Thursday, June 16, 2011

යතුරු පැදි ධාවනය......


සාමාන්‍යයෙන් අපේ අය එක එක වර්ගයේ වාහන වලට ආසයි නේ....

ගොඩක් අය කාර් වලට.

සමහරු ජීප්,පැජරෝ, වගේ ඒවට.

තවත් සමහරු 18 වීල්ස්, ප්‍රයිම් මූවර් ට්‍රක් වගේ තරමක් සද්ධන්ත වාහන වලට.

තව සෙට් එකක් දුම්රිය වලට.

වෙනම සෙට් එකක් අපි ගොඩබිම යන වාහන වලට ආසා නෑ කියලා නැව්,ගුවන් යානා වගේ ඒවටත් කැමැත්ත දක්වනවා.

ඔය මොන කතන්දර කිව්ව‍ත් දුප්පතාගේ වාහනේ විදියට නම් දරපු බයිසිකලේට ගොඩක් අය ආසයි.

බයිසිකලේ කිව්වම ඉතින් නාන විද බයිසිකල් තියෙනවනේ....සිංහලෙන් කිව්වොත් ප්‍රධාන වශයෙන් යතුරු පැදි, පාපැදි.(වැඩි දුර විස්තර සඳහා විකිපීඩියා සරණයි ඕං)

අපේ ගෙවල් පැත්තේ සාමාන්‍යයෙන් මොන වාහනේ නැතත් හැම ගෙදරකම තියෙන අනිවාර්ය අංගයක් තමා බයිසිකලේ....බයිසිකලයක් නැත්තම් ඒක ගෙදරක් නෙමේ වගේ තමා.ඒ වගේම තමා ගෑණු පිරිමි කියලා බේදයක් නෑ.හැමකෙනාටම අපූරුවට බයිසිකල් පදින්න පුළුවන්.මොකද මේ පැත්තේ රෝද 4 වාහන වලින් යන්න පුළුවන් පාරවල් අඩුයිනේ.(‍ෆෝ වීල් ඩ්‍රයිවින් තියෙන වාහනයක් නම් එච්චරම අවුලක් නෑ.)ලේසිම වාහනේ තමා බයිසිකලේ.කොහොමහරි මං තුමාටත් අපරා‍දේ කියන්න බෑ එළකිරි වගේ බයිසිකල් පදින්න පුළුවන්....

ඊළඟට බයිසිකල් එක්ක බැඳුන වචනේ තමා අනතුරු කියන එක.සාමාන්‍යයෙන් ලෝ‍කේ තියෙන අනතුරුදායක වාහන වලින් එකක් තමා බයිසිකලේ.මොකද ගිහින් කොහේ හරි වැදුනොත් 4 හන්දි පූට්ටු වෙනවා මාස ගානක් පත්තු බඳින්න.ඒ හින්දා සාමාන්‍යයෙන් බයිසිකලයක් පදිද්දී(මෝටර් සයිකලයක්) දිග කලිසමක්,හෙල්මට් එකක් එහෙම නැත්තම් හිස් ආවරණයක් පාවිච්චි කරනවා නම් හොඳයි.තව දෙයක් ගෑණු දැරිවියෙක් එහෙම බයිසිකලේ පිටි පස්සේ ඉන්දගෙන යනව නම් කරුණාකරලා සායක් එහෙම ඇඳලා ඉන්නවන නම් හොඳට අකුලලා අල්ල ගන්න කියන්න.නැත්තම් ඒක රෝදයක් අස්සේ වත් ගියොත් දෙන්නම පාර මැද්දේ දොයි තමා.

කොහොම හරි මෝටර් සයිකලේ හින්දා මට වෙච්චි අකරතැබ්බ කීපයක් තමා මං මේ කියන්න යන්නේ.

පළවෙනි අකරතැබ්බේ වුනේ මම බයිසිකල් පදින්න පුරුදු වෙච්චි දවස්වල.ලයිසොමක්වත් නෑ.මෝටර් බයික් එක පදින්න තියෙන ආසාවට උදේ පාන්දර නැගිටලා කි.මී 10ක විතර රවුමක් ගහලා එනවා.මේ දවස්වල අප්පච්චි වැඩ කරේ පොළොන්නරුවේ හින්දා සතියේ දවස්වල බයිසිකලේ මගේ වගේ තමා.අපේ ගෙවල් පැත්තේ පොලිස් මාමලත් අඩු හින්දා වැඩිය බය වෙන්න දේකුත් නෑ.මම කලිනුත් කිව්වනේ අපේ ගෙවල් පැත්තේ පාරවල් හරි ලස්සනයි කියලා.කොළඹ හතට වඩා හොඳයි.පාර නිකම් දිය රැල්ලක් ‍වගේ...හරිම ඉස්මූත්.වැඩිය ඕනේ නෑ පුංචිත්තන් අලි පැට්ටෙක්ව ශෝයි එකේ නාවන්න පුළුවන්....මං තුමා ඉතින් උදේ පාන්දරම බයිසිකලේ අරන් පාරට බැහැලා ‍‍පොඩි රෝන්දයක් දාලා ආපහු එන්න පිටත් වුනා.පිටත් වෙලා එද්දී.පාරේ වැලමිටි වංගුවක් තියෙන තැනක් තියෙනවා.එතන සාමාන්‍යයෙන් පොඩි වලක් දෙකක් තියෙනවා.බොහොම පරිස්සමට බයිසිකලේ පැදපු මම ඔතනදී වේගේ ටිකක් අඩු කරලා වංගුව හැරෙව්වා.

