Sunday, March 20, 2011

සමාව ඉල්ලීම පිණිසයි........



මම ලිව්වා....ලියන්න හිතුණ හැමදේම ලිව්වා....කවදාවත් දැකලා නැති සහෝදර සහෝදරියන් පිරිසක් අදහස් දැක්වූවා....මාව ලියන්න පෙළඹෙව්වා...ඉතින් මම තවත තවත් ලිව්වා....නමුත් එක දවසකදී මගේ සමීපතයෝ පිරිසක් මාව අඳුර ගත්තා....ඒ බ්ලොග් අවකාශයේ අය නෙමේ...හැබෑ ලෝකේ එදිනෙදා දකින අය....ඒ මගේ අතින් ඔවුන් පිළිබඳ වැරදි අදහසක් පාඨකයන් අතර ඇතිවෙන පරිදි ලියූ සටහනක් හේතුවෙන්.....ඉතින් ඔවුන්ගේ අදහස් ඉදිරියේ, මං ලියනවද නැද්ද කියන දේ පිළිබඳ මං දෙපාරක් හිතුවා....මුලින් තීරණය කලේ නොලියා ඉන්න...නමුත් මේක කියවන අය....ඒ අයට අඩුවක් දැනෙයිද?ඒක කියන්න බෑ....මොකද මං ඇරුණම තවත ගොඩක් බ්ලොග් ලියන ඈයෝ ඉන්නවනේ...මං නිකම්ම නිකම් අංශුවක් විතරයි....

නමුත්........

පෙරේදා දවසක සඳරූ සහෝදරයා මගේ අවසාන ලිපියේ අදහසක් පළ කරලා තිබ්බා.."මොනවා හරි ලියපන් මචං" කියලා.....ඒ කියන්නේ මං ලියන තුරු කවුරු හරි කෙනෙක් බලා ගෙන ඉන්නවා.....ඉතින් මං ආපහු ලියන්න තීරණය කරා...

ඉතින් ආයෙමත් මකුළුවා විසින් දැල වියන්න පටන් ගනියි.......හැමෝම බලන්න....කියවන්න....අදහසක් දෙකක් පළ කරන්න....
අවසාන වශයෙන් මාව දැනට හඳුනාගෙන තියෙන යාළුවන්ගෙන් මම පොඩිදෙයක් ඉල්ලා සිටින්න ඕනේ.
යාළුවනේ,වෙච්ච දේට මම ඔයාලගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා.ඉතින් මෙතනදීත් මම ආයේ පාරක් කියන්නේ "මට සමාවෙන්න".....

මගේ පාඨක පිරිසට මම මේ කියන්නේ.....ප්‍රමාද වීම පිළිබඳවත් මට සමාවෙන්න ඕනේ........

Thursday, February 3, 2011

සෙනසුරුගේ අපල කිරීම - II

මුලින්ම විශ්ණු දෙවියෝ සෙනසුරු අපලෙට අහුවුණ හැටි කියෙව්වනේ.....කියෙව්වේ නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්ට......
මේ ‍කොටසේ තියෙන්නේ සෙනසුරු කොහොමද ගණ දෙවියන්ට අපල කළේ කියලා....


විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ.එතුමා ගැන නම් ගොඩක් අය අහලා ඇති....අර පුංචි කාලේ අත්තම්මලා එහෙම කියන්නේ ගණ දෙවියන්ටයි,කතරගම දෙවියන්ටයි කරදිය වළල්ල වටේ දුවන්න කිව්වම කතරගම දෙවියෝ මුහුද වටේ දුවද්දී ගණ දෙවියෝ දේව මන්දිරේ තිබ්බ ලුණු පොල් කට්ට වටේ දිව්ව කියලා.(එතකොට දෙයියෝ කෑමත් උයාගෙන කෑවද කියලා අහන්න ගිහින් අත්තම්මලාගෙන් ඔළුව එහෙමත් අතගා ගන්න අවස්ථාත් තියෙනවා...මොකද දේව මන්දිරේ ලුණු තියාගන්නේ දිය කරලා බොන්නයැ....)..මේ ඉන්නේ ගණ දෙවියෝ...මෙතුමාගේ වැදගත්කම තමා බුද්ධියට අධිපති දෙවියන් වීම.නැත්තම් ඉකින් අර වගේ මොළේ කල්පනා කරලා ලුණු පොල් කට්ට වටේට දුවාවියැ....ඒ හින්දා තමයි පොඩි ළමයින්ට අකුරු කියවද්දී ගණ දෙවියන්ගේ රූපයක් ඉස්රහා ඉඳන් ඒ රාජකාරිය ‍කරන්නේ....තව දෙයක් ගණ දෙවියන්ගේ ශරීරය මනුස්සයෙක් වගේ වුණාට ඇතෙකුගේ හිසක් තමා තියෙන්නේ....

කොහොම හරි අයියට වෙච්ච දේ දැන ගත්ත ගණ දෙවියන්ට ඕනේ වුණා තමන්ටත් හෙනහුරා අපල කරයිද කියලා දැන ගන්න.ගණ දෙවියොත් ගියා සෙනසුරු මුණ ගැහෙන්න...

