෙද්දී මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ.ඒ අනතුරට මූණ දුන්නෙත් මගේ වම් ඇහැ.අපේ ගෙදර දානයක් දෙන්න කටයුතු සූදානම් කරනවා.හවස් වෙද්දී පාර පැත්තට බල්බ් එකක් දාන්න ඕන හින්දා අප්පච්චි කියපි "අන්න වයර් තියෙනවා.බල්බ් දෙකක් තුනක් දාන්න ලෑස්ති කරන්න" කියලා.මමත් ඉතින් වයර් ටික අමුණලා ප්‍රධාන පාරේ ඉඳලා ගෙදර ළඟට එනකම් වයර් අදිනවා.ඔහොම ඇවිත් ගෙදර ළඟින්ම තියෙන කොහොඹ ගහ මැදින් වයර් එක ගන්න ගහට නැග්ගා.(මේ කාලෙදි කොහොඹ ගස්වල කොළ හැලෙන කාලේ.කෝටු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ගහේ.)ගහට නැගලා වයර් එකත් අරගෙන පැටලුම් ලෙහලා හරියට සෙට් කරලා බහින්න හැදුවා විතරයි.කොහේදෝ පැටලිලා තිබ්බ අත්තක් ඇවිත් කෙලින්ම වැදුනා ඇහැ හරහා.අම්මේ මාර සනීපයි.ඇහැ එකපාර පේන්නේ නැතුව ගියා.දැන් මම ගහ උඩ.කොහොම හරි තනි ඇහෙන් බැස්සා.බැහැපු ගමන් ගිහින් හොඳට ඇහැ හෝදාගත්තා.ඊට පස්සේ යන්නතම් පේන්න ගත්තා.පස්සේ දවසේ ඉස්පිරිතාලෙට ගෙනෙහින් බැලුවාම සුදු ඉංගිරියාවේ හොඳට හීරිච්ච ලකුණක් තියෙනවලු.ඇහේ කාචය නූලෙන් බේරිලා........

හතරෙවෙනි සහ මේ දක්වා අවසාන අනතුර සිද්ධ වුනේ මගේ දකුණු ඇහැට.පහුගියා දවක මම කොළඹ ගිහින් එන ගමන් කෝච්චියෙදි මම ඔළුවේ දාගෙන හිටපු කැප් ‍එක ගලවන්න ගියා.කැප් එක ගලවලා ඔළුවෙන් ගන්නවත් එක්කම සුළැඟිල්ල ගිහින් ඇහේ.ඇඟිල්ලක ඇනුනනට නම් මොකුත් වෙන්නෑ.හැබැයි එදා ඇඟිල්ලේ නියපොත්ත ටිකක් දිගට තිබ්බා.පස්සේ ගෙදර ඇවිල්ලා බලද්දී.කලින් කේස් එකේ වගේමයි.කැළල හිටලා තියෙනවා.ඇහේ කණිනිකාව බේරිලා.

අනේ මන්දා ....එක අතකට මම වාසනාවන්තයි.තාම ඇස්දෙකට මොකුත් වුනේ නැති හින්දා.හැබැයි අනික් අතට ඇස් දෙක සෑහෙන්න පරිස්සම් කරගන්න වෙනවා.මෙහෙම දේවල් වෙද්දී දවසක පොට්ට වෙන්න උනත් අනතුරක් වෙන්න බැරි නෑනේ.... o.O

Wednesday, July 13, 2011

අපේ ගමට පානීය ජලය ලබා දීම......

ලංකාවේ දැනට පානීය ජලය එහෙමත් නැත්තම් ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්.මෙහෙම දිව උලුක් වෙන වචන නැතුව සිංහලෙන් කිව්වොත් වෝටර් ‍‍බෝඩ් එකෙන්.

දැන් හැමෝටම තේරුණානේ.

අපේ ගම තමයි ගංති‍රියාගම.කැකිරාව නගරයේ ඉඳන් එනව නම් B 213 මාර්ගයේ(ඔය උලවු ඉලක්කම‍ හොයාගන්න බැරි නම් ටවුමේ පොරක්ගෙන් අහන්න තලාව පාර මොකක්ද කියලා....හික්ස්) කැකිරාවේ ඉඳන් කි.මී 12ක් විතර තලාව පැත්තට එනකොට වැවක් එක්ක ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙනවා.

විදුලිය,දුරකථන පහසුකම් විතරක් නෙවේ ගමේ ගොඩක් අය නොදන්නවා උනාට ටෙලිකොම් සමාගමේ ADSL සම්බන්ධතාවය පවා අපේ ගමට තියෙනවා.මගේ අවාසනාවට අපේ ගෙවල් ගාවින් දුරකථන රැහැන් ඇදලා නෑ... :( .කුඹුරු ගොවිතැන තමා ප්‍රධාන ජීවනෝපාය.හැබැයි ඊට අමතරව වෙනත් රජයේ රැකියා කරන අයත් ගමේ වාසය කරනවා.

මේ පහසුකම් මොනවා තිබ්බත් ගමට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමා ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය සපයා ගැ‍නීම.

දැන් කට්ටිය මගෙන් අහයි......"ඇයි ගොනෝ ගමේ ලිං එකක්වත් නැද්ද?" කියලා.

‍පොඩ්ඩක් ඉන්නකෝ කතාව කියනකම්.

ගමේ වගා ළිං ඇති පදම් තියෙනවා.විශාලත්වයෙන් අක්කරයක් විතර හෝ ඊට වැඩි ඕනම ඉඩමක වගා ළිඳක් කපලා තියෙනවා.ඊට අමතරව එදිනෙදා පාවිච්චියට වතුර ගන්න පොඩි ළිඳකුත් අනිවාර්යෙන්ම සෑම නිවසකම වගේ තියෙනවා.

දැන් කියවන අයට එන ඊළඟ ප්‍රශ්නේ තමා...."ඉතින් බං එහෙනම් මොන මගුලකටද ජල සම්පාදනෙන් දෙන ජලයක් හොයන්නේ?".....

දැන් මේකනේ කේස් එක.ගොඩක් අය අහලා තියෙනවනේ රජරට පැත්තේ වතුර කිවුලයි කියලා.(විද්‍යාත්මක විදියට කිව්වොත් ජලයේ කඨිනත්වය ඉහලයි.)හැබැයි ඒ කිවුල වතුර පෙරහන් පාවිච්චි කරලා පෙරලා අරන් කිවුල සෑහෙන දුරකට අඩු කරගෙන බොන්න ගන්න පුළුවන්.හෝදන වැඩ වලටත් එච්චරම අවුලක් නෑ.අපේ ගමේ බහුතරයක් ළිං වල වතුර කිවුලයි.මෑතක් වෙන තුරු(ඒ කියන්නේ 2008 මහ කන්නය ඉවර වෙනකම් වගේ) ඒ ළිං වල වතුර පාවිච්චියට අපිට කිසිම අපහසුතාවයක් වුනේ නෑ.
හැබැයි 2008 වර්ෂා කාලය ඉවර වෙනවත් එකක්ම තත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.මොන හේතුවක් හින්දද දන්නෑ ළිං කීපයක(අපේ වත්තේ ළිඳත් ඇතුළුව) වතුර කටේ තියන්න බැරි අමුතු රහක් එන්න පටන් ගත්තා.නිකම් මළකඩ දියකරලා ගත්ත වතුර වගේ.කඨිනත්වය එහෙමත් නැත්තම් කිවුල ප්‍රතිශතය 70%ක් 80ත් විතර.සබන් එහෙම හෝදන්න බෑ.කැටිවෙනවා.මේ ළිං අතරින් සමහර ඒවා අවුරුදු 50ක් 60ක් විතර පරණ ළිං.කොහොමහරි ඒ වැස්සෙන් පටන් ගත්ත වතුර අප්‍රසන්න වීම මේ වෙද්දී(2011) සෑහෙන ලිං ප්‍රමාණයක් ආක්‍රමණය කරලා ඉවරයි.
ගමේ මිනිස්සු බොන්න වතුර ගේන්නේ කිලෝමීටරයක් විතර එහායින් තියෙන පොදු ළිඳකින්.ලීටර් 10ක විතර බූලියකට වතුර එකක් ගෙනාවම සාමාන්‍යයෙන් දවස් 2කට බොන්න ඇති.අකමැත්තෙන් වුනත් සේදුම් වැඩවලට ළිං වල වතුර පාවිච්චි කරන්න වෙනවා.
අපි මුලින් හිතුවේ ළිං වතුරේ විසක්වත් තියෙනවද කියලා.හැබැයි එහෙමත් නෑ.මොකද ළිං වල ඉන්න මාලු,ගෙම්බෝ වගේ සත්තු තාම ජීවත් වෙනවා.ඒ හින්දා විශක් ශරීර ගත වීමේ අවදානමක් නෑ.
ප්‍රධාන ඇල මාර්ගය තියෙන හින්දා අතිරේක සේදුම් වැඩ වලට පහසුවක්.ඒක අපි අත්විඳින්නේ අපි ඇලට ආසන්නම පදිංචිකරුවෝ හින්දා.හැබැයි ගම ඇතුලේ ඉන්න අය ඉතින් පයින් ගාටන්න ඕනේ ඒකටත්.