පළවෙනි වල සාර්ථකව පහු කරා.

දෙවෙනි වලත් සාර්ථකව පහු කරා.

මුන්ගේ ආච්චිලාට හාල් ගරන්න මොකෙක්දෝ එකෙක් පාර මැද කාණුවක් කපලා.

දඩිං බිඩිං ඩෝන්....මම ඉතා කැමැත්තෙන් මහ පොළොව සිප ගත්තා.හොඳ වෙලාවට හෙල්මට් එකක් දාලා හිටපු හින්දා ඔළුව බේරුණා.ජර්කින් එකටයි කළිසමටයි පින් සිද්ධවෙන්න යන්තම් හීරීම් දෙකකින් ගොඩ ගියා.
දැන් ඉතින් මොනා කරන්නද?බයිසිකලෙත් කෙලින් කරගෙන යන්නම් ගෙදර ගියා.ගෙදර ගියා විතරයි මෙන්න බොලේ අම්මා ඉන්නවා දොර ළඟට වෙලා මූණ තෙල් තාච්චියක් කරගෙන.

"මොනවා කරන්න ගිහින්ද බයිසිකලෙන් වැටුනේ.මේ තාත්තලා පුතාල ඔක්කෝටම පිස්සු.වයසට වඩා වැඩ කරන්න යනවා....බ්ලා බ්ලා....."

ඕකට කියන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා.

මං හැබැයි ෆුල් අන්දුස්."ය‍කෝ ගෙදර එන්න කලින් අම්මට කොහෙන්ද මැසේජ් එක ආවේ."

මගේ අවාසනාවටද වාසනාවටද දන්නෑ අපේ අම්මයි අප්පච්චි ඒ දෙන්නගේ වෘත්තිය(ඉංජිනේරු සහකාරවරු) හින්දා ළඟපාත ගම් වල හැමෝම දන්නවා.ඒ අය මාර්ගයෙන් මායි මගේමල්ලි කාගේ කවුද කියලා අපිට වඩා වටේ පිටේ මිනිස්සු දන්නවා.මොනා කරන්නද?මං වැටිච්ච වෙලේ ඒ ළඟ පාත හිටපු මනුස්සයෙක් ගෙදරට දැනුම් දීලා....

ඊළඟ කතන්දරේ හෙට දිහාට පළ කරන්නම්කෝ...නැත්තම් මේක දිග වැඩි වෙයි වගේ....

ප/ලි - මේ සිද්ධියෙන් මං නියම පාඩමක් ඉගන ගත්තා.ඒ තමා ගමේ ඉන්න කොට ගෙදරට හොරෙන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දානවනම් සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ කියලා.මොකද ගෙදරට රි‍පෝට් එක යනවනේ.අදටත් මේක වලංගුයි.... :P

Friday, June 10, 2011

I See there's an ANGEL

මේක මගේ මිත්‍රයෙකුට වෙච්ච සිද්ධියක්.දැනට අපි මේ මෑන්ස්ට සමන් කියමු.

මූ කොල්ලෙක් වුනාට එක විදියක පොරක්.ඒ කියන්නේ කෙල්ලෝ ගැන මුගේ ආකල්ප ටිකක් අමුතුයි.සාමාන්‍යයෙන් මුගේ හිතට අල්ලන විදියට කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ නිකම් කණ කැස්බෑවගේ පේන ඇහැට විය ගහේ සිදුර ගානට සෙට් වෙලා අහස පැහැදිලිව පේනවා වගේ සීන් එකක්.
මේ මනුස්සයා ආවට ගියාට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකෙක් නෙවේ.ඉතාම හොඳින් දන්න අඳුනන කෙල්ලෝ කීපදෙනෙක්(ඇත්තටම කිව්වොත් 4ක් 5ක් විතර) එක්ක ඇරෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක්.

දවසක් මේ පොරට අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව ඇහැ ගැහුණා.ඇත්තටම කිව්වොත් ලස්සනයි කියන්නේ ඉටි රූපේ වගේ නෙමේ.හැබැයි ‍මුගේ මීටරේට අනුව පට්ට කෙල්ලෙක්.

දන්නවනේ ඉතින් කට්ටිය සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ලෙක් මුණගැහුනොත් සාමාන්‍යයෙන් හොඳම යාළුවට කියන සිරිතක් තියෙනව‍නේ.

මූත් ඉතින් ජංගමේ අරගෙන යැව්වා මැසේජ් එකක්.....

"Mchn I c thrs an ANGLE and I cnt blv it"

යාළුවා හැරෙන තැපෑලෙන්....වැරදුනා රිප්ලයි එකක් එවනවා මෙන්න මෙහෙම

"E gaman tho mokakda kara gathte?Koheda umba KONA maninna giye.Guti kanna yanne nethuwa hitan bn eka eka ge kona maninna gihin"

Sunday, May 29, 2011

ළමයි කීයද?