ගණ දෙවියෝ - "සෙනසුරු,හැබෑද ඔහේ අපල කරනවා කියන්නේ?"

සෙනසුරු - "ඔව්,මං හැමෝටම අපල කරනවා...."

ගණ දෙවියෝ - "දැන් මට කවදටද අපල කරන්නේ?"

සෙනසුරු - (තමන්ගේ අපල කිරීමේ කාල සටහන බලා)"අනිද්දට..."

ගණ දෙවියෝ - "එහෙනම් හෙට දේව සභාව රැස් වෙද්දී ඔහේ ඇවිත් ප්‍රසිද්ධියේ කියන්න හෙට මට අපල කරනවා කියලා.එතකොට හැමෝම දැන ගනීනේ....."

සෙනසුරු - "හරි.හෙට මම කියන්නම්"

මෙහෙම කතාව අහවර කරපු ගණ දෙවියෝ තමන්ගේ භවනට චුත වුනා.....

දැන පහුවදා දේව සභාව රැස් වෙලා පුරුදු සාකාච්ඡා වලින් අනතුරුව විසිර යාමට සූදානම් වෙද්දී සෙනසුරු සභාව ඉදිරියට ඇවිත් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවලු,

"මම හෙට ගණ දෙවියන්ට අපල කරනවා"

ගණ දෙවියොත් ඉදිරියට ඇවිත් කිව්වලු,

"දැන් බැරි වෙලාවත් හෙට ඕක ඔහේට අමතක වුනොත්,ඒ හින්දා අපි නළලේ ඕක සටහන් කරගමු."

අපල කලාට සෙනසුරු බුද්ධියෙන් අඩුයිනේ.අනේ සෙනසුරු නළලේ ලිය ගත්තලු "ගණ දෙවියන්ට අපල කිරීම හෙට"කියලා

ඊට පස්සේ දේව සභාව විසිරී ගියා.....

පහුවදා සෙනසුරු ගණ දෙවියෝ හම්බු වෙන්න යනවා ෆුල් හැපි පිට....ඇයි සෙනසුරුට අනුව ගණ දෙවියන්ට අපල කරන්නේ අද...දෙවියන්ට වුනත් රාජකාරිය දේවකාරිය වගේනේ......
හැබැයි සෙනසුරු යද්දී ගණ දෙවියොත් කිසිගානක් නැතුව සෙනසුරුව පිළි අරන් සංග්‍රහ ආදිය කරලා සෙනසුරුගෙන් ඇහනවා ආපු කාරණේ මොකක්ද කියලා?

ගණ දෙවියෝ - "ඉතින් සෙනසුරු,මොකෝ මේ උදේ පාන්දරම?"

සෙනසුරු - "මම ආවේ අපල කරන්න..."

ගණ දෙවියෝ - "ආහ්! මට මතක නැති වුණානේ....ඊයේ නළලේ කොට ගත්තා නේද දවස....දැන කවදටද අපල කරන්න තියෙන්නේ....."

සෙනසුරු - "හෙට"

ගණ දෙවියෝ - (හිනාවෙලා)"ඒක හොඳයි...එහෙනම් දැන් ගොහින් හෙට එන්න...මටත් රාජකාරී තියෙනවනේ......"

ඔන්න එතකොට තමයි සෙනසුරාට තේරුණේ තමන් ගණ දෙවියන්ගේ ලණුව කෑවා නේද කියලා....දේව වාක්‍ය වෙනස් කරන්න බැරි නිසා කවදා ගියත් ගණ දෙවියන්ට අපල කරන්නේ "හෙට"

මෙන්න මේ හින්දා ගණ දෙවියන්ට විතරක් සෙනසුරු අපල වලින් බේරෙන්න පුළුවන් වුනාලු........

සෙනසුරුගේ අපල කිරීම - I

මේක මම ඉස්කෝලෙ යන කාලෙ අහපු කතන්දරයක්....බාග වෙලාවට කතන්දර උන්නැහේ මේ ගැන ලියලා තියෙනවද දන්නෙත් නෑ.හැබැයි මම නම් උන්නැහේගේ කතා ගො‍ඩේ මේක කතාව ගැන දැක්කේ නෑ....බැරි වෙලාවත් ලියවිලා තියේ නම් සමාව භජනය කරන්න ඕනේ.....(කොහොමත් හොඳ කතාවක් ලිව්වොත් ඉතින් කතන්දර උන්නැහේම තමා.අපිට ඒ අහලටවත් කිට්ටුවෙන්න බෑ....නියම හැකියාවක්....)

මෙන්න මේකයි කතන්දරේ..........