දැන් ඔයාලටත් අදහසක් එන්න ඇතිනේ ගමේ වතුර කියන දේ කොච්චර දුශ්කරද කියලා....‍

ඔය අතරේ කට්ටියට මතකද දන්නේ නෑ "රණජයපුර" කියලා රණවිරු ගම්මානයක් විවෘත කරා ඉපලෝගම ප්‍රදේශයේ.ඇත්තටම කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ ඉපලෝගම ඉඳන් කිලෝමීටර 2ක් විතර එහායින් හිරිපිටියාගමට සමීපව.මේක රජයේ ව්‍යාපෘතියක් හින්දා ඒකට නල ජලය,විදුලිය,දුරකථන,අධ්‍යාපන,සෞඛ්‍ය වගේ පහසුකම් ඔක්කෝම ලබා දෙන්න ඕනෙනේ.කොහොමහරි ඔය දේවල් ලබා ගනිද්දී නල ජලය සම්බන්ධයෙන් පොඩි අවුලක් ඇති වුනා.ජල සම්පාදන මණ්ඩලයෙන් කියලා තිබ්බා ඒ අයට රණජයපුරට විතරක් වතුර බෙදා හැරීම පාඩුවක් කියලා.කොහේ නැතත් රණජබ පර්ට වතුර එපැයි.ඒ හින්දා මේ අය ළඟපාත තියෙන ගම් ටික වෙච්ච ඉපලෝගම,හිරිපිටියාගම,කුංචිකුළම හා අපේ ගම වෙච්චි ගංතිරියාගම ‍මේ නළ ජල ව්‍යාපෘතියට ඇද ගත්තා.

අපේ ගමටත් ඉතින් මගුල් ‍වගේ.ඇයි බොලේ බොන්න වතුර ටික එනවා කිව්වම.ගමේ මිනිස්සු සෑහෙන උද්යෝගෙකින් කමිටුවක් එහෙම පිහිටවාගෙන වැඩේට ඕන කරන අරමුදල් එක් රැස් කරලා දුන්නා.

මේ අතරේ රණජයපුර ගැලුම් 250000ක ධාරිතාවයක් තියෙන මහ සද්ධන්ත ටැංකියකුත් හැදුවා.මේ ටැංකියට වතුර ගන්න කළාවැව කිට්ටුව පොම්පාගාරයක් හා පවිත්‍රාගාරයක් ඉදිකරා.පළවෙනි පියවර හැටියට ගමට අවශ්‍ය බට එහෙම එක එක ගමට ගෙනත් දීලා.ඒවා වළලන විදිහ ගැන එහෙමත් කියලා දුන්නා.ඊට පස්සේ මූලික අදයර විදියට රණජයපුරට නළ ජලය ලබා දුන්නා.

ගම් වල මිනිස්සු බට වළලා අදාල පද්ධති ඔක්කෝම සකස් කරලා අදාල පාර්ශව වලට දැනුම් දුන්නා.

දන්නවද මොකක්ද ලැබුණ උත්තරේ කියලා?

දැනට පොම්පාගාරවල තියෙන පොම්පවල ධාරිතාවය මදි.අළුත් පොම්ප සවි කරන්න ‍වෙනවා එතකම් පොඩ්ඩක් කල් ඉන්න වෙනවා.

ඉතින්අපි තාම ගම පුරා ජලය ගෙනියන්න ඕන බට වළලා ඈත තියෙන ළිඳෙන් බොන්න වතුර ගෙනත් බලාගෙන ඉන්නවා.ජල සම්පාදන මණ්ඩලේ වතුර එන කම්.....

අපිට ඇහෙන හැටියට ජල සම්පාද‍න මණඩ‍ලේ දැන් අවුරුදු 2කටත් වඩා අදාල වතුර පොම්ප එනකම් බලාගෙන ඉන්නවා.......

Sunday, July 3, 2011

වරද කාගෙද?

මේ දවස් වල නිවාඩු පාඩුවේ කාලය ගත කරන හින්දා මං තුමා ලැබෙන හැම වෙලේම ගෙදර බලා පිටත්ව යනවා.(අපේ ආචාර්යවරුන්ට පිංසිද්ධ වෙන්ට තාම අපිට නිවාඩු)

ගෙදර යනවා කියන එකත් ඉතින් රු 300 කට විතර තට්ටු වෙන වැඩක්.බස් එකට(මහනුවර සිට ඉපලෝගමට) යන්නයි එන්නයි 200යි(දැන් 230යි බස් ගාස්තු වැඩි කලානේ.).ඔය අතරෙ ගෙදර බහිරවයා වගේ මගේ එක කුස උපන් සහෝදරයා බලාගෙන ඉන්නේ මං මොනවද අරන් එන්නේ කියලා.ඉතින් හිස් අතින් ගෙදර යන්නයැ තව 100කට විතර කෙල වෙනවා.

ඔහොම ගිහිල්ලත් දවස් 3ක් විතර හිටියම මෙන්න ලොකු අම්මගෙන් පණිවිඩයක් එනවා "අනේ පුතේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා සෙනසුරාදා දිහාට එන්න පුළුවන්ද " කියලා.
ඉතින් බෑ කියන්නයෑ.(මේක මගේ තියෙන ලක්ෂණයක්,හරිද වැරදිද කියන්න මම දන්නෑ.ඒක තමා මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මං නෑ,බෑ කියන්නෙම නැති තරම්.මට ඇති පදම් කෙළ වෙලත් තියෙනවා.හැබැයි තාම මං උදව්වක් ඉල්ලන ඕන එකෙක්ට ඒ උදව්ව කරනවා.)ඔන්න මගේ බෑග් මල්ලත් කරේ එල්ලගෙන බස් එ‍කට නගිනවා නුවර එන්න.

සාමාන්‍යයෙන් මම නගින බස් නැවතුම්පල(කෝනපතිරා‍ව) හරියට එද්දී බස් එක සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ(අනුරාධපුරේ ඉඳන් එන බස් එකක්නේ.).පිරිලා කියන්නේ සීට් ගානට මිනිස්සු ඉන්නවා.ඉතින් වාඩිවෙන්න සීට් එකක් හම්බුවෙන්නේ කැකිරාව බස් නැවතුමේදී හෝ ඒ ළඟ පාතදී තමා.විනාඩි 15ක් 20ක් හිටගෙන යන්න වෙනවා.