මේ සිද්ධිය වුනේ අපි ඉස්කෝලේ යන කාලේ....මතක හැටියට උ/පෙළ කරන කාලෙදී.

ඒ දවස් වල ඉතින් ඉස්කෝලේ වගේම ටියුශනුත් යනවනේ....සමහර වෙලාවට ටියුශන් කරන ගුරුතුමා පාසලේ ගුරුතුමාගේ බැ‍‍චෙක්..
උදාහරණ තොග පිටින් තියෙන හින්දා මම කියන්න යන්නේ නෑ ‍ඕං.
කොහොම හරි ඉස්කෝලෙදි මේ ගුරුවරු එකිනෙකා ගැන අහනවානේ...ක්ලාස් කොහොමද?උගන්නනවා හොඳඳ?ඔය වගේ ප්‍රශ්න.මේකත් එහෙම සිද්ධියකදී වෙච්ච දෙයක්.....
අපේ පංති‍යේ ඇඟට නොදැනෙන විදියට නෝන්ඩි දෙන්න පුළුවන් පොරක් හිටියා කණයා කියලා.මේ වෙද්දී වි.වි ඉගන ගන්නේ.මෙයා තමා මේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා...ගුරුතුමා තාම ඉගැන්වීම් කටයුතු කරන හින්දා මං එතුමාව A.ගුරුතුමා කියලා හඳුන්වන්නම්.

ඔන්න දවසක් දැන ගුරුතුමා පංතියට ආවා...පුරුදු විදියටම උගන්නලා ප්‍රශ්නයක් දීලා ටිකක් සතුටු සාමීචියේ යෙදිලා හිටියා.සතුටු සාමීචි අතරේ අපි වැඩ කරයි කියලයැ.අපිත් දිගටම සාමීචියේ යෙදුනා.
මෙහෙම යද්දී මාතෘකාව ටිකෙන් ටික ටියුශන් පැත්තට යොමුවුනා.දැන් අපේ ප්‍රදේශයේ ටියුශන් ගුරුවරු ගැන කතා කර කර ගිහින් අන්තිමේට එක විශේෂ ගුරුතුමෙක් ගැන කතාවට ආවා.අපි මෙතුමාව "දිසා" කියලා හඳුන්වමු.

අපේ A.ගුරුතුමා පංතියෙන් අහනවා"ළමයි...දිසාගේ ක්ලාස් යන්නේ කව්ද?"

මුලු පංතියෙන්ම දිසාගේ ක්ලාස් ගියේ කණයා විතරයි.ඌ ඉතින් අත ඉස්සුවා.

A.ගුරුතුමා "මේ දවස්වල මොනවද උගන්නන්නේ?"

කණයා"අයණික සමතුලිතතාවය"

A.ගුරුතුමා "හොඳට උගන්නනවද?"

කණයා"නරකම නෑ සර්..."

A.ගුරුතුමා "කොහෙද පංති තියන්නේ?"

කණයා"........ හෝල් එකේ..."

..........ඔහොම ප්‍රශ්න මාලාවකට පස්සේ ගුරුතුමා වැදගත්ම ප්‍රශ්නේ ඇහුවා....

"දිසාට ළමයි කීයක් විතර ඉන්නවද?"


පිළිතුර දෙන්නේ ඉතින් කණයා‍නේ.....මූ ගත් කටටම කියපි.....

"ඒක නම් මං දන්නේ නෑ සර්...."

එතනින් පස්සේ පංතියේ උගන්නන් පුළුවන් තත්වයක් තිබ්බේ නෑ...ඒ තරමට හිනාව........

===================================================
ප.ලි- අද ඉදන් මකුළුවා නියම නමින් පෙනී සිටිනවා....මකුළුවා හෙවත් මම අශාන්..කෙටියෙන් කිව්වොත් ශාන්

Saturday, May 21, 2011

කෙටිම කෙටි සටහනක්.....

ඉලංදාරියාව අපි හැමෝම දැනගත්තේ ජාලය හරහා....ඔහුගේ කාරුණික ආයචනයට විවිධ අරමුණු වල සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි විසිරී සිටිය පිරිසක් එක පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණා....එනම් සවන් සෙවූ ඉලංදාරියාට සවන් ලබා දෙන්න...පුංචියට පටන්ගත් අරමුණ අතුවිහිදෙන රුකක් වන තුරු පෝෂණය කලමුත් අද....

"ඉලංදාරියා අප හැර ගොසිනි."

සාක්ශාත් කරගත් පොදු අරමුණේ උපරිම ඵල ලැබීමට ඉලංදාරිය දැන් අප අතර නැත.....

"පියේහි විප්ප යෝගෝ දුක්ඛෝ"එය බුද්ධ දේශනාවයි.

ඉතින් ඉලංදාරියෝ ඔබට අමා මහ නිවන් සුව!යළි කිසිදිනක මෙවන් දුක්කරදර මේ සසර පුරා ඔබට අත්විඳින්නට සිදුනොවේවා!

"ශෝකාන්තය එනතුරා.....
එහි රැඳෙන්නට සිත් නැති නියා.....
අනන්තය ළඟ අප දමා.....
අවසානයට පෙර ඔහු ගියා....."