කවුරු කවුරුත් කේන්දරේ ගැන,ග්‍රහචාරේ ගැන අහලා ඇතිනේ.....(පෞද්ගලිකව මම නම් ඕව විශ්වාස කරන්නේ නෑ)දන්නේ නැත්නම් මම කතාවට අදාල වෙන විස්තර ගැන ‍ඇබින්දක් කියන්නම්.....
නක්ෂත්‍රයට අනුව ප්‍රධාන ග්‍රහයෝ නව දෙනෙක් ඉන්නවා.....බුධ,රවි,චන්ද්‍ර,කුජ,රාහු,ගුරු,ශනි,කේතු,සිකුරු (පිළිවෙලනම් හරියට මතක නෑ.)මේ එක එක ග්‍රහයා එක එක රාජකාරි වලට දස්සයේ....උදාහරණයක් විදියට සිකුරු කියන්නේ ආදර සම්බන්ධතා වලට අධිපතියා...ගුරු කියන්නේ මම දන්න තරමින් අධ්‍යාපන කටයුතු ආදියට හේතුවන ග්‍රහයා(වැරදිනම් නිවැරදි කරන්න.මේ ගැන විස්තර "මීදුම" තුලින් කියවන්නකෝ....)....ඔය අතරේ රාහු සහ ශනි (එහෙමත් නැත්තම් සෙනසුරු) කියන්නේ ජීවිතවලට බාල්දි පෙරලන ග්‍රහයෝ දෙන්නා.සරලව කිව්වොත් අපල කරන ග්‍රහයෝ දෙන්නා.කට්ටිය අහලා ඇතිනේ හිටපු ගමන් කියනවා "හිඟන්නගේ පාත්තරේට හෙනහුරා පාත්වුනා වගේ" කියලා....ඒ වගේම ඔය අහක යන තොප්පියක් ඔළුවට වැටුනමත් කියවෙන්නේ "මේ මොන හෙනහුරෙක් ද කඩාපාත් වුණේ කියලා" නෙවැ....ඒකෙන්ම තේරෙනවනේ ශනි,සෙනසුරු එහෙමත් නැත්තම් කට වහරේ එන හෙනහුරා කියන්නේ කොහොම ග්‍රහයෙක්ද කියලා..මේ හැම ග්‍රහයෙක්ම දෙවියෙක් විදියට තමා දේව සංකල්ප වලට අනුව විස්තර කරලා තියෙන්නේ....දැනට ග්‍රහයෝ ගැන ඇති....ආපහු කතාවට හැරෙමු.....


සාමාන්‍ය‍යෙන් දිව්‍ය ලෝකෙත් යම්කිසි පිළිවෙලකට වැඩ කටයුතු සිද්ධ කරන තැනක්.දිව්‍ය ලෝකේ අධිපති දෙවියා විදියට හඳුන්වන්නේ "විශ්ණු" දෙවියෝ(බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්ණුගේ දස අවතාර වලින් එකක් කියනවනේ...)මේ රූපේ ඉන්නේ විශ්ණු දෙවියෝ....දැක්ක ගමන් පේනවනේ ‍තේජවන්තව ඉන්න හැටි...









අවාසනාවටද වාසනාවටද මං දන්නෑ සෙනසුරු(ග්‍රහලෝකේ නෙවේ) ගේ රූපයක් හොයාගන්න බැරි වුනා....කා ළඟ හරි තියෙනව නම් ‍කියන්ටකෝ....

මුලින්ම කීවා වගේ සෙනසුරුගේ ජොබ් එක එහෙම නැත්තම් ඩියුටිය අපල කිරීමනේ....විශ්ණුටත් මේ අපල වලින් බේරෙන්න බැරි වුණාලු....බොසා වුනත් හෙනහුරාගේ හැටි එහෙමයි....එකම හැන්දෙන් තමා බෙදන්නේ(හරියට අපේ ආචාර්ය දුටුගැමුණු වගේ...මිනිහත් එකම හැන‍්දෙන්නේ බෙදනවා කියන්නේ....).
විශ්ණු දෙවියෝ හෙනහුරාගෙන් අහලා දැන ගත්තලු තමන්ට අපල කරන්නේ කවදටද කියලා.කාල සීමාව දැන ගත්තට පස්සේ විශ්ණු හෙනහුරුගේ අපල වලින් බේරෙන්න ඇතෙකුගේ වේශයක් මවාගෙන වනගත වුනාලු, "දැන් හෙනහුරාට මාව හොයාගන්න බෑ කියලා"හිතාගෙන .මේ කැළෑවේ තිබිලා තියෙන්නේ බට ගස්....(බට ගස් කියන්නේ මම හිතන විදිහට උණ ගස් වලට...අර වෙසක් කූඩු හදන්න ගන්නේ....)ඉතින් දිව්‍ය භෝජන අමතක කරලා විශ්ණු දෙවියෝ ඇත් වේශයෙන් බට ගස් වල කොළ කකා අවුරුදු 7ක් (අපල කාල සීමාව) ඉවර වෙන කම් කැළෑ වැදිලා ඉඳලා භවනට සැපත් වුනාලු.විශ්ණු සෑහෙන සතුටින් හිතුවලු සෙනසුරා මට අපල කලේ නෑ කියලා...ඉතින් ආපු කික් එකට විශ්ණු සැපත් වුණාලු සෙනසුරාගේ භවනට.ගිහින් සෙනසුරුට කිව්වලු "කෝ මට අපල කලේ නෑ නේ" කියලා.......
සෙනසුරුත් ටිකක් නෝන්ඩි හිනාවක් දාලා ඇහුවලු "ඇයි හත් අවුරුද්දක් තිස්සේ බට කොළ කෑව මදිද" කියලා....බැලින්නම් විශ්ණුට කරලා තියෙන අපලේ තමා අවුරුදු 7ක් තිස්සේ බට කොළ කන්න සලස්සපු එක.........ඒක හින්දා තමා ඔය කතාවට කියන්නේ "සෙනසුරු අපලේ මහ භයානකයි....විශ්ණු දෙයියන්ටත් හත් අවුරුද්දක් බට කොළ කන්න වුණානේ" කියලා.(තාරා සහෝදරීගේ කවියත් කියවලා බලන්නකෝ)...