දැන් ඉතින් ත්‍රස්තවාදී තර්ජන එහෙම නැති හින්දා බස් වල රාක්ක වල ගමන් මළු තැබීමට තහනමක් නෑනේ.ඒ හින්දා ආසනයක් ලැබෙන කම් මමත් මගේ බෑග් එක ඔය රාක්කෙට දානවා.ඒ කරලා වාඩි වෙච්ච ගමන් බෑග් එක අතට ගන්නවා.‍සාමාන්‍යයෙන් බෑග් එක එහෙම රාක්කෙකට දානකොට රාක්කේ ගරාදි අස්සෙන් බෑග් එකේ එල්ලගෙන යන පටිය දෙපාරක් විතර මම අඹරලා දානවා හදිස්සියකදී රාක්කෙන් නොවැටෙන විදියට.මොකද වැටුනොත් පල්ලෙහා ඉඳගෙන ඉන්න එකාගේ ඔළුව ඉවරයිනේ.

කොහොමහරි ඊයෙත් මම ඔය කියන විදියට එන්න ගෙදර එන්න පිටත්වුනා.සුපුරුදු විදියටම මට ඉඳගන්න ආසනයක් තිබ්බේ නැති හින්දා බෑග් එක බස් එකේ රාක්කෙට දාලා මම හිටගෙන යනවා දැන්.

සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ පැති වල බස් රථ යන්නේ හරිම හිමින්.සාමාන්‍ය වේගය පැ.කි.මී 60ක් 70ක් විතර.හරිම සෞම්‍ය විදියට තමා වංගු ගන්නේ.වැඩිම උනොත් රෝද බස් එකේ තට්ටුවේ ගෑවෙනවා.ඉඳගෙන ඉන්න අය සීට් වලින් විසි වෙලා යනවා.කවදාවත් ඉස්සරහින් යන වාහන ඉස්සර කරන්න යන්නෑ.මොකද ඒ වාහන නවත්තලා බස් එකට යන්න ඉඩ දෙන හින්දා.හරිම විනීත රියදුරු මහත්වරු තමා මේ දුර ගමන් සේවා වල ඉන්නේ.ඉතින් ඔහොම යන බස් රථයක රාක්ක වල බඩු භාණ්ඩ තියද්දී සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ.‍කොයි වෙලේ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.

සාමාන්‍යයෙන් මගේ බෑග් එකේ අන්තර්ගතය වෙන්නේ මගේ writing pad එකයි(හෝ නෝට් එකක්),කැල්ක්‍යුලේටරයයි,කියවන කතා පොතයි,කුඩෙයි වතුර බෝතලයයි.කැමරාවයි.බර අනුව ගත්තොත් වැඩිම වුනොත් ග්‍රෑම් 600ක් 700ක් විතර වෙයි.ඊයේ මං බස් එකේ එද්දී තිබ්බෙත් ඔය ටික විතරයි.

පුරුදු විදයට බෑග් එක රාක්කේ තියල තියෙනවා.

බස් එකත් විනීත විදියට යනවා.

එකපාරටම ඒ විනිත විදයට ගිය බස් එක වංගුවක් ගත්තා....මගේ බෑග් එක රූටලා ඇවිත් පහල හිටිය ඇන්ටිගේ ඔළුව උඩ....

ඒ ඇන්ටි එක පාරටම ඔළුව අල්ල ගත්තා.....

මං හිතුවා හරි ඔළුව පැලුණවත්ද දන්නෑ කියලා.මමත් බෑග් එක අරගෙන "අනේ සොරි ඇන්ටි හිතලා කරපු දෙයක් ‍නෙමේ" කියලා සමාව භජනය කලා.බෑග් එක අරන් උඩින් තිබ්බා.

ඇන්ටි (ඔළුව අතගාන එක නවත්තලා)"කාගෙද මේ බෑග් එක?"

මම"මගේ ඇන්ටි වෙච්ච දේට සොරි මං හිතලා කරපු දෙයක් නෙවේනේ."

ඇන්ටි "ඒ වුනාට තමුන් දැන ගන්න ඕනේ රාක්කෙකින් තියද්දී වැටෙන් නැතිවෙන්න තියන්න."

මම "මම බෑග් එක වැටෙන විදියට තිබ්බේ නෑ ඇන්ටි...ඒක වැටෙන එක නවත්තන්න බෑග් එකේ පටි දෙකත් ඒ රෙල් අස්සෙන් අඹරලා දාලා තිබ්බේ.මේ වංගුව ගත්ත විදියට බෑග් එක ලිස්සලා ආවේ."

ඇන්ටි කතාව නවත්තන්නේ නෑ.දිගටම මට බනිනවා මං හිතලා බෑග් එකෙන් දමලා ඇරියා වගේ.මම ඉතින් උපරිම ඉවසීමෙන් හිටියා.වැරද්ද මගේ නොවුනත් සමහර තැන් වල බලු වෙන්න වෙනවනේ.

ඊට පස්සේ ඇන්ටි දාගෙන හිටිය කණ්නාඩිය ගලවලා ගත්තා.

කෙළියලුනේ තාප්පෙටම.මෙන්න බොලේ කණ්නාඩියේ එක ලෙන්ස් එකක් නෑ.දැක්ක විදියට හිතුවේ ඒක ගැලවිලා වැටිලා වගේ කියලා.පස්සේ බැලින්නම් කණ්නාඩියේ රාමුව කැඩිලා.ලෙන්ස් එක වැටිලා.(හැබැයි ඔළුවට වැටිච්ච බෑග් එකක් හින්දා ඇස් කණ්නාඩි රාමුවක නහය හරියට සම්බන්ධ වෙන කෑල්ල කැඩිලා යන එකත් ටිකක් අමුතුයි.)කොහොම හරි බැනුම ඩබල් ට්‍රිබල් ක්වඩ්‍රෘපල් වෙලා දැන්.

සාමාන්‍යයෙන් ඔහොම සිද්ධියක් වුනාම වටේ අයත් චූන් වෙනවනේ.ළඟ හිටිය හැට පැනපු ඇන්ටි කෙනෙකුත් දැන් බැනුමට හවුල්.

මම ඉතින් මගේ පැත්‍‍තෙන් වෙලාවේ හැටියට කරන්න පුළුවන් උපරිම දේ වෙච්චි සමාව ඉල්ලීම කරනවා.

ඒ අතරේ ඇන්ටි කියනවා"පුතා මම ලෙඩෙක් ඒ හින්දා තමා මේ කන්නාඩි දාන්නේ.මට මේක නැතුව පේන්නේ නෑ කියලා"(ඉතින් බොලේ ඕන මී හරකෙකුට තේරෙනවනේ කණ්නාඩි දාන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හින්දා කියලා).මොනවා උනත් මනුස්සකමක් තියෙන හින්දා මම ඒ වෙලේම හිතුවා පුළුවන් විදියට උදව්වක් කරන්නම් කියලා.

ඔය අතරේ මම ඒ කැඩිච්ච කණ්නාඩි රාමුව දැක්කා.දැක්ක ගමන්ම ‍තේරුණා මේක කලින් කැඩිලා තිබ්බ එකක් කියලා.හැබැයි ඉතින් ඒක ඒ වෙලේ කියන්න පුළුවනැයි.කෑගැහිල්ල තව දික් වෙන එක විතරයිනේ වෙන්නේ.

මට පොඩි කළකිරීමකුත් ඇතිවුනා.මොකද කරදරයක් වුනාම හැම මනුස්සයාම අවස්ථාවාදීව හැසිරෙන හින්දා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.මගේ අතින් තව 2000කට විතර කෙලවෙන්න යන්නේ.

අන්තිමේදී මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා මේ වගේ සිද්ධියකදී ඇත්තටම වැරදි කව්ද?

====================================================

ප/ලි - කවුරු හරි දන්නව නම් මට Gold Plated කාන්තා ඇස් කණ්නාඩි රාමුවක ගණන් හිලවු පොඩ්ඩක් කියනවද?

Saturday, June 25, 2011

පාසල හා විශ්ව විද්‍යාලය


පාසල ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සිටින තැනකි.
වි.වි ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සිටින තැනකි.