Monday, May 2, 2011

දිනපොත(Diary) සහ මූණුපොත(Facebook)

================================================
මේක තමා විභාගෙට කලින් ලියන්න ලැබෙන අවසාන බ්ලොග් සටහන(තාම ෂුවර් නැතෝ)....අද ඉදන් මාසෙකට විතර මම අවකාශයෙන් අන්තරස්දාන වෙන්නයි හිතාගෙන ඉන්නේ.මාත් එක්ක තරහ වෙන්න එපා ඕං.බිලොග් අවකාශයට මුදාහරින හැම ලියුමක්ම වගේ මංතුමා කියවනවා.අදහස් පළනොකළට හැම එකම කියවලා තියෙන්නේ.ඉදිරි මාසෙත් ඒ විදිහටම ලැබෙන අවස්ථාවෙන් මං තුමා ලිපි ටික කියවන්නම් කෝ.අදහස් නොදැක්කුවට අමනාප වෙන්න එපා හොඳේ
================================================

අපි හැමෝටම එක එක කාලෙට එක එක අදහස් පහල වෙනවනේ.උදාහරණ විදියට කිව්වොත් ඔය එක එක ආකාරයේ විනෝදාංශ(මුද්දර එකතු කරන්න,පින්තූර එකතු කරන්න), විවිධාකාරයේ ක්‍රීඩා වල නිරත වෙන්න,අළුත් අළුත් දේවල්(ඉලෙක්ට්‍රොනික් වැ‍‍ඩ,වාහන එකලස් කරන්න)වල නිරත වෙන්න හිතෙනවානේ.ඒ අතරින් සමහර දේවල් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා.සමහර ඒවා කාලයක් ගියාම(ඒ දේ පිළිබඳව පිස්සු වැටිලා හිටිය කාලේ නැවතුනාම) අතෑරලා දානවා.හැම මනුස්සයාම ඔය වගේ තමා.

හැම මනුස්සයාම කිව්වම ඉතින් මකුළුවත් ඕකට අයත් නේ.
මට ඉතින් එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලලා සමහර දේවල් විවිධාකාර හේතූන් මත නවත්තලා දාලා(සමහර වෙලාවට පසුතැවෙන්නත් වෙනවා.) සීමිත දේවල් කීපයක් දිගටම පවත්වාගෙන යනවා.මගේ දිනපොත් ලිවීමත්(සිංහලෙන් කියනවා Diary කියලා) අන්න ඒ අඛණ්ඩව පවත්වාගෙන යන දේවල් වලින් එකක්.

පුංචි එකා කාලේ(ඔය එකේ දෙකේ ඉන්න කාලේ) අප්පච්චිට දිනපොතක් හමිබුවෙච්චි ගමන් මං කරන්නේ ඒක පෙරලලා බලන එක.දැන් වගේ නෙවේ,ඒ දවස් වල හැම දිනපොතේම වගේ මාසයක් ඉවර වෙන පිටුවට පස්සේ තියෙන පළවෙනි පිටුවේ ලංකාවේ තියෙන සුන්දර දර්ශනයක් මුද්‍රණය කරලා තියෙනවා(දැන් එහෙම දිනපොත් තියෙන්නේ අතරින් පතර).මං කරන්නේ හැමෝටම කලින් ඒ පින්තූර ටික බලන එක,මොකද ඊට පස්සේ මගේ පියතුමා ඒ දිනපොත් රාජයාව අල්මාරිය ඇතුලේ සිංහාසනාරූඪ කරන නිසා.එතනින් එහාට ඒ දින පොත නැරඹීමේ අයිතිය තියෙන්නේ මගේ මව්තුමියට පමණයි.වෙන මොකුත් හින්දා නෙමේ,මං පුටුවකට නැගලා හිටගත්තත්,අල්මාරියේ උඩම තට්ටුවට උස නැති හින්දා.හැබැයි ඉතින් අප්පච්චි දිනපොත එළියට ගත්ත වෙලාවට මට පෙරළලා බලන්න දෙනවා.("පව්නේ පොඩි එකා කියලා."හැබැයි අප්පච්චි පාවිච්චි කරලා අයින් කරපු එක දිනපොතක් තාමත් මං ළඟ තියෙනවා මං කැමතිම පින්තූර ටිකකුත් එක්ක).මං පහ වසරට විතර එනකම් මේ විදියට තමා තත්වේ.කවදාවත් මට දිනපොතක් හම්බුවුනේ නෑ.
2000 වසරේ වන්නිකරයේ ඉදන් පහේ ශිෂ්‍යත්වේ පාස් කොරලා උඩරටට එද්දී මගේ යාළුවන්ගෙන් එක එක විදියේ මතක සටහන් හම්බුවෙද්දී මගේ හොඳම යාළුවා වෙච්ච රුවන් මට අමුතු තෑග්ගක් දුන්නා.ඒක තමා මගේ පළවෙනි දිනපොත.(Fujifilm සමාගමෙන් අළුත් අවුරුද්දට මුද්‍රණය කරපු සාක්කු දිනපොතක්.රුවන්ගේ තාත්තා තමා ඒ වකවානුවේ අපේ පලාතේ හිටපු හොඳම ඡායාරූප ශිල්පියා.)මුල්ම කාලේ ගෙදරින් ඈත්වෙලා ඉස්කෝලේ යද්දී සිද්ධවෙච්ච රසවත් සිද්ධි තොගයක් ඒකේ පිටුවල තියෙනවා.(කියවද්දී මටම හිනා යනවා.අපි ඒතරම් පිස්සු වැඩ කරාද කියලා.)එතන ඉඳලා දිගමට මට ‍හැම අවුරුද්දෙම මට දිනපොතක් හම්බුනා.මමත් ඉතින් මගේ ජීවිතේ සිද්ධවෙච්ච හැම සිද්ධියක්ම වගේ ඒ දිනපොත් වල ලිව්වා.අද වෙද්දිත් මං ඒ දිනපොත් සුරක්ෂිතව තියලා තියෙනවා.ඉඩක් ලැබෙන වෙලාවට කියවලා බලලා මනෝ ලෝකේ දිනපොතේ යාළුවොත් එක්ක කරක් ගහනවා.සුන්දර මතක නැවත නැවත ආවර්ජනය කරනවා.ඒ හැඟීම් ගැන තේරුම් ගන්න පුළුවන් දිනපොතක් ලියලා කියවපු මනුස්යෙකුට විතරයි.
කොහොමෙන් කොහොමහරි දිනපොත ලිව්වට රාජකාරි දිනපොතක් නඩත්තු කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ සරසවියට පැනගත්තට පස්සේ.ඒ හින්දා දැන් මං ගාව දිනපොත් දෙකක් තියෙනවා.එකක් මං අදටත් පෑනෙන් ලියනවා මගේ පෞද්ගලික දිනපොත හැටියට.අනික මගේ පරිගණකයේ ලිපිගොනුවක් විදියට නඩත්තු කරනවා.