~ගණ දෙවියන්ට අපල කල හැටි මීළඟ කොටසින්~

Monday, January 31, 2011

තවත් එක් සටහනක්(පමණක් නොවේ).....

අපි හැමෝගෙම හිත් තුල තියෙන දෙයක් කියන්න කිව්වොත් මොකක්ද දෙන උත්තරේ?

කට්ටිය නානාප්‍රාකාර උත්තර දෙයි....හැබැයි මගේ උත්තරේ නම් බලාපොරොත්තුව..........

මිනිසා ජීවත් කරනවන දේ මොකක්ද?....ඒකටත් මම දෙන උත්තරේ බලාපොරොත්තුව.......

අපි හැමෝගෙම හිත් තුල හීන තියෙනවා.......හීන ඉබේ හැබෑවෙන්නේ නැති නිසා ඒවා හැබෑ කරගන්න අපි වැඩ කරන්න ඕනේ.....අන්න එතකොට ඒ හීනය නිකම්ම බලාපොරොත්තුවක් බවට පත්වෙනවා......අන්න ඒ බලාපොරොත්තුව තමා අපිව අපේ අරමුණ කරා ගෙනියන්නේ.......

අද...ඒ කියන්නේ 2011/01/31 සිංහල බ්ලොග් අවකාශය උදාර බලාපොරොත්තුවක් පෙර දැරිව අළුත් වැ‍ඩකට අත ගැහුවා....
(දැන්නම් කට්ටිය මං කියන්න යන්නේ මොකක්ද කියලා දන්නවා ඇති....)

කාරි නෑ....මමත් පොඩි විස්තරයක් කරන්නම්කෝ....

මාතලේ පැත්තේ හිටියා අපි වගේම බලාපොරොත්තු තොගයක් පොදි බැඳගත්ත අපේම සහෘදයෙක්.....
ඔහුත් අපි වගේම හොඳ රැකියාවක් කරමින් සුන්දර ජීවිතයක් ගත කරන්න ලස්සන බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වුනා...හොඳ රස්සාවක් කරා....හැබැයි මිතුරනේ බලාපොරොත්තු කියන්නේ අතිශය අලංකාර වීදුරු භාඡනයක්....අනේ මොකක්දෝ පෙර අවාසනාවකට අපේ මේ සහෘදයාගේ ඒ බලාපොරොත්තු නම්වූ වීදුරු භාජනේ අද වෙද්දි කැඩිලා බිඳිලා විසි‍වෙලා ගිහින්.....කාරණේ ගැන මෙතනින් ගිහින් බලාගන්න.....ඉතින් බ්ලොග් අවකාශේ අපේ සහෝදර සහෝදරියන් ඒකමතිකව තීරණය කරා ඒ කැඩිලා ගිය වීදුරු භාජනේ කොටසින් කොටස හරි එකතු කරලා ආපහු ගොඩනගනවා කියලා.....

අපි එකිනෙකා කවදාවත් එකට මුණගැහිලා නැතුව ඇති....හැබැයි ලාංකිකයෝ වෙච්ච අපේ පපු කැවුතු අසරණයන් වෙනුවෙන් හැමදාම උණු වුනා....ඉස්සරහටත් එහෙමමයි......එක අම්මගේ දරුවො නොවුනත් අජීවී ලෝකයක් තුලි අපි හැමෝම එකා වගේ හිතවත් වුනා....ඉතින් සහෝදරයා...හැමෝම දන්න ඉලංදාරියා.....අපි උඹව තනි කරන්නේ නෑ....කොහොමහර උඹට නෑසී ගිය ලෝකය අපි උඹට ආපහු අහන්න සලස්සනවා.....ඒ බලාපොරොත්තුව අපිව වගේම උඹවත් ජීවත් කරවනවා....බයවෙන්න එපා මේ වීදුරුව මොකාටවත් කුඩු කරන්න අපි ඉඩතියන්නේ නෑ......ජීවත්වෙයන්....අපි ඉතුරු ටික බලාගන්නම්.......

~ඉලන්දාරියාගේ දිනය වෙනුවෙනි~

පසු සටහන -

අන්තර්ජාලය තුල සිටින දානපතියනි....හැකි පමණින් අපේ ඉලංදාරියාට පිහිටවෙන්න.....අපේ කර්තව්‍යයට පුළුවන් උපරිම සහය ලබා දෙන්න......

Saturday, January 29, 2011

අළුත් අවුරුද්ද....




සුභ අළුත් අවුරුද්දක් වේවා!