පාසැලේ විවිධ ශ්‍රේණි ඇති අතර එක් එක් ශ්‍රේණිය පංති වලට වෙන් කර ඇත.
වි.වි ඉගන ගන්නා විශයට අදාලව විවිධ පීඨ ඇති අතර ඒවා දෙපාර්තමේන්තු වශයෙන් වෙන් කර ඇත.

රටේම පාසල් වල ඒ ඒ ශ්‍රේණියට අදාලව ඉගැන්විය යුතු පොදු විශය නිර්දේශයක් ඇත.
එකම විශයධාරාවන් ඉගන ගත්තද විශය නිර්දේශය උගන්වන ආචාර්යවරයාමත රඳා පවතී.

පාසලකදී ගුරුවරු ශිෂ්‍යයන්ට උගන්වති.
වි.වි ආචාර්යවරු ශිෂ්‍යයන්ට දේශන පවත්වති.
(ඉගන ගැනීම ශිෂ්‍යයා සතු වගකීමකි.)

පාසල් "වාර" ක්‍රමයක් ඇති අතර පාසල් වාරයක් අවම වශයෙන් මාස 3කි.වසරකට පාසල් වාර 3කි.
විශ්ව විද්‍යාලයක අධ්‍යයනවාර අදාල විශ්ව විද්‍යාල අනුව වෙනස්වේ(ඇතැම් ඒවායේ සමාසික අධ්‍යයනන වාරත්(මාස 6ක අධ්‍යයන වාර) ඇතැම් ඒවායේ වාර්ශික අධ්‍යයන වාරත්(පාසල් වාර ක්‍රමය ලෙසින්) ක්‍රියාත්මකවේ.)අවම වශයෙන් සමාසික වාර දෙකක් එක් අධ්‍යයන වර්ශයකි.

වසරකට පාසල් නිවාඩු වාර තුනකි.ඒවා සති දෙකක වාරයක් සහ මාසයක් බැගින් වූ වාර දෙකකින් සමන්විත වේ.
විශ්ව විද්‍යාලය අනුව නිවාඩු වාර ගණන තීරණය වේ.

පොදුවේ පාසැල් නිවාඩුව සමස්ථ ලංකාවටම(මුස්ලිම් සිසුන්ට හැර) එකට ලබාදෙයි.
ලංකාවේම විශ්ව විද්‍යාල සිසුන්හට එකට නිවාඩු ලැබෙන්නේ සිංහල හින්දු අළුත් අවුරුද්දට හා නත්තලට පමණි.

දෛනික පාසැල් අධ්‍යයන කාලය පැය 6කි.
දෛනික විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය සීමාවක් නැත.ඇතැම් දින වල පැය 9ක්ද නැතිනම් පැය 4ක්ද ලෙස විචලනය විය හැක.

පාසැලක උපරිම විවේක කාල දෙකකි.
විශ්ව විද්‍යාලයක විවේක කාල තුනකි.

පාසැලක කාල සටහනක් අනුව වැඩ කරයි.(කාලඡේදයක් විනාඩි 40ක් වන අතර දිනකට කාල‍ඡේද 8ක් ඇති අතර 8ම පිරී පවතී.)
විශ්ව විද්‍යාලයද කාල සටහනකට අනුව කටයුතු කරන නමුත් පොදු කාලසටහනක් නොමැති අතර අදාල අධ්‍යයන අංශය හා දෙපාර්තමේන්තුව වශයෙන් කාල සටහන් වෙනස්වේ.(කාලඡේද වෙනුවට දේශනවාර ඇති අතර එය විනාඩි 55කි)

පාසැලක දිනකට එක් වතාවක් පමණක් නාමලේඛන ලකුණු කරයි.
විශ්ව විද්‍යාලයක දෛනිකව සෑම දේශනවාරයකදීම පැමිණීම සටහන් කළ යුතුය(අත්සන් ගැසීමට කොළයක් එවන හෙයින් තමා නොපැමිණ අත්සන පමණක් එවීම වුවද ප්‍රමාණවත් වේ.
සැ.යු-1.අත්සන් මාට්ටු වීමේ වගකීම අයිතිකරු සතුවේ.
2.අදාල ආචාර්යවරයා අනුව මේ ක්‍රියාවලිය වෙනස් විය හැක.).

පාසැල් පුස්තකාලය - "කැමතිනම් කියවපිය නැත්නම් නිකම් හිටපිය"කාලය ඉක්මවා පොත් නැවත බාර දීමේදී දඩ මුදල් අයකිරීමක් සිදුනොවේ.(සිද්ධවෙච්ච තැනක් තියෙනව නම් පොඩ්ඩක් කියන්න.)
විශ්ව විද්‍යාලය - අකමැත්තෙන් වුවත් පරිශිලනය කිරීමට සිදුවේ.අදාල නීති රෙගුලාසි ඒ ආකාරයට ක්‍රියාත්මකවේ(උදා-රු.5/= වුවත් දඩ මුදල අය කෙරේ.)

පාසැල 80%ක පැමිණීමක් අනිවාර්යයැයි පැවසුවද කිසිදිනක එය ගණනය කරන බවක් අසා නොමැති අතර එනිසා සිසුන් පාසල් වලින් නෙරපූ බවක් හෝ විභාගවල පෙනී සිටීමට ඉඩ නොදුන් බවක් සඳහන් නොවේ.
විශ්ව විද්‍යාලයවල සෑම විශයකටම 80% සහභාගීත්වය අනිවාර්යවේ.නොඑසේනම් එම විශයට අදාල විභාග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව නොලැබේ(අදාල විශය භාර ආචාර්යවරයා අනුව තත්වය වෙනස් විය හැක.)

පාසැලකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් නැත.(අ.පො.ස සා/පෙ හා උ/පෙ හැර)
විශ්ව විද්‍යාලයකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් ඇත.

පාසැලකදී එක් එක් වාර විභාග හෝ ශ්‍රේණි විභාග අසමත් වීම ඊළඟ වසරට හෝ ඒ වසරේ විශයන්ට බලපෑමක් නොකරයි.
විශ්ව විද්‍යාලයේදී එක් වසරක විශයන් අසමත් වීම ඊළඟ වසරේ ඇතැම් විශයන් හැදෑරීමේ අවස්ථාව අහිමි කරයි.එවිට නැවත අසමත් වූ විශයන් සමත්විය යුතුය(මෙය විභාග ඇණ ගැනීම සහ රිපීට් වීම ලෙස හඳුන්වයි.)

පාසැලකදී පවත්වනු ලබන විභාග අතරින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පාසල් ශිෂ්‍යයකුගේ ශිෂ්‍ය ජීවිතයේ වැදගත් විභාග වේ.
විශ්ව විද්‍යාලයකදී පවත්වනු ලබන සෑම විභාගයක්ම එක ලෙස වැදගත්වේ.

පාසැල් විභාග වල ලකුණු කිසි විටක පාසැලින් ඉවත්ව යන විට සැලකිල්ලට ලක් නොවේ.
විශ්ව විද්‍යාල විභාග සියල්ලගේම ලකුණු ඉවත්ව යන විට අතිශය වැදගත්වේ.

පාසැලෙන් ඉවත්ව යන විට කිසිදු විශේෂ සාමාර්ථයක් ලබානොදේ.ලබා දෙන්නේ අ.පො.ස සා/පෙ හා උ/පෙ ප්‍රතිඵල සටහන් පමණි.
විශ්ව විද්‍යාලයෙන් පිටව යන විට පංති සාමාර්ථයක් හා උපාධි සහතිකයක් ලබාදේ.

පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙන නමුත් මුදල් ගෙවා ටියුශන් යාමේ කලාවක් ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය 100%ක් නොමිලේ ලබා දෙන අතර නොතේරුණ විශය කරුණු තේරුම් ගැනීමට ‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් "කුප්පි" දමා ගත හැකිය.