ඔහොම දිනපොත් ලිය ලියා ඉන්නකොට තමා මේ මූණූපොත(සිංහලෙන් කියන්නේ Facebook ) අපේ සාමාජෙට එන්නේ.අධිවේගී අන්තර්ජාල භාවිතය අපේ රටේ සමාජ ගතවෙන කාලෙදිම තමා ස(z)ක(ර්)බ(ර්)ග්(Mark Zuckeberg) උන්නැහේ මූණුපොත අන්තර්ජාලයට මුදාහරින්නේ...අනේ මගේ වාසනාවටද අවාසනාවටද දන්නෙ නෑ.2006 අවුරුද්දේ මගේ අක්කන්ඩිලාගෙන් එක්කෙනෙක් උසස් අධ්‍යාපනේ ලබන්න රැජිනිගේ දේසෙට ගියපු දොහේ මට මූණුපොතට සම්බන්ධ වෙන්න ආරාධනාවක් (අපිට හුරු බාසාවෙන් කියනවා නම් FB Invitation එකක්)එව්වා.මමත් ඉතින් වැඩිදුර හිතන්නේ නැතිව ඒක පිළි අරගෙන(accept කරලා) මූණූපොතට සම්බන්ධවුනා.එදා ඉදන් ඉතින් අද දක්වා මූණුපොතේ කරක් ගහනවා.Photoes Upload කරනවා,Links Post කරනවා(යූ-නලයෙන්,නැත්තම් බ්ලොග් පිටුවක්, සිංදුවක් ඔය වගේ දන්නැද්ද ඉතින්.....),Status Update කරනවා,Friendsලව Add කරනවා,Groups වලට Join වෙනවා.Pages වලට,Post වලට Like දානවා....ඔය වගේ වැඩ කෝටියක් කරන්න පුළුවන්නේ මූණු‍පොතේ කාලෙ කන්න.....
හුටා!වැදගත්ම දේ මතක බැරි වුණානේ....ඇයි බොලේ Chat කරන එක...(වර්තමාන සිංග්ලිෂ් හෝඩියේ මහගෙදර ඒක නොවැ.)මුල්ම යුගයේ අබින් කෑවා වගේ ඇබ්බැහි වෙලා හිටියට දැන්නම් මටම මූණුපොත එපා වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ.වෙලාවකට අයින්වෙලා යන්න හිතුවත් මූණුපොතෙන් විතරක් පවත්වාගෙන යන සම්බන්ධතා කීපයක් හින්දා මූණුපොතේ දිගටම ඉන්නම් කියලා තීරණය කරලා තමා දැන් කල් ගෙවන්නේ.මොක වුනත් මාර්ක් අයියගේ වැඩේ සාර්ථකයි.ඇත්තමට මූණුපොත කියන්නේ ජාලයේ තියෙන සමාජයක්ම තමා.අපි කට්ටිය සෙට් වුනා වගේම තමා.වෙනසක් නෑ.

දැන් කට්ටිය බලනවා ඇති මකුළුවට විභාගේ හින්දා මංඤන් වෙලා වගේ පිස්සු කියවනවද කියලා.ඇයි යකඩෝ මේව බලන අපි මේ දිනපොත් මූණුපොත් ගැන නොදන්නවයැ නේද?