මං හිතන්නේ කට්ටියට පරක්කු වෙලාම අවුරුදු සුභ පැතුම ලැබෙන්නේ මකුළුවගෙන්....කාරි නෑ ඔන්න කට්ටියම භාර ගන්න....2010/12/31 ප.ව11.59.59ට (මහ රෑ) එව්වේ නැති වුණාට හෘදයාංගමව තමා මකුළුවා මේ සුභපැතුම පතන්නේ....

පුරුදු පරිදි මේ පාරත් රෑ 12ට කෙටි පණිවිඩ මගින් අළුත් අවුරුදු සුභ පැතුම් ගො‍ඩක් මකුළුට ආවා....විද්‍යුත් තැපෑලෙනුත් සුභ පැතුම් ආවා.....ඊට අමතරව සාමාන්‍ය තැපෑලෙනුත් සුභ පැතුම් පත් ආවා.(ඒව නම් ආවෙ ඉතින් දවස් දෙක තුනක් පරක්කු වෙලා....)කොහොමවුනත් සෑහෙන සුභ පැතුම් ප්‍රමාණයක් මකුළුවට ආවා....

මේ ඔක්කෝම අතරෙ වෙනස්ම ආකාරෙකට අළුත් අවුරුදු සුභපැතුම් වගේකුත් මකුළුට ලැබුණා.ඒවාගෙන් දෙක තුනක් තමා ඔය උඩින් පෙන්නලා තියෙන්නේ.යාළුවො සෑහෙන ප්‍රමාණයක් මකුළුවාව අළුත් අවුරුද්ද වෙනුවෙන් පින්තූර වලට අමුණලා.......

මා(ර්)ක් සකර්බර්ග් මූණුපොත(සිංහලෙන් කියනවා Facebook) හැදුවේ අන්තර්ජාලය තුල සමාජයීය වටපිටාවක් ඇති කරන්න....හැබැයි ඒ සමාජයීය වටපිටාව තුල සුභ පැතුමක් කියනදේ පින්තූරෙකින් දෙන්න පුළුවන්ද?මම කියන්නේ මේකයි අපිට සුභ පැතුම් පතක් ලැබෙන කොට අමුතුම හැඟීමක් පහල වෙනවා.උදාහරණයක් විදියට අම්ම,අප්පච්චි කෙනෙකුට පුතා/දුව ගැන ආදරයක්("අනේ මේ දරුවට මාව මතක් වෙලා" වගේ හැඟිමක්.),යාළුවෙක්ට නම් ("අඩේ!මෙන්න මූ කාඩ් එකක් එවලා.කාලයක් ගියත් අපිව අමතක වෙලා නෑ" ) යාළුකම ගැන ප්‍රසන්න හැඟීමක්,පෙම්වතුන්ට නම් ඒ දෙන්නා ගැන ආදරයක්,ඔය වගේ නානාප්‍රාකාර හැඟිම් අළුත් අවුරුදු සුභ පැතුම් පතක් එක්ක අපිට දැනෙනවා....
හැබැයි අර විදිහේ පින්තූරෙකින් ඒ දේ වෙනවද?මට නම් ඒක තවත් එක පින්තූරයක් විතරයි.......අද බැලුවා හෙට වෙද්ද අමතකයි....හැබැයි මට මීට අවුරුදු ගානකට කලින් එව්ව සුභ පැතුම් පත් අදටත් සුරක්ෂිතව තියෙනවා....මොකද ඒ හැම සුභ පැතුමකම මිත්‍රත්වය,ආදරය,ආශිර්වාදය,එකමුතුකම,සුන්දර මතකයන් වගේ ගොඩක් දේවල් තැන්පත් වෙලා තියෙනවා.....

2011ට කමක් නෑ....2012ට නම් මේ පින්තූර ඇමිනීම කරන්න එපා....කාර්යබහුල වුනත් අකුරු දෙකක් කුරුටු ගාලා විද්‍යුත් තැපෑලෙන් හරි කමක් නෑ සුභ පැතුමක් යවන්න.එකිනෙකා ගැන හැඟීම් දැනීම් ඇතිවෙන්නේ එතකොට.........

Saturday, December 25, 2010

විනාඩි 10කින් මොනවද කරන්න බැරි?


මම මේ සටහන ලියන්න පටන් ගත්තේ ලියන්නේ මොනවද කියලා කිසිම අදහසක් නැතුව?හැමෝටම සුභ නත්තලක් කියන්නම් මුලින්ම.මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ තවත් එක සමාසිකයක් ඉවර වුනා.විභාගය සඳහා අධ්‍යයන නිවාඩු ලැබිලා පාඩම් කරන ගමන් මහන්සිය යන්නත් එක්ක පරිගණකය ඉස්සරහා වාඩි වුනාට පස්සේ තමා මේක ලියන්න ඕනේ කියලා හිතුවේ.