පාසැලක ඉහල ශ්‍රේණි වල ඉගෙනුම ලබන අයියලා අක්කලා පාසැලෙන් ඉවත් වන තුරුම අයියලා හා අක්කලා වේ.
විශ්ව විද්‍යාලවල ඉහල වසර වල ඉගෙනුම ලබන අයියලා අක්කලා මුල් මාස කීපයකට ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් වන අතර පසුව නැවත අයියලා අක්කලා වේ.

පාසැලකදී ගුරුවරුන් විසින් අවශ්‍ය දැනුම් දීම් සිදුකරනු ලැබේ.
විශ්ව විද්‍යාලයකදී දැන්වීම් පුවරු මගින් අදාල දැනුම් දීම් සිදු කෙරේ.

පාසලකදී ඕනෑ තරම් විශය බාහිර ක්‍රියාකාරකම් වල නියැලීමට අවකාශ තිබුණද අධ්‍යාපයනය‍ට පමණක් මූලික අවධානය යොමු කර විශය බාහිර ක්‍රියාකාරකම් අත් හැර දමයි.
විශ්ව විද්‍යාලයකදී , පාසලේදී විශය බාහිර ක්‍රියාකාරකම් සිදු නොකල අය පවා එවන් දේ සිදුකිරීමට පෙළඹේ.

පාසැල් කාලය තුලදී සිසුවෙක් "පාසල් ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වනු ලබන අතර පාසැල් හැර යාමෙන් පසු විශේෂ නමකින් හඳුන්වනු නො‍ලැබේ.
විශ්ව විද්‍යාලය කාලය තුලදී සිසුවෙක් "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වන අතර විශ්ව විද්‍යාලයෙන් ඉවත්වූ පසු "උපාධිධරයෙක්" ලෙස හඳුන්වයි.

පාසැලකදී පහසුකම් ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්ගෙන් කිසිවක් ආපසු ලබා නොගනී.
විශ්ව විද්‍යාල‍යේදී අධ්‍යයන ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්වෙත නිකුත් කර ඇති හැඳුනුම්පත්,පුස්තකාල අවසර පත්, වැනිදේ අනිවාර්යෙන්ම ලබා දිය යුතු අතර නැතහොත් උපාධි සහතිකය වාරණය කෙරේ.

පාසල් සිසුන්, වැඩ වර්ජන,උද්ඝෝෂණ සිදුනොකලත් ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිදු කරති.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,අචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල යන මුළු පිරිසම අඩු වැඩි වශයෙන් උද්ඝෝෂණ වල නියැලෙති.
(මේ නිසා අතිරේක නිවාඩු වාර හිමිවේ.ඒවාට අනුව අනෙක් නිවාඩු කප්පාදු කෙරේ.)

පාසැල් අධ්‍යයන කාලය උපරිම වසර 13ක් වන අතර එය විවිධ හේතූන් මත විචලනය වීම ඉතාම අඩුය.(උපරිම මාසයක් පමණවේ.)
විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය අදාල උපාධිය අනුව 3ක් 4ක් 5ක් විය හැකි නමුත් එය විචලනය වීමේ කාල සීමාවක් කිව නොහැක(සතියක සිට වසරක් පමණ වුවද විය හැක.)

පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු සුදුසුකම් අනුව විශ්ව විද්‍යාලයකට ඇතුල් විය හැකිය.
විශ්ව විද්‍යාල අධාපනය ලැබීමෙන් පසු යායුතු ස්ථිර තැනක් නොමැත.(මහ පාරේ සිට සීත කාමරයක් සැප පහසු රැකියාවක් දක්වා පුළුල් පරාසයක් ඇත.)

=====================================================
*හුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි........
**දැනට විශ්ව විද්‍යාලයට ගිහින් ඉන්න අය තව අදහස් දෙන්න.කියවන හැමෝමත් මොනවා හරි පහලින් වියලා යන්න
***යන්න ඉන්න අය මේක දැකලා බයවෙන්න එපා....විශ්ව විද්‍යාලයක් ඇතුලේ ඇත්තමට කිව්වොත් හරිම විනෝදයි..... :)

Friday, June 17, 2011

යතුරු පැදි ධාවනය-තියරි අනුව හැප්පීම.....


කට්ටිය මං ඊයේ දාපු යතුරු පැදි ධාවනය ගැන කට්ටිය කියවන්න ඇතිනේ. කියෙව්වේ නැත්තම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න... කියවන්න අනිවාර්ය නෑ.

මේක මට මූණ දෙන්න සිද්ධ වෙච්ච දෙවෙනි සිද්ධිය.මේ වෙද්දී මම රියදුරු බලපත්තරේ අරගෙන ඉවරයි.දැන් ඉතින් නීත්‍යානුකූලව වාහන පැදවීමේ අයිතිය තියෙන හින්දා ගම ඇතුලේ මෝටර් සයිකලේ යද්දී හෙල්මට් එකක්වත් දාන්නේ නෑ.අයේ පොලිස් මාමලා ඉන්නව කියලයැ.(ගොන් කමද මෝඩකමද කියලා හිතාගන්න එක ඔයාලට බාරයි....හි...හි....)

අපේ රටේ බයිසිකලේ වගේම ප්‍රසිද්ධ තවත් වාහනයක්නේ ත්‍රී රෝද ර‍ථය.

ඔව් අර ත්‍රීවීල් එක එහෙමත් නැත්තම් වීල් එක කියලා අපි කියන්නේ.

ගොඩක් ත්‍රී රෝද රථ රියදුරන්(පොදු වහරෙන් නම් ත්‍රීවීල්කාරයෝ) හිතාගෙන ඉන්නේ ත්‍රීවීල් එකක් කියන්නේ මේ හමර් එකක් වගේ වාහනයක් කියලා.ඒකනේ මහපාරේ නිකම් වීරයෝ වගේ ඉගිල්ලෙන්න යන්නේ.දන්නේ නෑ කොහේ හරි ඇනු‍නොත් පපඩමක් අල්ලලා පොලොවේ ගැහුවා වගේ කියලා.
(බයිසිකල්කාරයන්ටත් මේක අදාලයි.හැබැයි අප‍රාදේ කියන්න බෑ මට නම් බයිසිකල්කාරයෝ ත්‍රීවීල්කාරයන්ට වඩා හොඳයි.... :) )

මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ බයිසිකල්කාරයෙකුයි ත්‍රීවීල්කාරයෙකුයි.

අපේ ගෙදර ඉදන් ප්‍රධාන පාරට කිලෝමීටරයක් විතර යන්න තියෙනවා.පයින් ඇවිදින්න අපහසු වෙලාවට(ඒ කියන්නෙ මහ දවල් 12ට විතර..කට්ට අවුවේ කුඹුරක් මැදින් පයින් ගාටන්න පුළුවනෑ...) ඉතින් පිහිටට එන්නේ මෝටර් බයිසිකලේ තමා.මංතුමා ගෙදර හිටියොත් ඉතින් රියදුරු රාජකාරිය පංගරාර්තු වෙන්නේ මට.මෙදාත් එහෙම දවසක්.