අෆෙ අෆ්ෆෝ තරහා අවසර.දැන් තමා කතන්දරේ පටන් ගන්‍‍නේ.ඊට කලින් මං කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමති.මූණුපොත පාවිච්චි කරන කවුරුහරි කෙනෙක් මේ මොහොතට පෙර මූණුපොතේ තමන්ගේ බිත්තිය(Facebook Wall එක) දිගේ අවුරුද්දක් දෙකක් ආපස්සට ගමන් කරලා තියෙනවද?(අර Wall එකේ පතුලේ Older posts කියලා Link එකක් තියෙන්නේ.අන්න ඒක ඔබලා ආපස්සට ගමන් කරන්න පුළුවන්.) එහෙම කරලා නැත්තම් මේක කියවලා ඉවරවෙලා නිකමට වගේ කරලා බලන්න.

දැන් මං ආපහු කතාවට එන්නම්.දවසක් දා අපේ අර පතක නොඇඳුනු සිතක සිත්තම් කරන ප්‍රාර්ථනා නගාට රූප රාමු පෙලක්(Video) හොයලා දෙන්නම් කියලා පො‍රොන්දුවෙලා ඒක හොයන්න මම මගේ බිත්තිය දිගේ පහලට ගියා.මුලින් හිතුවේ මාසයක් දෙකක් ඇතුලත කාලයක් තුල බිත්තියේ පළ කරපුවා අතරේ අදාල රූප රාමු පෙළ තියෙයි කියලා.හැබැයි ඒක තිබ්බේ අවුරුද්දකටත් එහා මං පළ කරපු රූප රාමු අතරේ(ඒ රූප රාමු පෙළත් මේ ලිපිය අගට දාල තියනවා.කැමතිනම් ඉතින් බලන්න).ඉතින් ඔහොම රූප රාමු ටික හොයාගත්තට පස්සේ නිකමට වගේ මං ඒ ළඟ පාත තිබ්බ මම එක එක අවස්ථා වල මං ගැන කොටපුවා (Status Updates),මං අනික් අයගේ බිත්තිවල කොටපු අදහස් වගේ දේවල් කියවන්න ගත්තා.මූණු‍පොතට සම්බන්ධ වුනාට පස්සේ මං මගේ ජීවිතේ වැදගත් අවස්ථා වලදී දිනපොත ලියනවට අමතරව මූණුපොතේ බිත්තියෙත් මං ඒ දේවල් කොටන්න ගත්තා.සමහර ‍දේවල් වලට සෑහෙන්න හිනා යනවා,මෙහෙම දේවලුත් වුනා ද කියලා හිතෙනවා.ඒවගේම මං ඒ දේවල් කොටන්න හේතු වෙච්ච සිද්ධි මැවිලා පේනවා.කොහොමහරි මං අවුරුදු 2ක් විතර පල්ලෙහාට ගියා.කරපු කියපු දේවල් ගැන බල බලා හිත හිතා හිනා වෙවී කියෙව්වා.
කොහොම හරි ඔය කියවීමේ ව්‍යාපෘතිය ඉවර වෙද්දී පාන්දර 5යි.අයියා නැගිටලා කාමරේට ආවම තමා වෙලාව ගැන කල්පනා වුනේ.පහුවදා හොඳවෙලාවට නිවාඩු දවසක් හින්දා මං ඒ වෙලේම ගිහින් බුදිය ගත්තා.

ඇහැරුණාට පස්සේ තමා මට මීටර් වුනේ,"අපි දිනපොතක් පෙරළලා බලලත් කරන්නේ මේකම නෙවේද?"

දිනපොතක තියෙන්නේ තමතමන්ගේ පෞද්ගලික සටහන්(සමහරක් ඒවා අතිශයින්ම පෞද්ගලිකයි) ....ඒවගේම තමා මූණුපොතේ තමන්ගේ බිත්තියේ තියෙන්නෙත් තමන්ගේ සටහන්.සරලව කිව්වොත් දිනපොතේ ලිව්ව දේවල් වෙන විදියකට බිත්තියේ කොටලා තියෙනවා.තමන් ලබපු නින්දා,ප්‍රශංසා,ජයග්‍රහණ,පරාජ,කාපු ලණු,දීපු ලණු,එක එකා‍ගේ විහිලු,ඕපා දූප, බයිට් වෙච්චි ඒවා...මේ හැමදෙයක්ම ආපහු මතක් කරන එකමයි නේද අපි දිනපොතක් පෙරළලා බලලා කරන්නේ.

ඒවගේම තමා මූණු පො‍තෙත්....තමන්ගේ බිත්තිය දිගේ පොඩ්ඩක්(කියන්නේ මාස 5ක් 6ක් විතර) පල්ලෙහට ගිහින් බලන්න.වෙන වල් පල් වලට කාලේ නාස්ති කරන වෙලාවෙ එහෙම දෙයක් කරලා බලන්නකෝ.ඒ කරලා මං කියන විදිහේ හැඟීම එන්නේ නැත්තම් කරුණා කරලා කියන්න හොඳේ.

දැන් ඇති නේ දෙඩෙව්වා.

එහෙනම් ඕං මං මාරු වෙනවා.

හැමකෙනාටම තුණුරුවන්ගේ සරණයි!

================================================

මේක තමා මං අර හොයල දුන්නැයි කියපු වීඩියෝව...ලිපියට නම් අදාලත්වයක් නෑ...කාරි නෑ.කැමති කෙනෙක් ඉන්නවනම් බලන්නකෝ.

Friday, April 22, 2011

"කොයි රෝදෙද හුලං බැස්සේ?"