"මොනවද ලියන්නේ?"
"මම කොහොමද දන්නේ...."
"ඉතින් එහෙනම් ලියන්න කිව්වේ..."
"එහෙම කිව්වට ලියන්න ඕනේ ඔහේනේ....."
"මට ලියන්න අදහස් දෙන්න ඕනේ උඹ......."
"ඒවා මම දන්නේ නෑ.....විනාඩි 10කින් ලියලා ඉවර කරපිය....නැත්තම් අදත් කිසි වැඩක් කරන්න වෙන්නේ නෑ...."
"විනාඩි 10කට මම මොනවද ලියන්නේ?"
"විනාඩි 10කින් මොනවද ලියන් බැරි...."
"මොකුත් ලියන්න බෑ...සංකල්පයක් ගොඩනගන්නම විනාඩි 2ක් වත් යනවා....ඒකට හැඩයක් දෙන්න තව විනාඩි 5ක වත් ඕනේ....ඒකරලා දළ සටහනක් හදන්න තවත් විනාඩි 5ක් වත් යනවා....ඒක ලියන්න කොහොමත් විනාඩි 20ක් වත් ඕනේ....ලස්සන කරන්න තව විනාඩි 5ක් යනවා....ප්‍රසිද්ධ කරන්න විනාඩි 3ක් වෙන් කලොත් ඔක්කෝටම විනාඩි 30ක් ගිහිල්ලා....විනාඩි 10 වගේ තුන් ගුණයක්...තමුසෙගේ මොළේ හොඳ නෑ....."
"මට පේන්නේ තමුසෙගේ මොළේ හොඳ නෑ.....හිතලා බලනවා විනාඩි 10කට මොනවද කරන්න බැරි කියලා?"
"එහෙනම් හිතනවකෝ...තමුසෙටමනේ ඒක කරන්න පුළුවන්..."
"එහෙනම් අහගන්නවා......
  1. අම්මා ඇහැරෙන්න විනාඩි10ක් පරක්කු වුනොත් උදේට ගෙදර හැමෝටම පරක්කු වෙනවා....තාත්තාට රතු ඉර වදිනවා....ඔහේට ඉස්කෝලේ ‍ගේට්ටුවේ කූරු ගනන් කර කර ඉඳලා තමා ඇතුලට යන්න වෙන්නේ....මදි ‍අඩුවට ලොකු සර්ගේ කෝටුවේ ලස්සනත් බලාගෙන....
  2. විභාගෙට ලියන කොට විනාඩි 10ක් කියන්නේ රත්තරන් වගේ.... විනාඩි 10ක් පිස්සු කෙලියොත් ජීවිතේම පිස්සු කෙලින්න පුළුවන්...මතකනේ ගිය පාර ලියපු හැටි,විනාඩි 10ක් නැතිවෙච්ච එකේ පළවිපාක...ප්‍රශ්න කීයක් මග ඇරුනද?
  3. වැඩට යන්න,ඉස්කෝලෙ යන්න උදේ බස් එක විනාඩි10ක් පරක්කු වුනොත්.........
  4. සැත්කමක් කරද්දී,හදිසි අවස්ථාවකදී විනාඩි 10ක් කියන්නේ රෝගියාගේ වගේම වෛද්‍යවරයාගේත් ජීවිතේ........
  5. ගුවන් නියමුවෙකුට,ක්‍රීඩකයෙකුට විනාඩි 10ක් කියන්නේ තමන්ගේ වැටුප....මොකද උගේ වැරැද්දෙන් පරක්කුවුනොත් ඒකට දඩ ගෙවන්න වෙනවනේ....
  6. සොල්දාදුවෙකුට විනාඩි 10ක් කියන්නේ කල්පයක් වගේ.......
  7. විනාඩි 10ක් ඇතුලත යුද්ධයක් ආරම්භ කරන්න වගේම නවත්තන්නත් පුළුවන්......ඔබාමා මේ දැන් නියෝග කලොත් උතුරු කොරියාවට පහර දෙන්න කියලා විනාඩි 10ක් නෙමේ ඊටත් අ‍ඩු කාලයකින් හතරවන ලෝක යුද්ධෙ ඇතිවෙයි...
  8. ෆි‍ෆා තරඟයක අන්තිම විනාඩි 10 දැකලා ඇතිනේ......
  9. රසායනික සංයෝගයක් හදද්දී නියමිත කාලයට වඩා විනාඩි 10ක් එහාට මෙ‍හාට වුනොත්.....
  10. ඡායාරූප ශිල්පියෙකුට විනාඩි 10ක් කියන්නේ සෑහෙන වටින කාල ප්‍රමාණයක්....
තව ................."

"හෝව්! දැන් විනාඩි 10ක් ඉවරයි....ඔහේ නිකම් කියෙව්වා විතරයි....මට ලියන්න මොකුත් කීවේ නෑනේ......."
"ඇයි?දැන් තමුසේ මෙච්චර වෙලා කොටපු ටික කියවලා බලනවා....."

**මෙය මමත් මාගේ සිතත් අතර ඇතිවූ දෙබසකි.......
***රසාස්වාදනයට කොතරම් සුදුස් දැයි මම නොදන්න නමුත් මාගේ සිතට අනුවනම් කියවන්නෙක්හට "මකුළුවා යනු පිස්සෙක්" යැයි සිතීම වැලැක්විය නොහැක.....