සෙනසුරාදා දවසක් අප්පච්චි වැඩට ගිහින් දවල් 12ට විතර බස් නැවතුමට ඇවිත් මට කෝල් කරලා කියපි "පුතේ මම බස් ස්ටෑන්ඩ් එකේ.දැන්ම වරෙන් "කියලා.
මටත් ඉතින් බයිසිකලේ පදින්න තියෙන ආසාවට අර ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ තමා අප්පච්චී කෝල් කරන එක.ඔන්න ඉතින් මං තුමාත් බයිසිකලේ නැගලා ස්ටාර්ට් කොරගෙන යන්න පිටත්වුනා.
මං කිව්වනේ ගම ඇතුලෙදි මම හෙල්මට් එකක් දාන්නේ නෑ කියලා.මෙදත් එහෙමම තමා.දැන් ඉතින් මං යනවා.අපේ ගෙවල් ළඟ පාරෙන් ගිහින් ප්‍රධාන පාරට දාන්න කලින් තියෙන අතුරු පාරක මංසන්ධියක් ළඟට මං දැන් ළඟා වුනා.මේ මං සන්ධියේ ස්වරූපය තමා මේ පින්තූරේ පෙන්නලා තියෙන්නේ.(මගේ ගමන් මාර්ගය තමා රතු ඊතල වලින් පෙන්නලා තියෙන්නේ.)
‍මෙතන තියෙන වංගුවේ හැටි පේනවනේ.දෙපැත්තෙන් එන වාහන එකපාර පේනනේ නෑ.ඒක හින්දා සාමාන්‍ය පුරුද්ද තමා හෝන් එකක් එහෙම ගහලා වේගේ අඩු කරලා වංගුව ගන්න එක.
එදත් පුරුදු විදියටම මම ඉතින් ‍මේ වංගුව ළඟට ඇවිත් වේගේ අඩු කරලා වංගුව ගත්තා.
මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මම වංගුව හරවනකොටම පාරේ එක පැත්තක පාපැදිකාරයෙක් අනික් පැත්තේ ත්‍රීවීල්කාරයෙක්.මම අඩු වේගෙන් ගියත් දෙපැත්තෙනා ආපු දෙන්නගේ හැටියට මට මොකුත් කරගන්න දෙයක් නෑ.

බයිසිකල්කාරයා බේරන්න ගියොත් මං නවතින්න‍නේ ත්‍රීවීලරේ ඇතුලේ.

ත්‍රීවීල්කාරයා බේරන්න ගියොත් මම නවතින්නේ බයිසිකල්කාරයගේ ඇඟ උඩ .

හිතා හිතා ඉන්න ගියොත් වෙන්නේ තුන් දෙනාම එකට හැප්පෙන එක.

ඔය වෙලාවෙ මොන මගුලකටද දන්නෑ මට අපේ උසස්‍ පෙළ පන්තියේ වෘත්ත චලිතය පාඩමේ යෙදීමක් මතක්වුනා.

දැන් කට්ටිය බලයි යකෝ මූට ඔල්මාදෙද මේ හැප්පෙන්න යන වෙලේ පාඩම් මතක් කරන්නේ කියලා.

බම්බුව එහෙම මගුලක් නෑ.මට ඒ වෙලාවේ ඒ තියරිය ඔළුවට ආවා.

මෙන්න මේක තමා තියරිය.

අපි වෘත්තාකාර චලිතයක යෙදෙද්දී බලපාන ප්‍රධාන බල දෙකක් තියෙනවා.ඒවා තමා කේන්ද්‍රාපසාරී හා කේන්ද්‍රාභිසාරී බල දෙක.වංගුවක ගමන් කරද්දී(වංගුවක් කියන්නේ වෘත්තාකාර චලිතයක්) අපේ වාහනේ සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය කියන බල දෙකයි,පාරෙන් ඇතිවෙන ඝර්ෂණ බලයයි කියන බල තුනේ සමතුලිතතාවයෙන්.ඒවගේම තමා ​සමතුලිතතාවයට වැදගත් තව සාධකයක් තමා ගුරුත්ව‍ කේනද්‍රයේ පිහිටීම.(ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක් හරි වස්තුවක බර කියන බලය ක්‍රියාත්මක වෙන ස්ථානය.)අපි ඉගන ගෙන තියෙන විදියට වංගුවකදී ඕනම වාහනයක් වංගුව පැත්තට ඇල වෙන්න ඕනේ.නැත්තම් සමතුලිතතාවය පවත්වාගන්න අවශ්‍ය ප්‍රමාණයට ඉස්සෙල්ලා කිව්ව බල තුන සමතුලිත වෙන්නේ නෑ,හබැයි ඕනවට වඩා පාත් වුනොත් ගුරුත්වකේන්ද්‍රයෙන් යෙදෙන බලයේ පිහිටීම වෙනස් වෙලා ඝර්ෂණ බලය බිංදුවක් වෙන්න පුළුවන්.එකපාරම එහෙම වුනොත් ඇතිවෙන බල අසමතුලිතතාව හින්දා කේනද්‍රාපසාරී හා ‍කේන්ද්‍රාභිසාරී බලදෙකේ ප්‍රබලතාවයට අනුව එක්කෝ වංගුව දිහාවට හෝ වංගුවෙන් එළියට විසි වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් කේන්ද්‍රාපසාරී බලය කේන්ද්‍රාභිසාරී බලයට වඩා විශාලයි.ඒ හින්දා තමා ඔය වංගුවලදී වාහන පාරෙන් එළියට එහෙම නැත්තම් වංගුවෙන් එළියට වීසි වෙන්නේ.

මමත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව මතක් වෙච්චි තියරිය එකපාර ඇප්ලයි කරා.වංගුව ගන්නවත් එක්කම බයිසිකලේ පුළුවන් තරම් ඇල කලා.

හිතුවා වගේම බයිසිකලේ ලිස්සුවා.දැන් ඉතින්‍ මම පොළොව දිගේ ඇදිලා යනවා. බයිසිකලෙත් එක්ක..

වැරදි පැත්තෙන් ආපු බයිසිකල්කාරයා කිසි ගේමක් නැතුව පහු කරා.ඌට අඹ මල් රේණුවක තරම්වත් හානියක් නෑ.

ඊළඟට බේරෙන්න ඕනේ ත්‍රීවීල්කාරයගෙන්නේ.දැන් මම ලිස්සගෙන යන හින්දා ගොඩක් වෙලාවට ත්‍රීවීල්කාරයා මගේ ඇඟ උඩින් යන්න ඉඩ තියෙනවා.

දැන් ඉතින් මම කරපු පව් පින් මතක් කරගන්න පටන් ගත්තා.තියරිය ඔළුවට ආවට කරුමෙට පවු පින් මතක් වෙන්නෙත් නෑ.

දඩාහ්...ගාලා එක පාරට බයිසිකලේ ත්‍රීවිලරෙත් වැදිලා පාරේ අනික් පැත්තේ තිබ්බ බෝක්කුවෙත් වැදිලා නැවතුනා.

හැප්පිච්ච පාරට ත්‍රීවීලරේ පාරෙන් පිට පැනලා ඒකත් නැවතුනා....

මුළු සිද්ධිය සිද්ධ වෙන්න විනාඩියක් යන්න ඇති.පලාතම ෆුල් සයිලන්ස්.

මෙන්න එක පාරට
"මොනවද <ටීක්> තෝ කරේ...<ටීක්> <ටීක්> <ටීක්> යකෝ මේකේ අලාබේ ගෙවන්නනේ කව්ද <ටීක්><ටීක්><ටීක්>" කණ පුරවලා මිහිරිම මිහිරි සංගීතයක් ඇහෙන්න ගත්තා.(කට්ටියට තේරුම් ගන්න පුළුවන්නේ මොනවගේ ගායනයක්ද කියලා)

යකෝ දෙන්නෙක්ව බේරන්න ගිහින් හොම්බෙන් ගිය මට මෙන්න එකෙක් බනිනවා.

මම වැටිලා හිටිය තැනින් නැගිට්ටා.බයිසිකලේ කෙලින් කරගත්තා.ඊට පස්සේ මොනවද ආබාධ කියලා හොයන්න පටන් ගත්තා.
මොකක්දෝ පිනකට මගේ ඔළුව බේරිලා තිබ්බා කොහේවත් වදින්නේ නැතුව.වැලමිටේ ගන්න දෙයක් නෑ.සුපිරියටම ලෙලි ගිහින්.කකුල් දෙකත් තරමක් හීරිලා හැබැයි අත තරම්ම නෑ(ඇඳන් හිටපු ඩෙනිමට පින් සිද්ධවෙන්න.) බයිසිකලේ හැඬල් එක ඇද වෙලා.වැටිච්ච පැත්තේ සිග්නල් ලයිට් එකයි කණ්නාඩියයි ඉවරයි.ඒ මදිවට ඉස්සරහා රෝදෙත් හිල් වෙලා.