මේක මං පත්තරේක තිබිලා අහපු කතන්දරයක්.....කව්රු හරි කෙනෙක් මට කලින් මේ කතාව ලියලා තියෙනවා නම් ඉතින් කියවන ඈයෝ මට සමාවෙන්ට ඕනේ.පරණ කතා‍වක් ආපහු කිව්වට...

ලෝකේ තියෙන ඕනෙම විශ්ව විද්‍යාලකෙ වාරාවසාන හෝ වසරාවසාන විභාග පැවැත්වෙනවනේ...සමහරු නම් ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් පාඩම් කරලා විභාගෙ ලියන්න යනවා...තවත් සමහරු මාස හෝ සති දෙක තුනක් පාඩම් කරලා විභාගෙට යනවා...තවත් සමහරු විභාගෙ හෙට කියලා අද පාඩම් කරලා ලියන්න යනවා...දැන් ඔය වි.වි මානව මානවිකාවෝ තමන් අයිති මොන වර්ගයටද කියලා හෙමින් සීරුවේ තේරුම් බේරුම් කරගන්නකෝ.(මංතුමානම් ඔය දෙවෙනි වර්ගෙට තමා අයිති වෙන්නේ.)

දැන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔය වගේ විශ්ව විද්‍යාලයක විභාගයක් ලියන්න යන ශිෂ‍්‍යයෝ 4 දෙනෙක්.දැන ඹන්න මේ හ‍තර දෙනා අද තියෙන ප්‍රශ්න පත්තරේට කලින් දවසේ පාඩම් කරලා යනවා විභාගේ ලියන්න.යන්නේ කාර් එකක.(කාර් වලට කැමති නැත්තම් රෝද 4ක් තියෙන වාහනයක කියන්නම් කෝ.)දැන් ‍මේ ඈයොන්ට මුහුණදෙන්න තියෙන විශය ඉතාමත් අමාරු විශයක්.ඒ හින්දා මේ 4 දෙනා හිතලම පරක්කුවෙලා යනවා විභාග ශාලාවට.4 දෙනා විභාග ශාලාවට එනකොට විභාගේ පටන් අරන්.දැන් ඉතින් 4 දෙනාම ගියා විශය භාර ගුරුතුමා(සිංහලෙන් කියනවා Lecturer කියලා) හමුවට.ගිහින් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

"සර්.අපි එනකොට අතර මගදී අපේ වාහනේ රෝදෙක හුලං බැස්සා.ඒක හදාගෙන එනකොට පරක්කු වුණා..."

ගුරුතුමාත් සානුකම්පිතව කාරණේ දිහා බලලා මේ 4දෙනාට කිව්වලු
"හරි දැන් අද ඔයාලට විභාගේ ලියන්න බෑනේ.තව සතියකින් මේ වෙලාවටම ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන්න එන්න" කියලා....

4 දෙනාට මාරම හැපි.දව‍සකින් බලා ගන්න බැරි වෙච්චි විශය සතියක් තිස්සේ පා‍ඩම් කරලා කජු කනවා වගේ ලියන්න පුළුවන් ගානට ලෑස්තිවෙලා කට්ටිය ගියාලු විභාග ශාලාවට.

එතනදී ශාලාධිපතිතුමා මේ හතර දෙනාව දැම්මලු වෙන වෙනම කාමර 4කට.දාලා ඉවර වෙලා ප්‍රශ්න පත්තරේ බෙදුවලු....

ප්‍රශ්න පත්තරේ තිබ්බේ එක ප්‍රශ්නයයි.

"හුලං බැස්ස රෝදය කුමක්ද?(රියදුරුට සාපේක්ෂව)"
1-ඉදිරිපස වම
2-ඉදිරිපස දකුණ
3-පසුපස වම
4-පසුපස දකුණ

Friday, April 8, 2011

"දැන් ඔය සාහිත්‍ය ඉගන ගෙන........."(අංක 02)

පළමු ලිපියෙන්
"නමුත් ප්‍රශ්නය ඒක නෙමේ.....සාහිත්‍ය කප්පාදුවෙන් මොකෝ වුනේ කියන එකයි...........

භාෂාවෙන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමට හා හුවමාරු කරගැනීමට මාධ්‍යයක් තෝරලා දෙන එක.ගණිතයෙන් කරන්නේ මනුස්සයට හිතන්න පුරුදු කරන එක.විද්‍යාවෙන් කරන්නේ ඒ හිතපු දේ ක්‍රියාවට නං වන්නේ කොහොමද කියලා තේරුම් කරලා දෙන එක.

එතකොට සාහිත්‍ය අහවල් කෙහෙල් මලක් කරන්න?...................

නෑ.....නෑ.....සාහිත්‍යයෙන් තමා මනුස්සයා හිතන විදිහ ලස්සන කරන්නේ....සරලව කිව්වොත් ලස්සනට හිතන්න පුරුදු කරන්නේ සාහිත්‍යයෙන්.....

දැන් බලයි ඒ කොහොමද කියලා.......