Sunday, November 7, 2010

ගියපු ගොන් කමද? නැත්තම් නොගිහින් සිටීමේ ගොන්කමද?



මේක මට සිද්ධ වෙච්ච තවත් අකරතැබ්බයක්.හැබැයි එක අතකට හිත කළකිරෙන සුළු සිද්ධියක් විදිහටත් මකුළු හිතනවා.
මේක ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධයකුත් තියෙනවා.
මම ලැබෙන හැමවෙලාවකම පොත් කියවනවට අමතරව කරන තව දෙයක් තමා චිත්‍රපට බලන එක.හොඳ ලස්සන චිත්‍රපටි එකක්වත් මකුළු අතාරින්නේ නෑ.කොහොම හරි හොයාගෙන බලනවා.හැබැයි හොයාගෙන බලන්න වෙන්නේ දේශීය නිර්මාණ නෙමේනේ.විදේශීය චිත්‍රපටි.දේශීය චිත්‍රපටයක් බලන්න නම් ඉතින් සිනමා ශාලාවකට ගොඩවෙන්න වෙනවානේ.හැබැයි සිනමා ශාලාව ඇතුලට ගියාට පස්සේ වෙන වෙන චිත්‍රපටත් පේනවා(පූර්ව ප්‍රචාරක පට නෙමේ....).ඒව ගැන වෙන වෙලාවක කතා කරමු.
මකුළුට උසස් අධ්‍යාපන කටයුතුවල කාර්ය බහුලත්වය හින්දා මෑත කාලයේ සිංහල චිත්‍රපට බැලීම තරමක් අතපසු වුණා.බලන්නම ඕන කියලා හිටපු අතුල ලියනගේ ගේ "බඹර වල්ලල" චිත්‍රපටය අවාසනාවන්ත ලෙස බලන්න බැරිවුණා.ඊළඟට බලන්න ඕනකමක් තිබ්බ චිත්‍රපටය තමා බෙනට් රත්නායක මහත්තයාගේ "ඉර හඳ යට" චිත්‍රපටය.මකුළු බාහිර වැඩ කටයුතුත් එක්ක මේ චිත්‍රපටය බලන්න යෑමත් කල් දම දමා හිටියට නොවැම්බර් 1 වෙනිදා පත්තරේ දැක්කම ටිකක් රත්වුණා.පත්ත‍රේ තිබ්බ හැටියට "ඉර හඳ යට" චිත්‍රපටය මුල් වටයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා වෙනකම් විතරයි.එහෙනම් ඉතින් පුළුවන් තරම් ඉක්මනට චිත්‍රපටය බලන්න යන්න ඕනේ.ගෙදරට ඉල්ලීම යොමුකළ සැනින් අක්කා කින්ඩිය දැම්මා "අනේ!තමුසෙයි තමුසෙගෙ ඉර හඳ යටයි.තාම බලාගන්න බැරි වුනාද?" කියලා.මම අක්කට විරිත්තලා "මම ඉරිදට යනවා" කියලා තීරණේ සභාගත කරා.ඒකමතිකව තීරණේ සම්මත වුනා.
ඉරිදා උදේ ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා මකුළුවා දඩිබිඩි ගාලා ලෑස්තිවෙලා සුභමොහොතින් මහ වැස්සේ ගෙයින් එළියට බැහැලා සිනමා ශාලාව කරා ගමන් ඇරඹුවා.
රුපියල් 20කටත් කෙලවගෙන බස් එකක නැගලා ගිහින් සිනමා ශාලාව ළඟින් බැහැගත්තා.මේ සිනමා ශාලාව කන්ද උඩරට පැත්තේ තරමක් ප්‍රසිද්ධ තැනක්.පිහිටලා තියෙන්නේ මහවැලි ගං ඉවුරේ(දැන්නම් දන්න ඈයො දන්නවා තැන මොකක්ද කියලා..)කොහොම‍ හරි පාරෙ ඉඳලා බලන කොට කටවුට් ගහන බෝඩ් ලෑල්ල අපූරුවට පේනවා.
මමත් ඉතින් ඇතුලට යන්න කලින් තහවුරු කරගත්තා මොකක්ද පෙන්වන පිචර් එක කියලා.බෝඩ් ලෑල්ලට අනුව නම් "ඉර හඳ යට" තමයි.ඔන්න ඉතින් මමත් ගේට්ටුවෙන් ඇතුලට ගියා.ඇතුලට ගියාට ෆිල්ම් එක බලන්න බලු බල්ලෙක්වත් නෑ වගේ.යාබද සිනමා ශාලාවට නම් සෑහෙන පෝලිමක් තියෙනවා(බහුතරයක් හිටියේ ඇතුළුට ගිහින් රඟපාන කට්ටිය....).මකුළුවට ටිකක් අස්පට් ගියා.මට තේරුණා මොකක් හරි කේස් එකක් මට ෆයිල් වෙලා වගේ කියලා.

මළ තොප්පියයි!නයි කයිද රෝස් පාන් කිවුවලු.