ආපදා ටික ගණන් බලාගෙන මම ආපහු හැරෙද්දීත් අර කලින් කිව්ව ගීත ගායනය ඇහෙනවා.

බයිසිකලේ කෙලින් කරලා තියලා මම ගියා ත්‍රීවීලරේ ළඟට.අරූ කියවන අතරේ මම බැලුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා.මගේ කලාත්මක හැප්පීම හින්දා ත්‍රීවීලරේටත් අඹ මල් රේණුවක හානියක් නෑ.හැබැයි අරූගේ ගායනේ නවතින්නෙත් නෑ.

බැරිම තැන මම"දැන් මොකටද තමුසේ කෑගහන්නේ?"

ත්‍රීවීල්"බලපිය <ටීක්> තෝ කරපු දේ.දැන් මං කො‍‍‍හොමද මේක හදාගන්නේ."

මම"තමුසෙට හදාගන්න අලාභයක් වෙලා නෑනේ."

ත්‍රීවීල්"මේ බලනවා මේ බෆර් එක කැඩිලා."

එහෙම කියලා මූ පිටිපස්සේ මලකඩකාලා කැඩිලා ගිය බෆර් එකක් පෙන්නලා දැන් මගෙන් ගාන කඩා ගන්න ලෑස්තිය.මට දැන් අම්බානක මල.ඇයි යකෝ වෙච්ච ඔක්කොම අලාබ මට වෙලා තියෙද්දී මේ නරියෙක් මෙතන හූ තියනවා.

මේ අතරේ වටේ පිටේ කට්ටියත් එතෙන්ට ඇවිල්ලා.

අර මම මුලින් කීවේ මගේ අම්මවයි අප්පච්චිවයි ගොඩක් දෙනා දන්නවා කියලා.මගේ වාසනාවට ඒ වෙලේ මේ සිද්ධිය වෙච්ච තැන හිටපු ඔක්කෝම වගේ එහෙම අය.ඒ අතරේ හිටපු ත්‍රීවීල් එළවන අයියා කෙනෙක් ඔතෙන්ට ඇවිත් බැලුවා මොකක්ද අරූ කියන්නේ කියලා.

ඌට වැඩේ තේරුණා.

ඌ ‍‍‍ශේප් එකේ අරූට කතා කරලා"මේ හලෝ නිකම් මෙතන බොරු පාට් දාන්න එපා.මමත් ත්‍රීවීල් එලවන එකෙක්.තමුසේ අතින් කඩා ගත්ත එකට මේ මල්ලිට(ඒ කියන්නේ මට) කෑගහන්න එපා.ඌ ඒ විදියට හැප්පුනේ නැත්තම් තමුසෙගේ ත්‍රීවීල් එකට මීට වඩා අලාබයි.දැන් පාඩුවේ මෙතනින් මාරු වෙයන්"

අරූ මීක් ගාන්නේ නැතුව බලු කුක්කා වගේ එතනින් මාරු වුනා.

මමත් ඉතින් වටේ පිටේ කට්ටියගේ පිහිටාධාර ඇතුව බයිසිකලේ ස්ටාර්ට් කරගෙන අප්පච්චි එනවා කිව්ව බස් හෝල්ට් එකට ගියා.

ඊට පස්සේ ඉතින් දන්නවනේ.අප්පොච්චිගේ ප්‍රතිචාර........නිකම් සිනමන් ගාර්ඩ්න් හෝටලේ ලන්ච් එකක් වගේ.හරිම රසයි.මොනවා කිව්වත් කොල්ලට වෙච්ච ඇබැද්දිය ගැනත් සෑහෙන්න සැලකිල්ලට ලක් කරා....බයිසිකලේට දවස් දෙකක් විතර සාත්තුවක් දෙන්න කියලා ඉහලින් නියෝගයක් ලැබුනා.

ප/ලි - ඔය අතරේ අර මම බේරපු පුශ් බයිසිකල්කාරයා.ඌව බේරන්න ගිහින්නේ මම හැප්පුනේ.ඒකා වචනයක්වත් කියන්නේ නැතුව ශේප් එකේ මාරු.
ඒ කරලා පස්සේ දවසක මම ගම මැදින් වෙන කොහේ හරි යද්දී ළඟ ගෙදරකින් ඔය සිද්ධිය ගැන හිනා වෙවී කතා වෙනවා ඇහෙනවා.මම නැවතිලා බලද්දී ඩයල් එක ස්ටෝරිය රිපෝට් කරනවා.මට අම්බානක මල.මම ගියා ඒ ගෙදරට.ගිහින් හිටපු පිරිස ඉස්සරහා ඇත්තටම උනේ මොකක්ද කියලා සභ්‍ය විදියට ඉදිරිපත් කරා.බයිසිකල්කාරය‍ගේ පටි රෝල්.

යකෝ ඔක්කෝම කටු කාපු මට නෝන්ඩි වෙන්න පුළුවන්ද?

බයිසිකල්කාරයා එදයින් පස්සේ මාත් එක්ක බුදු ෆිට්.

ඒ ව‍ගේම තමා මම එදා සෑහෙන්න ආඩම්බර වුනා මගේ අප්පච්චියි අම්මයි ගැන.ඒ දෙන්න නොහිටියා නම් ගමේ මිනිස්සු මං කවුද කියලා දන්නේ නෑ.එහෙම දැනගෙන හිටියේ නැත්තම් අද මේ කතාව කියන්න මම ඉන්න එකකුත් නෑ.උදව් කරපු ඔක්කෝටම මම බොහොම ස්තූතියි කියනවා.

Thursday, June 16, 2011

යතුරු පැදි ධාවනය......


සාමාන්‍යයෙන් අපේ අය එක එක වර්ගයේ වාහන වලට ආසයි නේ....

ගොඩක් අය කාර් වලට.

සමහරු ජීප්,පැජරෝ, වගේ ඒවට.

තවත් සමහරු 18 වීල්ස්, ප්‍රයිම් මූවර් ට්‍රක් වගේ තරමක් සද්ධන්ත වාහන වලට.

තව සෙට් එකක් දුම්රිය වලට.

වෙනම සෙට් එකක් අපි ගොඩබිම යන වාහන වලට ආසා නෑ කියලා නැව්,ගුවන් යානා වගේ ඒවටත් කැමැත්ත දක්වනවා.

ඔය මොන කතන්දර කිව්ව‍ත් දුප්පතාගේ වාහනේ විදියට නම් දරපු බයිසිකලේට ගොඩක් අය ආසයි.

බයිසිකලේ කිව්වම ඉතින් නාන විද බයිසිකල් තියෙනවනේ....සිංහලෙන් කිව්වොත් ප්‍රධාන වශයෙන් යතුරු පැදි, පාපැදි.(වැඩි දුර විස්තර සඳහා විකිපීඩියා සරණයි ඕං)

අපේ ගෙවල් පැත්තේ සාමාන්‍යයෙන් මොන වාහනේ නැතත් හැම ගෙදරකම තියෙන අනිවාර්ය අංගයක් තමා බයිසිකලේ....බයිසිකලයක් නැත්තම් ඒක ගෙදරක් නෙමේ වගේ තමා.ඒ වගේම තමා ගෑණු පිරිමි කියලා බේදයක් නෑ.හැමකෙනාටම අපූරුවට බයිසිකල් පදින්න පුළුවන්.මොකද මේ පැත්තේ රෝද 4 වාහන වලින් යන්න පුළුවන් පාරවල් අඩුයිනේ.(‍ෆෝ වීල් ඩ්‍රයිවින් තියෙන වාහනයක් නම් එච්චරම අවුලක් නෑ.)ලේසිම වාහනේ තමා බයිසිකලේ.කොහොමහරි මං තුමාටත් අපරා‍දේ කියන්න බෑ එළකිරි වගේ බයිසිකල් පදින්න පුළුවන්....