ඒක වෙන්නේ මෙහෙමයි....සාහිතය්‍ය කියන්නේ තනි විශය පථයක් නෙමේ.....සාහිත්‍යට ඉන්නවා යාළුවෙක් රසාස්වාදනය කියලා....සාහිත්‍ය කියන්නේ අයිය නම් රසාස්වාදනය කියන්නේ මල්ලි.......මේ දෙන්නට තනියම ගමන් යන්න බෑ....දෙන්නට දෙන්නා ඕනේ....හොඳ උදාහරණයක් කියන්නම්......කට්ටිය "මඩොල් දූව" පොත කියවලා තියෙනවද?අන්න ඒ පොත කියවද්දී කොයි වෙලේක හරි දැනුනද මම තමයි උපාලි ගිනිවැල්ලේ එහෙම නැත්තම් ජිනපාල කියන්නේ මම.....මම ජීවත් වෙන්නේ ම‍‍‍ඩොල් දූවේ.....කියලා.අන්න එහෙම දැනෙන්නේ පොත කියවන ගමන් ඔයාලා වින්දනය කරපු හින්දා.....සාහිත්‍යයෙන් පුරුදු පුහුණු කෙරෙව්වේ ඔන්න ඕක.යම්කිසි දෙයක හරය උකහා ගන්නේ කොහොමද,ඒක විචාරාත්මකව කියවලා තේරුම් ගන්නේ කොහොමද,ඒක රසවිඳින්නේ කොහොමද කියලා පුරුදු කරවපු එක....

නමුත් අද මොකද වෙලා තියෙන්නේ...........

අපේ වැඩිහිටි පරම්පරාව සමාජය දියුණ වෙනවත් එක්කම ඒ අයගේ දෙවෙනි පරම්පරාවට(ඒ කියන්නේ අපේ පරම්පරාව) අළුත් තාක්ෂණයට මුහු වෙන්ට අවස්ථාවක් ලැබුණා...ඉතින් අධ්‍යාපන පසුබිමට අමතරව අපේ අය අන්න ඒ තාක්ෂණික දියුණුවත් එක්කත් අත්වැල් බැඳ ගත්තා.....කාසියක දෙපැත්තක් තියෙනවා වගේ හොඳ හා නරක කියනේ හැම‍දේකම තියෙනවා.ඉතින් තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච අපේ අය පොත්පත් සාහිත්‍ය කියන දේවල් අමතක කරා...අන්න ඒ හේතුවෙන් හොඳ නරක මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙච්ච අපේ උදවිය අද වෙද්දී නිකම්ම හිස් කළ ගෙඩි ටිකක් විතරක් බවට පත්වෙලා...හොඳ නරක වෙන් කර හඳුනාගන්න බැරි,නිර්මාණයක් රස විඳින්න බැරි පිරිසක් අද වෙද්දී බිහිවෙලා.(ඒක එහෙම නොවේනම් අමරදේවගේ ගීත වගේම් ඉරාජ් වීරරත්නගේ සිංදුත් වින්දනය කිරීමේ හැකියාවක් තිබෙන පුද්ගලයෝ සිටින්න ඕනේ....එල්පිනිස්ටන් වගේ රංගශාලා ප්‍රේක්ෂකයෝ නැතිව වේලෙන්න විදිහක් නෑ....ලෙස්ටර් ගේ වගේම උදයකාන්තගේ නිර්මාණත් යම්තරමකට හෝ ගුණාත්මක විය යුතුය....)

අද වන විට.......
නිර්මාණකරුවෝ නිකම්ම පිටපත්කරුවෝ බවට පත්වෙලා....පාඨකයෝ නිකම්ම කියවන්නෝ වෙලා...ප්‍රේක්ෂකයෝ නිකම්ම නරඹන්නෝ වෙලා.....හැබැයි සාහිත්‍ය කිය‍නදේ ගැන ඉතා සුළු අවබෝධයක් තිබෙන පිරිසක් ඔය අතරේ රසාස්වාදකයෝ විදියට තාමත් ජීවත්වෙනවා.....ඒ වගේම ඉතා සුළු පිරිසක් නිර්මාණකරුවෝ ලෙසත් ජීවත් වෙනවා..........අපේ වාසනාවකට වගේ සාහිත්‍ය ගැන ආසාවක් තිබෙන සහ රසාස්වාදනයට කැමති ඉතා සුළු පිරිසකුත් සමාජයේ ජීවත් වෙනවා.................




******************************************************************************
"සාහිත්‍යයෙන් ද?සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරව ගන්නවද?අසූචි පුරව ගන්නවද කියන එක තෝරලා බේරලා දෙන එක........"
~ගුරුතරුව~
*********************************************************************************


පසු සටහන 1-
බ්ලොග් අවකාශයේ මෙතෙක් මා දුටු සියල්ලන්ම පාහේ (මට දැණුන විදිහට) සාහිත්‍ය ප්‍රියකරන පුද්ගලයන් බව කියන්න මං හරිම සතුටුයි....මොකද ඒ වගේ දක්ෂ නිර්මාණකරුවන් වෙන්න බොහෝම දේවල් කියවන්න අහන්න බලන්න පුරුදු වෙච්ච පුද්ගලයෙක් වෙන්න ඕනේ.

පසු සටහන 2-
විභාග වැඩ අස්සේ දෙවෙනි ලිපිය ලියන්න පරක්කු වෙච්චි එකට සමාව දෙන්න.