මෙන්න බොලේ සිනමා ශාලාවෙ උඩින් ගහලා තියෙන කටවුට් එකට අමතරව ඇතුල්වෙන දොරෙත් තව ඇබිත්තන් කටවුට් එකක් ගහලා තියෙනවා.මකුළු දෙතුන් පාරක් ඇස් පිහදලාත් බැලුවා මේක ඇත්තම එකක් ද කියලා.
මොකක් ද දන්නවද ගහලා තිබ්බේ.

"අළුත් වැඩියා කටයුතු සඳහා සිනමා ශාලාව වසා ඇත.නැවත විවෘත කිරීම - නොවැම්බර් මස 10වන දින..."

මට අම්බානක ෆ්ලවර් ජම්පින්....දෙපාරක් හිතුවේ නෑ,පිචර් හෝල් එකේ ලොකුතැන ඇතුළු පවුලේ සැමට හෙම්බිරිස්සාව හැදෙව්වා.
මොනවා කරන්නද?දවසම හිටියත් මේක දැන් ආපහු පෙන්නයි කියලයැ.ගිය ගොන්කමට ආපහු හැරිලා ආවා.ගෙදර ආපු ගමන් ඉතින් අක්කගේ නෝන්ඩිය කන්න වුණා.නෝන්ඩි කෑම නම් අවුලක් නෑ කියමුකෝ.දැන් මට තියෙන ප්‍රශ්නෙ තමා මම කරපු ගොන් වැ‍ඩේ මොකක්ද කියන එක.
1.චිත්‍රපටය බලන්න නොයා සිටීම....
2.අවසාන මොහොතේ හෝ චිත්‍රපටය බලන්න යාම....

නො.1 නම් ඉතින් වැඩි ඡන්දෙන් ගොන්කමක් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන.
නො.2???????????????

මම හිතන විදිහට ඒක නම් ගොන්කමක් නෙමේ.මොකද සිනමාශාලා අයිතිකාරයගේ වගකීම තමා ප්‍රසිද්ධ කරලාතියෙන අන්තිම දවස දක්වා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම.(පෙන්නන් නෑ කියන දැන්වීමවත් පේන්න ගහලා තියපියකෝ...එහෙමවත් නෑනේ.)එතකොට මෙහෙම සිද්ධියක් වෙනවනම් මම වගේ අවසාන මොහොතේ හරි ෆිල්ම් එක බලන්න එන ප්‍රේක්ෂකයන්ට මොකද වෙන්නේ.මෙහෙම සිද්ධිවලින් සිංහල සිනමාවට වෙන්නේ බරපතල හානියක්ද?නැද්ද?කියන එක හිතලා බලන එක ඔයගොල්ලන්ට අයිති වැඩක්.මොකද?ඔය දෙකයි පනහේ සිංහල චිත්‍රපට(රෝස කැළේ,සුවඳ දැනුණා ජීවිතේ,....)වගේ වාණිජත්වය පමණක් පදනම් කරගත්ත චිත්‍රපටයක් පෙන්වනකොට කවදාකවත් ඔහොම සිද්ධියක් වුණා කියලා කොහෙදිවත් ආරංචිවෙලා නම් නෑ.
එක අතකට මේවගේ සිද්ධිවලට හේතුව ප්‍රේක්ෂකයාගේ පිරිහීම වෙන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වෙන්නේ "ඉර හඳ යට" වගේ චිත්‍රපටයක් ආපු අළුත උණු කැවුම් වගේ අලෙවි වුණාට පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා.මේකට හේතුව KFC කන්න පුරුද වෙච්චි අයව ආපහු හීනටි හාලේ බත් වලට හරවන්න අමාරුයි වගේ වැඩක්.තාමත් හොඳ කළා කෘති වලට ආස අය මුලින්ම ඇවිත් චිත්‍රපටය බලලා ගියාට අන්තිම කාලෙ වෙද්දි සිනමාශාලා වේලෙන්න ගන්නවා.ඉතින් අර මකුළුට වුනා වගේ සිද්ධි සිද්ධ වෙන එකත් පුදුමයක් නෙමේ.

හැ‍බැයි මේකෙන් මකුළු හොඳ පාඩමක් ඉගන ගත්තා.මීට පස්සේ අළුත් ෆිල්ම් එක්ක ආපු ගමන්ම ගිහින් බලන්න ඕනේ කියන එක.

ප.ලි - මම හිතුවා ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටි කීපයක පූර්ව ප්‍රචාරක පට කීපයක් මේකට එකතු කලොත් හොඳයි කියලා.ඒ සඳහා ඉතින් youtube සරණං තමා....

1.විධූ - අශෝක හඳගම

2.How I Wonder What You Are - උදය ධර්මවර්ධන

3.Nino Live - තිසර ඉඹුල්පන

4.සුපර් සික්ස් - උදාර පල්ලියගුරුගේ(තාම පූර්ව ප්‍රචාරක පට නිකුත් වෙලා නම් නෑ.හැබැයි විප්ලවකාරී සිනමා නිර්මාණයක්)



"ෆ්ලවර් ජම්පින්" යන වදන බ්ලොග් ග‍ඩොල් වාග් මාලාවෙන් උපුටා ගන්නා ලදි.