ඊළඟට බයිසිකල් එක්ක බැඳුන වචනේ තමා අනතුරු කියන එක.සාමාන්‍යයෙන් ලෝ‍කේ තියෙන අනතුරුදායක වාහන වලින් එකක් තමා බයිසිකලේ.මොකද ගිහින් කොහේ හරි වැදුනොත් 4 හන්දි පූට්ටු වෙනවා මාස ගානක් පත්තු බඳින්න.ඒ හින්දා සාමාන්‍යයෙන් බයිසිකලයක් පදිද්දී(මෝටර් සයිකලයක්) දිග කලිසමක්,හෙල්මට් එකක් එහෙම නැත්තම් හිස් ආවරණයක් පාවිච්චි කරනවා නම් හොඳයි.තව දෙයක් ගෑණු දැරිවියෙක් එහෙම බයිසිකලේ පිටි පස්සේ ඉන්දගෙන යනව නම් කරුණාකරලා සායක් එහෙම ඇඳලා ඉන්නවන නම් හොඳට අකුලලා අල්ල ගන්න කියන්න.නැත්තම් ඒක රෝදයක් අස්සේ වත් ගියොත් දෙන්නම පාර මැද්දේ දොයි තමා.

කොහොම හරි මෝටර් සයිකලේ හින්දා මට වෙච්චි අකරතැබ්බ කීපයක් තමා මං මේ කියන්න යන්නේ.

පළවෙනි අකරතැබ්බේ වුනේ මම බයිසිකල් පදින්න පුරුදු වෙච්චි දවස්වල.ලයිසොමක්වත් නෑ.මෝටර් බයික් එක පදින්න තියෙන ආසාවට උදේ පාන්දර නැගිටලා කි.මී 10ක විතර රවුමක් ගහලා එනවා.මේ දවස්වල අප්පච්චි වැඩ කරේ පොළොන්නරුවේ හින්දා සතියේ දවස්වල බයිසිකලේ මගේ වගේ තමා.අපේ ගෙවල් පැත්තේ පොලිස් මාමලත් අඩු හින්දා වැඩිය බය වෙන්න දේකුත් නෑ.මම කලිනුත් කිව්වනේ අපේ ගෙවල් පැත්තේ පාරවල් හරි ලස්සනයි කියලා.කොළඹ හතට වඩා හොඳයි.පාර නිකම් දිය රැල්ලක් ‍වගේ...හරිම ඉස්මූත්.වැඩිය ඕනේ නෑ පුංචිත්තන් අලි පැට්ටෙක්ව ශෝයි එකේ නාවන්න පුළුවන්....මං තුමා ඉතින් උදේ පාන්දරම බයිසිකලේ අරන් පාරට බැහැලා ‍‍පොඩි රෝන්දයක් දාලා ආපහු එන්න පිටත් වුනා.පිටත් වෙලා එද්දී.පාරේ වැලමිටි වංගුවක් තියෙන තැනක් තියෙනවා.එතන සාමාන්‍යයෙන් පොඩි වලක් දෙකක් තියෙනවා.බොහොම පරිස්සමට බයිසිකලේ පැදපු මම ඔතනදී වේගේ ටිකක් අඩු කරලා වංගුව හැරෙව්වා.

පළවෙනි වල සාර්ථකව පහු කරා.

දෙවෙනි වලත් සාර්ථකව පහු කරා.

මුන්ගේ ආච්චිලාට හාල් ගරන්න මොකෙක්දෝ එකෙක් පාර මැද කාණුවක් කපලා.

දඩිං බිඩිං ඩෝන්....මම ඉතා කැමැත්තෙන් මහ පොළොව සිප ගත්තා.හොඳ වෙලාවට හෙල්මට් එකක් දාලා හිටපු හින්දා ඔළුව බේරුණා.ජර්කින් එකටයි කළිසමටයි පින් සිද්ධවෙන්න යන්තම් හීරීම් දෙකකින් ගොඩ ගියා.
දැන් ඉතින් මොනා කරන්නද?බයිසිකලෙත් කෙලින් කරගෙන යන්නම් ගෙදර ගියා.ගෙදර ගියා විතරයි මෙන්න බොලේ අම්මා ඉන්නවා දොර ළඟට වෙලා මූණ තෙල් තාච්චියක් කරගෙන.

"මොනවා කරන්න ගිහින්ද බයිසිකලෙන් වැටුනේ.මේ තාත්තලා පුතාල ඔක්කෝටම පිස්සු.වයසට වඩා වැඩ කරන්න යනවා....බ්ලා බ්ලා....."

ඕකට කියන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා.

මං හැබැයි ෆුල් අන්දුස්."ය‍කෝ ගෙදර එන්න කලින් අම්මට කොහෙන්ද මැසේජ් එක ආවේ."

මගේ අවාසනාවටද වාසනාවටද දන්නෑ අපේ අම්මයි අප්පච්චි ඒ දෙන්නගේ වෘත්තිය(ඉංජිනේරු සහකාරවරු) හින්දා ළඟපාත ගම් වල හැමෝම දන්නවා.ඒ අය මාර්ගයෙන් මායි මගේමල්ලි කාගේ කවුද කියලා අපිට වඩා වටේ පිටේ මිනිස්සු දන්නවා.මොනා කරන්නද?මං වැටිච්ච වෙලේ ඒ ළඟ පාත හිටපු මනුස්සයෙක් ගෙදරට දැනුම් දීලා....

ඊළඟ කතන්දරේ හෙට දිහාට පළ කරන්නම්කෝ...නැත්තම් මේක දිග වැඩි වෙයි වගේ....

ප/ලි - මේ සිද්ධියෙන් මං නියම පාඩමක් ඉගන ගත්තා.ඒ තමා ගමේ ඉන්න කොට ගෙදරට හොරෙන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දානවනම් සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ කියලා.මොකද ගෙදරට රි‍පෝට් එක යනවනේ.අදටත් මේක වලංගුයි.... :P

Friday, June 10, 2011

I See there's an ANGEL

මේක මගේ මිත්‍රයෙකුට වෙච්ච සිද්ධියක්.දැනට අපි මේ මෑන්ස්ට සමන් කියමු.

මූ කොල්ලෙක් වුනාට එක විදියක පොරක්.ඒ කියන්නේ කෙල්ලෝ ගැන මුගේ ආකල්ප ටිකක් අමුතුයි.සාමාන්‍යයෙන් මුගේ හිතට අල්ලන විදියට කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ නිකම් කණ කැස්බෑවගේ පේන ඇහැට විය ගහේ සිදුර ගානට සෙට් වෙලා අහස පැහැදිලිව පේනවා වගේ සීන් එකක්.
මේ මනුස්සයා ආවට ගියාට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකෙක් නෙවේ.ඉතාම හොඳින් දන්න අඳුනන කෙල්ලෝ කීපදෙනෙක්(ඇත්තටම කිව්වොත් 4ක් 5ක් විතර) එක්ක ඇරෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක්.

දවසක් මේ පොරට අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව ඇහැ ගැහුණා.ඇත්තටම කිව්වොත් ලස්සනයි කියන්නේ ඉටි රූපේ වගේ නෙමේ.හැබැයි ‍මුගේ මීටරේට අනුව පට්ට කෙල්ලෙක්.

දන්නවනේ ඉතින් කට්ටිය සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ලෙක් මුණගැහුනොත් සාමාන්‍යයෙන් හොඳම යාළුවට කියන සිරිතක් තියෙනව‍නේ.

මූත් ඉතින් ජංගමේ අරගෙන යැව්වා මැසේජ් එකක්.....

"Mchn I c thrs an ANGLE and I cnt blv it"

යාළුවා හැරෙන තැපෑලෙන්....වැරදුනා රිප්ලයි එකක් එවනවා මෙන්න මෙහෙම

"E gaman tho mokakda kara gathte?Koheda umba KONA maninna giye.Guti kanna yanne nethuwa hitan bn eka eka ge kona maninna gihin"